“මට අනූව මාරම අප්‍රසන්නයි..”
නුලාරා එහෙම කිව්වේ ලතිකා හදාගෙන ආව තේ එක බොන ගමන්.ලතිකා නුලාරා දිහා බැලුවේ පුදුමයෙන්.
“එයා හැමතිස්සෙම කියවන්නේ එයාගේ නැන්දම්මා කරන වෙනස්කම් ගැන.මට මහ විකාරයි ඒවා..”
අනූෂා සමහර වෙලාවට ජීවත් වෙන්නෙ පුදුමාකාර වේදනාවකින්.එයාට තියන ප්‍රශ්න වෙනුවෙන් මානසික ප්‍රතිකාර පවා ලබා ගන්න සිද්ධ වුණා කියලා දන්න ලතිකා මොකුත්ම නොකියා ටික වෙලාවක් හිටියා.නුලාරා දිගටම කතා කරනවා.
“ඔහොම යක්ෂ නැන්දම්මලා හිටියේ අපේ අම්මලගෙ කාලේ.දැන් මිනිස්සු බුද්ධිමත්.කොහොමටත් දැන් අම්මල අනුන්ගෙ දේවල් හොයන් නෑ..”
එහෙම කියපු නුලාරා තේ උගුරක් බීලා කිව්වේ ඊටත් අමුතු කතාවක්.
“ඔයාලත් ඕවට උඩගෙඩි දෙනවනෙ.ඒකමයි ඔය හෑලි වැඩියෙන් කියන්නේ..”
නිතරම දුක කියන කෙනෙක්ට ඒක තිස්සෙම කියන්න ඉඩ හැරීම සුදුසු නෑ කියලා ලතිකා දන්නවා.නමුත් හොඳ සවන් දෙන්නන් නොමැති වීම කෙනෙකුගේ දුක වර්ධනය කිරීමක් බවත් ලතිකා දන්නවා.
“ෆේස්බුක් ලේඩීස් ගෘප්ස් කීපයක් බලන්න.අනූ කියන්නේ මොනවද කියල හිතෙයි..”
ලතිකා කියනකොට නුලාරා හිනා වුණේ උස් හඬින්.
“අම්මෝ..මම නම් ස්ට්‍රෙස් රිලීස් කරගන්නේ ඒවා බලලා.කොන්ද පණ නැති ගෑනු කියන්නෙ මටනම් හොඳම ජෝක් එකක්.”
කාන්තා සමූහවල පළවෙන නිර්නාමික ගැටලු ගැන ලතිකා සිහි කළා.
“දරුවෙක් නැති වීමේ වේදනාව,සැමියාගේ අනියම් සම්බන්ධතා, නැන්දම්මාගේ දුෂ්ටකම,අපයෝජනයක වේදනාව,දරුවා රෝගී වීමේ වේදනාව,රැකියාවේ ප්‍රශ්න..” මොනතරම් වේදනාත්මක කතා ඒවා අස්සේ තියනවද?
“මිනිස්සුන්ගේ වේදනා වලට හිනා වෙන තරම් ඔයා අමනුස්සද නුලා.”
ලතිකා ඇහුවේ කේන්තියෙන්
“හිතන්නකො..ඔය මිනිස්සු ෆිල්ම්ස් එහෙම බලලා බොරු ලියනව මං හිතන්නෙ.”
නුලාරා කියනවා.අනූෂා මානසික වෛද්‍යවරයෙක් සොයමින් විඳින වේදනාව ලතිකා සිහි කළා.තාම වෙනසක් නැද්ද කියලා අහන මිනිස්සු නිසා පාසල් කාලයේ හොඳම මිතුරියක් වුණු හෂානි හඬමින් ඇමතුම් දෙන හැටි ලතිකාට මතක් වුණා.
“මිනිස්සුන්ට කොන්ද පණ නැති වුණාම ප්‍රශ්න වල වැටෙනවා..ඊටපස්සෙ දුක කිව්වට තේරුමක් නෑ..”
නුලාරා කියන්නේ පුදුම වියළි හඬකින්.
“ඔයාට අනූ මොකුත් කියන් නෑනෙ..එයා නිවාඩු ගත්තම ඔයාමනෙ ඒකට හේතු අහන්නෙ..”
ලතිකා ඇහුවේ කේන්තියෙන්.විවාහය අපායක් වීම නිසා මානසික ප්‍රතිකාර ලබා ගන්න වීම ගැන අනූෂාගෙන් හාර හාර අහන්න නුලාරා අමතක කරන්නේ නෑ කියලා ලතිකාට මතකයි.
“ඔව්..පොඩි ෆන් එකක් තියේ ඒවා අහන් ඉන්න එකේ..”
