ලියුම.

සුමාලි දුරකථනය අංකනය කරලා ආයෙමත් ඇමතුම විසන්ධි කරේ ගැහෙන අතකින්.ඊටත් පස්සේ කාමරේ පුරා එහෙ මෙහෙ ඇවිදින්න පටන් ගත්තේ හිත එකඟ කරගන්නේ කොහොමද හිතන ගමන්.

“එක්කෝ ඒ නම්බර් එකට කෝල් එකක් ගන්නව.”

මේ අංකයට අමතන්න ඕනෑද කියලා හිත ඇතුළෙන් කෙනෙක් කෑගහලා අහනකොට සුමාලි ආයේ නැවතුණා.ඒත් ඉවසීම අවසන් වෙමින් එනවා.

“හෙලෝ..”

එහා පැත්තෙන් ආපු කටහඬ සුමාලිගේ හිත කෑලි දාහකට කඩලා දැම්මා.ඊටත් පස්සේ සුමාලි කතා කරන්න වචන හෙව්වා.නෑ! වචන හොයා ගන්න අමාරුයි.දුරකථනය විසන්ධි කරපු සුමාලි ඇඳේ පෙරළුණේ ඉකි ගහන ගමන්.මේ වුණු හැම දෙයක්ම අවුරුදු දහ නවයක ගෑනු ළමයෙක්ට දරා ගන්න අමාරුයි.කඳුළු පිහින අතරේ සුමාලිට හිතුණේ එච්චරයි.

හැමදේම සිද්ධ වෙලා දැන් පැය කීපයයි.තව ටිකකින් අම්මා ඉස්කෝලේ ඇරිලා එනවා.ඒ අම්මා!එතකොට මේ ලියුම එවලා තියෙන්නේ? සුමාලිට මේ නූල් බෝලය ලෙහා ගන්න ඕන.සුමාලි ඇඳ පාමුල වැටිලා තියන ලියුම අතට අරගෙන කියවන්න පටන් ගත්තා.

ආදරණීය දුව,

දැන් ඔයා උසස් පෙළ ලියලා ගෙදර ඇති කියලා මම හිතනවා.අවුරුදු දහ නවයක්ම ඉවසාගෙන බලාගෙන හිටියත් තවදුරටත් එහෙම ඉන්න බැරි බව දැනෙන නිසා මේ ලිපිය ලියන්න මට හිතුණා.මම ඒ නිසා තමයි මගේ පුංචි දුවට මේ ලියුම ලියන්නේ.

දුව,ඔයා මේ ලිපිය කියවලා හොඳටම කලබල වෙන වග මම දන්නවා.ඒත් මට මේක තවත් ඔයාගෙන් හංගන්න බෑ.

එතැනින් එහා කොච්චර කියෙව්වත් වෙනසක් නොවන වග සුමාලි දන්නවා.වසන්ති කියන නමක් තියන කෙනෙක් කියන හැටියට සුමාලිගේ අම්මා වෙන්නේ එයා.මීට අවුරුදු දහනවයකට කලින් තමන්ගේ දූ තමන්ට දරා ගන්න බැරි වුණු මොහොතක එයාව පතිරණ යුවලට බාර දුන්න බවයි වසන්තිගේ ලියුම පුරාම තියන කතාව.

“මගේ අම්මා..”

බාලිකාවේ ඉගෙන ගත්තු අවුරුදු දහතුනටම සුමාලිගේ අම්මා සුමාලිට ලැබුණේ සම්පූර්ණයෙන් නෙවෙයි.විද්‍යාව උගන්වන මාලිකා පතිරණ ටීච සුමාලිටම තනියම අයිති කරගන්න දෙන්න බාලිකාවේ බාලිකාවන්ගේ කැමැත්තක් තිබුණේ නෑ.

“ටීච ගාව අම්මා සුවඳයි.”

සුමාලිගේ හොඳම යාලුවා හසිනි ඒ කතාව නිතරම කියපු කතාවක්. ඇත්තටම සුමාලිගේ අම්මා හොඳම හොඳ අම්මා කෙනෙක්.ඒ අම්මා ගැන ආඩම්බරෙන් හිටිය සුමාලිට ඒ ආඩම්බරේ තවත් අයිති නැහැ කියලා හිතීම දරා ගන්නත් අමාරු දෙයක්.

