වැටකොළු පොතු අපතේ නොදා සැකසිය හැකි ආහාර

මේ බොහොම අසීරු කාල පරිච්ඡේදයක්.ගෘහණියන් හැටියට අපිට කිසිවක්ම අපතේ යවන්නට මේ කාලයේ බැහැ.එළවළු පිරිමසාගෙන ඉවුම් පිහුම් කරන්න අපි හුරු වෙන්න ඕනෑ.ඒ නිසාම අද අපි ඒ වගේ රෙසිපි කිහිපයක් ඔබට ගෙන එන්න හිතුවා.

මේ ලිපියෙන් වැටකොළු පොතු ඉවත නොදා සාදා ගන්න ආහාර කිහිපයක් ගැන කතා කරමු.

වැටකොළු පොතු මැල්ලුම

අවශ්‍ය ද්‍රව්‍ය 

  • වැටකොළු පොතු
  • රස අනුව ලුණු 
  • කහ කුඩු
  • ගා ගත් පොල්
  • අමු මිරිස්
  • ළූණු 
  • සුදු ළූණු
  • කරපිංචා

සාදා ගන්නා ආකාරය

  • වැටකොළු පොතු සිහින්ව ලියාගන්න
  • ලුණු මිශ්‍ර වතුරේ මද වේලාවක් තබන්න 
  • ඉන්පසු නැවත සෝදාගෙන ලුණු සහ කහ මිශ්‍ර වතුරේ තම්බා ගන්න 
  • සිහින්ව ලියාගත් අමූමිරිස්,ළූණු සහ සුදු ළූණු, කරපිංචා සහ අවශ්‍ය නම් අබ සමඟ පොල් අඹරා ගන්න.
  • වැටකොළු තැම්බුණු පසු මිශ්‍රණය එකතු කර මලවා ගන්න.

වැටකොළු පොතු කැඳ

අවශ්‍ය ද්‍රව්‍ය 

  • වැටකොළු පොතු
  • සුදු හාල් මිටක්
  • සුදු ළූණු
  • පොල්

සාදා ගන්නා ආකාරය

  • සුදු කැකුළු හාල් මිටක් ලිපතබා එයට සුදු ළූණු එකතුකර බෙරි වෙන සේ උයාගන්න.
  • පොල් ටිකකට කුඩාවට කැබලි කපාගත් වැටකොළු පොතු සහ වතුර එකතු කර බ්ලෙන්ඩ් කරගන්න.
  • පෙරාගත් ඒ මිශ්‍රණයට බෙරි කරගත් බත් දමා නැවත බ්ලෙන්ඩ් කර ගන්න.
  • විනාඩි කිහිපයක් ලිපේ තබා හැඳි ගාමින් පිසගන්න 
  • රස අනුව ලුණු එකතු කරන්න.

වැටකොළු පොතු තෙම්පරාදුව

අවශ්‍ය ද්‍රව්‍ය 

  • වැටකොළු පොතු
  • කහ කුඩු
  • තෙල් ස්වල්පයක් 
  • බී ලූණු
  • රම්පේ
  • කරපිංචා
  • අමු මිරිස්
  • කෑලි මිරිස්
  • ලුණු

සාදා ගන්නා ආකාරය

  • වැටකොලු පොතු සිහින්ව කපා කහ සමග මිශ්‍රකර තම්බා ගන්න.
  • වෙනත් බඳුනකට තෙල් එකතු කර එයට අනෙක් අමුද්‍රව්‍ය දමා රන්වන් පැහැ වනතුරු බැදගන්න.
  • කෑලි මිරිස් සහ ලුණු කුඩු සමඟ තම්බාගත් වැටකොළු පොතු එයට එකතු කරන්න
  • අවශ්‍ය නම් හාල් මැස්සන් හෝ කරවල හෝ කූනිස්සන් ස්වල්පයක්ද එකතු කළ හැකියි.

Related Articles

Don't Miss


Latest Articles