නිස්සාර ගීතයට පදනම් වූ සත්‍ය කතාව.

නිස්සාර සංසාර හීනේ අතීතේ
ඔබ ඉන්නවා දැනෙනවා
කවදාක හමුවෙන්න දැකගන්න වේදෝ
තුන්යාමේ මං අහනවා
හැම රෑම ඈ ගාව ඔබ නිදනවා
ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා

උණුසුම් හාදු අද ඇගේ
සෙනෙහස තාම අපෙ හිතේ
දකිනා වාරයක පවා
මගෙ මුළු හිතම ගිනිගනී

මන්දාරම් පවන් පොදේ
තාමත් ඔබෙ සුසුම් දැනේ
හිත ගැහෙනා මේ සීතලේ
සැඟවෙමි ඔබගේ පපුතුරේ

නව පරපුරේ දක්ෂ ගායන ශිල්පිනියක් වන අභිෂේකා විමලවීර මේ ගීය ලියන්නේ සහ ගයන්නේ මීට වසර හතරකට කලින්.මේ වෙද්දී යූ ටියුබ් නැරඹුම් වාර මිලියන තුනහමාරක් පහු කර ඇති නිස්සාර ගීතය ප්‍රේමයක ඉමිහිරි රිදුමක කතාවක්.

ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනකදී අභිෂේකා ඒ ගීය ලියැවුණු සත්‍ය හේතුව හෙළි කර තිබුණා.

“මේ ගීය ලියැවෙන්නට හේතුව මගේ සරසවි මිතුරියක්.ඇය ඇගේ ජීවිතය තුළ තිබූ වටිනා කියන හැම දෙයක්ම කැප කරමින් විවාහක මිනිසෙකුට ආදරය කළා.ඇය ඔහුට දැඩිව ආදරය කරද්දී වෙන ගැහැනියකගේ සැමියෙකුට ප්‍රේම කිරීම ගැන මිතුරන් සහ දන්නා හඳුනන අය මගේ මිතුරියව දැඩි ලෙස ප්‍රශ්න කළා.නමුත් ඇය ඔහුට බොහෝ සේ ආදරය කළා.ඔහු ඇයට වඩා අවුරුදු විස්සක් පමණ වැඩිමහලු වෙද්දී ඔහු දරුවන් සිටින පියෙකු වෙද්දී පවා ඈ ඔහුට ආරය කළා.

“මේ වගේ කෙනෙක් තෝරා ගත්තේ ඇයි?”

මම එහෙම අහනකොට ඇය කිව්වේ හරිම අමුතු කතාවක්.

“ආදරේ කරනකොට ලස්සන,තරුණ සල්ලි තියන කෙනෙක්ම වෙන්න ඕනෑද? දේහධාරී මනුස්සයෙක්ම වෙන්න ඕනෑද? මම එයාට මාරම ආදරෙයි.”

දවසක් අපිට මේ ප්‍රේමවන්තයා සහ ඔහුගේ බිරිඳ කොෆි ෂොප් එකකදී මුණ ගැහෙනවා.බිරිඳ සහ ඔහු බොහොම ආදරයෙන් ඉන්න හැටි මමත් මිතුරියත් බලාගෙන ඉන්නවා.බිරිඳ ඇඟේ ගෑවෙනවටවත් අකමැති කියපු පුද්ගලයා ඇය සමඟ බොහොම ආදරයෙන් කතාබහ කරමින් ඉන්න හැටි අපි දකිනවා.එය ප්‍රේමවන්තියක බොහොම දුක්බර දසුනක්.නමුත් ඇය කිසිම කලබලයක් නොකර ඒ සියල්ල දරා ගන්නවා.

මම ඇය එදා අපේ ගෙදර අරගෙන එනවා.දුක සඟවාගෙන ඉන්නවාද දුකක් නැද්ද කියලා මම මිතුරියගෙන් අහනවා.

“මං ආදරේ කළේ ඒ හිටපු කෙනාට නෙවෙයි.වෙන කෙනෙක්ට.ඒ නිසා මට ප්‍රශ්නයක් නෑ”

මිතුරිය එහෙම පිළිතුරක් මට දෙනවා.මම එදා රෑ මෙහෙම පද පෙළක් ලියනවා.

දකිනා වාරයක පවා
මගෙ මුළු හිතම ගිනිගනී
හැම රෑම ඈ ගාව ඔබ නිදනවා
ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා”

ප්‍රේමය මේ විදියට වෙන්න පුලුවන්ද කියලා මට හිතුණේ එදා.ආදරය කරන කෙනා ගැන සීමා නිර්ණය කරන්න බැහැ නේද කියලත් හැබෑවටම ලෝකයේ ආදරය පවතිනවද කියන දේ ගැනත් මට හිතුණේ එදා.මිනිසුන්ට ආදරය ඉස්සරහ රඟපාන්න පුලුවන් ද? නිස්සාර ලියවෙන්න හේතුව අන්න ඒ කාරණා.ආදරය කියන්නේ පපුව හීරෙන එක – ඒ මැද්දෙන් හිනා වෙන එක කියලා මේ රූප රාමු පෙළ අවසන් වෙනවා.පාසල් ප්‍රේමවන්තයාගේ ඉඳන් සරසවි ඇදුරුතුමා වෙනකම් ආදරය ඉදිරිපිට බොළඳ වීම එයට හේතුවක් වෙන්න ඇති.

අභිෂේකා ඒ ගීය ලියැවෙන්න හේතු හැටියට කියන්නේ එහෙම සංවේදී කතාවක්.

ආදරයට සීමා මායිම් පනවන්න බැහැ.ආදරය කරන ප්‍රේමවන්තයා වෙනත් ගැහැනියකගේ නීතිමය උරුමය බව දැන දැන ඔහුටම බැඳෙන ඔහු වෙනුවෙන් කැප වෙන ගැහැනු මේ කුඩා දිවයිනේ මෙන්ම ඉන් එපිට ද බොහෝ සිටිනවා.සිතීමේ පරාසය බොහොම පටු, සංස්කෘතිය කරපින්නාගත් අපේ රටේ යුවතියන් ඒ කාරණාව තුළ රැවටීමට ලක් වීම අතිශය සාමාන්‍ය කාරණාවක්.අපේ කාන්තා සමූහයට ගලා එන නිර්නාමික ලිපි අතර එවැනි රැවටීම් නිසා ජීවිතය එපා කරගත් යුවතියන්ගේ කඳුළු කතා ඕනෑ තරම්.

ආදරය කරන මිනිසා වෙනත් ගැහැනියක ළඟ නිදන බව දැන සිටීම ම මරණීය වේදනාවක්.නමුත් ඔබ එවැනි වේදනාවක් උසුලන බව ඇය දැන ගැනීම ඇයට ද මරණීය වේදනාවක්.ගිනි නිවා දමා සැනසීම අත් කරගන්නට අත්හැරීම මිස වෙන විකල්පයක් නැති බව දැවෙන ගැහැනු දෙදෙනාගෙන් කෙනෙකු දැන ගත යුතුමයි.එවැනි පිරිමියෙකුගේ රැවටීම සදාකාලික බවත් වේදනාවෙන් විනිර්මුක්ත වීම පහසු බවත් තේරුම් ගැනීම ම ජයග්‍රහණයක්.

ආදරය පපුව සූරා දමන තැන් ඕනෑ තරම්.ඒ මැදින් පවා හිනැහෙන්නට ආදර හදවත්වලට ශක්තිය ලැබේවා!

තවත් මෙවැනිම කතා

More Stories

Don't Miss


Latest Articles