“එහෙම වෙන්නේ කොහොමද?”

අම්මා වගේ පැහැපත් නොවීම ගැන සුමාලිට දුක හිතෙන්න ගත්තේ හයේ හතේ පන්තියේ ඉඳලා.අම්මාගේ කොණ්ඩේ වැඩිය දිග නැතත් සුමාලිගේ දිගම දිග ක්‍රේල් කොණ්ඩේ හැමෝගෙම ඇස් සුමාලි දිහාට ඇදලා ගන්න සමත් වුණා.ඒ කොණ්ඩේ සහ හමේ පාටත් තමන්ගේ මුහුණේ හැඩහුරුකම් සේරෝමත් මේ ලියුම එවපු අම්මා ලියුම එක්ක එව්ව ඇගේ ඡායාරූපයේ තියනවා.ඒ කියන්නේ මේ කතාව ඔප්පු කරන්න වෙන කිසිම සාක්කියක් ඕන නෑ.

“ඔයා පුදුම දක්ෂයිනෙ.මාලිකා ටීචගේ මොළේ තමයි ඔයාටත් ඇවිල්ලා තියෙන්නේ.”

වාර විභාග ඉවර වෙලා සුමාලි නමට පන්තියේ පළමුවැනියාගේ තැන වෙන් වෙනකොට යාලුවෝ කියනවා.ගුරුවරියක් වුණු අම්මාගේ මොළෙයි පරිපාලන නිලධාරියෙක් වුණු තාත්තාගේ මොළෙයි තමන්ට ඇවිල්ලා කියලා සුමාලි හිතුවට අම්මා කියන්නේ වෙන කතාවක්.

“සුදු දූ මහන්සි වෙලා පාඩම් කරනවනෙ.අම්මාගේ තාත්තගේ මොළේ නෙවෙයි.ඔය ලකුණු ඔක්කොම දූගේ මහන්සිය.”

සාමාන්‍ය පෙළ ඉහළින්ම සමත් වුණු වෙලාවෙත් අම්මා වගේම අප්පච්චිත් කිව්වේ ඒ කතාව.උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් හදාරලා ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් ඉන්න සුමාලිට වෛද්‍ය විද්‍යාලය දුර නැති බව සුමාලි දන්නවා.ඒ ගමන දුර නොවෙන්න අම්මගේ අප්පච්චිගෙ උදව්ව මහා මෙරක් වුණු වග සුමාලි නොදන්නවා නෙවෙයි.

සන්තෝසෙන් ගලා හැලුණු දිය ඇල්ලක් වගේ ලස්සන සුමාලිගේ ජීවිතේ මැද්දට ආපු මේ ලියුම ඒ වතුරේ පාවෙන කඩදාසි බෝට්ටුවක් තරම් සුන්දර නෑ.සුමාලිට ඒ අම්මාට කතා කරලා බලන්න හිතෙන තරම් හිත කලබලයි.මීට අවුරුදු දහ නවයකට කලින් තමන්ව අත් අරින්න තිබුණු සාධාරණ හේතු කියන ඒ අම්මාට කතා කරලා එකපාරක් අම්මේ කියන්න සුමාලිට හිතෙනවා.

සුමාලි එහෙමෙහෙ ඇවිද්දේ තෝන්තුවාවෙන් වගේ.අම්මා එන්න කලින් අද මුණ ගැහුණු අම්මාට ඇමතුමක් දෙන තරම් ආවේගයක් හිත ඇතුළේ උතුරනකොට සුමාලිට කිසිම දෙයක් කරගන්න අමාරුයි.අද අම්මා පරක්කුයි.හවස ඕ ලෙවල් පන්තියේ නංගිලාට අමතර පන්තියක් තියන බව කිව්වද කියලා කල්පනා කළත් සුමාලිට කිසිම මතකයක් නෑ.ඔළුව ඒ තරමට අවුල් වෙලා.

හදිසියේ මතු වුණු අම්මාට ඇමතීම තිස් තුන් වැනි පාරටත් කල් දානකොට ගේට්ටුව ළඟ රෝද තුනක් නවත්වන හඬ සුමාලිට ඇහුණා.සුමාලි එබිලා බැලුවේ අම්මා ද කියලා සැක හැර දැන ගන්න.ඔව් ඒ අම්මා.මෙච්චර කාලයක් අම්මා වග හිතපු ඒත් ජීව විද්‍යාත්මකව කිසිම අයිතියක් නැති අම්මා. 