නුලාරා කියනවා.ලතිකාට නුලාරාව මේ දැන්ම ගෙදරින් එළියට ඇදලා දාන තරමේ තරහක් ආවා.
“ඔයා දන්නවද?අනූ නම් මගේ හොඳම යාලුවෙක් නිසා මං එයාව අහන් ඉන්නවා.ඒත් මම සමහර අයට කියනවා ඒවා අරන් කවුන්සිලින් වලට කියලා.”
ලතිකා එහෙම කිව්වේ නුලාරාගේ තේ කෝප්පයත් අරගෙන මුළුතැන්ගෙයට යන ගමන්.
“ඔව් අනේ…වාතයිනෙ.”
නුලාරා හූමිටි තියන්න ගත්තා.
“නෑ..ඒ මට වාත නිසා නෙවෙයි.අපිත් සමහරවෙලාවට ප්‍රශ්න වල ඉන්නවනෙ.එතකොට අනුන්ගෙ ප්‍රශ්න අහන්න බැරි තරම් මගෙ ඔලුව බරයි.සමහර වෙලාවට ඒවා අහන් හිටියට දෙන්න විසඳුම් නෑ..මම එයාලව අනිවාර්යයෙන් හොඳම ඩොක්ට කෙනෙක් ගාවට යවනවා..”
එහෙම කියපු ලතිකා ෆේස්බුක් සමූහවල නිර්නාමික ගැටලු තියෙන්නේ දුකින් ඉන්න නොදන්නා ගැහැනුන්ට වචනයකින් හෝ උදව්වක් දෙන්න කියල පැහැදිලි කළා.
“ඔයාට කියන්න මොකුත් නෑනම් මඟ ඇරලා යන්න.නැත්නම් ඒ ගෘප්ස් වලින් ලීව් වෙන්න.සහකම්පනය ඕනෑම මනුස්සයෙක්ට වැදගත් නුලා…කෙනෙක්ට දුකකදී කොන්ද පණ නෑ කියලා හිනා වෙන එකම මහ පාපයක්..”
මනෝ ප්‍රතිකාර ලබමින් ඉන්න ඒත් සැනසීමක සේයාවක්වත් නොපෙනෙන අනූෂාට හිනා වීමත් ඒ තරමට පවක් කියලා ලතිකා ඊළඟට පැහැදිලි කළා.ඒ කතාව කියලා ඉවර කරනකොටම ලතිකාට දුරකථන ඇමතුමක් ආවේ කාර්යාලයේ තවත් මිතුරියකගෙන්.ඇමතුම අහගෙන හිටිය ලතිකා මේසයට හිස තබාගෙන අඬනකොට ඒ පණිවිඩය නුලාරාටත් ලැබුණා.
“දෙයියනේ..ඇයි අනූ මෙහෙම දෙයක් කරගත්තේ..”
මීට පැය කිහිපයකට කලින් අනූෂා ජීවිතය අත් හරින්න තීරණයක් ගෙන තිබුණු බව දැනගත්තු ලතිකා එහෙම කීවේ අඬන ගමන්.නුලාරා ඉන්නේ දුරකථනයේ මොනවද ලියන ගමන්.
“අපි අනූලගෙ ගෙදර යමු.මං කමල්ට කෝල් කරලා එන්නම්..”
ලතිකා සැමියාට ඇමතුමක් දෙන්න නැගිට්ටේ කඳුළු පිහින ගමන්.
“හා..මම මේ අනූට ෆේස්බුක් පෝස්ට් එකක් ලියනව..”
නුලාරා එහෙම කියනකොට අඬමින් හිටියට ලතිකාට වියරු හිනාවක් නැඟුණා.
“ඒ මනුස්සයාට තිබුණේ මවාගත්තු ප්‍රශ්න කියල කියපු ඔයාම දැන් මිනිස්සුන්ගෙ හිත දිනාගන්න අකුරු නාස්ති කරන්න එපා.එයාව බේරා ගන්න අපි උපරිමය කළේ නෑ කියලා අපි හැමෝම දුක් වෙන්න ඕන වෙලාවක් මේ..කමක් නෑ.ඔය කරන දෙයින් ඔයාගෙ හිත හැදෙනවනම් ඒක කරන්න..”
ලතිකා එහෙම කියලා නාන කාමරයට ගියේ මරණ ගෙදර යන්න ලෑස්ති වෙන්න.
“සහකම්පනය ” කියන වචනය ගැන නිකමට හරි තේරුම් අරන් හිටියානම් මේ වේදනාව දැනෙන එකක් නෑ කියලා නුලාරා හිතුවා.