“ක්ලාස් එකක් තිබ්බද අම්මා?”

සුමාලි අම්මාගෙ ඇස් දිහා නොබලන්න ප්‍රවේසම් වෙමින් ඇහුවා.අම්මා සාරි පොටින් මුහුණ පිහදාන ගමන් පුටුවක ඉඳ ගත්තේ මහන්සියෙන්.හත වසරේ නංගි කෙනෙක් ඉස්කෝලේ ඉස්සරහදි හදිසි අනතුරකට ලක් වුණු හැටිත් ඇයව රෝහල් ගත කරලා සුළු තුවාල විතරක් තියන වග සැක හැර දැන ගන්නකම් ගෙදර එන්න බැරි වුණු වගත් අම්මා කියනකොට සුමාලිට ඉස්සර දවසක් මතක් වුණා.ඒ සුමාලි අටේ පන්තියේ ඉන්නකොට වුණු දෙයක්.ගෘහ විද්‍යා පාඩමකදී අත කැපුණු දවසක්.එදා අම්මා කලබල වුණේ සුමාලිට සදහටටම ඇඟිල්ලක් නැතුව ඉන්න වෙයි වගේ.

“පුංචි කෙල්ලට මොනවා වෙලා ඇතිද කියලා කලබල වෙච්ච පාර මට ඔයාට කෝල් එකක්වත් දෙන්න අමතක වුණා පුතේ..”

අම්මා එහෙම කියාගෙන නැගිට්ටේ මහන්සියෙන්.අම්මා ඇයි පරක්කු කියලා අහන්න අමතක වුණු බව සුමාලි හිතුවේ කම්පාවෙන්.අලුත් අම්මා කෙනෙක්ගේ ලියුම එක්ක හැම දෙයක්ම අමතක වුණා.

අම්මා නාන්න ගිහින්.නාන කාමරයේ වතුර මලේ වතුර හඬ ඇහෙනවා.සුමාලිට පණටත් වඩා ආදරේ කරන අම්මා ඒ සමානම ආදරයක් බාලිකාවේ කෙල්ලන්ටත් දෙන වග සුමාලි දන්නවා.අම්මාගේ මව්වත්කම එන්නේ ලේවලින් නොවෙන්න පුලුවන්.ඒත් අම්මා ගාව තියන අම්මාකම වෙන කොහෙන්වත් හොයන්න පුලුවන් ද? සුමාලි දිගින් දිගටම හිතන්න ගත්තා. අම්මා කෙනෙක් වෙලා අසීමාන්තිකව ආදරේ කරන්න දස මාසයක් කුස දරන්න ඕනෑ නෑ.ලේ කිරට හරවන්න ඕනෑ නෑ.ලොකු හදවතක් තිබ්බාම හොඳටෝම ඇති.අවුරුදු දහ නවයකට පස්සේ දිග ලියුමක් එව්ව අම්මගේ ලියුමේ අත් අරින්න හේතු කිහිපයක් තිබ්බා තමයි.ඒත් අම්මාට අල්ලා ගන්න හේතු කීයක් තිබ්බාද කියලා සුමාලි කල්පනා කළා.දාහක්??ලක්ෂයක්.??කෝටියක්?? නෑ ඊටත් වැඩියි.

“මොනවද පුතේ පුච්චන්නේ?”

නාන කාමරයෙන් එළියට ඇවිල්ලා බත් බෙදා ගන්න ගමන් අම්මා ඇහුවේ මුළුතැන්ගෙයි ජනේලයෙන් එබිලා බලන ගමන්.කාමරය අස් කරලා රොඩු පුච්චලා දාන ගමන් කියලා කිව්ව සුමාලි ඒ රොඩු ගොඩ අස්සේ හැමදාටම අමතක කරන්න ඕනෑ ලියුමක් තියන බව නොකියන්න පරිස්සම් වුණා.දුම්‍ රොටු ඉහළ නඟිනවා.සුමාලි ඒ දුමෙන් මෑතට ඇවිල්ලා අම්මා එක්ක හිනා වුණා.

අම්මාගේ හිනාව මොනතරම් ලස්සනද!!

More Stories

Don't Miss


Latest Articles