“අපෝ ඔය අනූෂා ඉන්නවා නේද?”
මම ඉදල පැත්තකින් තියලා ඒ හඬට හැරිල බැලුවා.අපේ අලුත් ගෙදර අසල්වැසිනියක් පොඩි ගේට්ටුවෙන් එබිලා මං දිහා බලාගෙන ඉන්නවා.තාම මේ ලේන් එකේ ඉන්න මිනිස්සුන්ගේ නම් හරියට නොදන්න නිසා “අනූෂා” කවුද කියලා මම කල්පනා කළා.
“කවුද අනූෂා?”
අන්තිමට මම එහෙම අහන්න තීරණය කළේ ඇත්තටම මම අනුෂා කෙනෙක් ගැන නොදන්න නිසා.අඩුම තරමේ මේ කේලම කියන්න එන කෙනාගේ නම වත් මම දන්නෙ නෑනෙ.මේ ඉස්සරහ ගෙදර ජීවත් වන ගැහැනිය. මම දන්නේ එච්චරයි.
“දැන් ඔය කළු පාට කාර් එකක් නවත්තලා ඔයත් එක්ක කතා කරලා ගියේ.”
ඒ ප්‍රිය මනාප තරුණියගේ නම අනූෂා කියන එක මම දැනගත්තේ ඒ වෙලාවේ.කුණු ගෙනියන්න එන දවස සහ වෙලාව,විදුලි කප්පාදුවට අපි වැටෙන්නෙ මොන කලාපයට ද කියන එක,අහල පහල නැවුම් එළවළු පලතුරු ගන්න පුලුවන් තැන් වගේ දේවල් කිහිපයක්ම මට කියපු ඇය යන්න ගියේ ඕනෑම උදව්වක් ඉල්ලන්න කියලා මට සිහිපත් කරලා.හැබැයි අඩුම තරමේ මගේ නම වත් අහන්න ඇය උත්සාහ කළේ නැහැ.
“ගෙදරකට අලුතින් ආවම හැමදේම හොයල බලල කරන්න වෙනවා නේ.ඒකයි මං ඔයාව දැකල කතා කරේ.”
ඒ ප්‍රියමනාප තරුණිය දැන් මොහොතකට කලින් මට ඇති කළේ බොහෝම ප්‍රසාදයක්.නමුත් මේ කඩාපාත් වුණු ගැහැනිය අන්න මොනවද කියලා මට වැටහෙන්නේ නැහැ.
“කිසිම චාරයක් නැති ගෑනියෙක් ඔය අනූෂා.මම නං එයා මෙහෙ ජීවත් වෙනවටවත් කැමති නෑ.මොනව කරන්නද ඉතින් සල්ලි තියනවනම් ගෙවල් ගන්න පුළුවන්නෙ.”
සාමාන්‍යයෙන් මේ වගේ වයස් වල කාන්තාවන් අනිත් අයව මනින්නේ ඇඳුමෙන් පැළඳුමෙන් සහ විලාසිතාවලින්. ඒත් අනූෂා එහෙම තදබල විලාසිතා කරන බවකුත් මට ඇයගෙන් පෙනෙන්න තිබුණේ නෑ
“මම දැම්මම ඕව කියන්නේ නෑ.ඔහොම ඉන්නකොට ඔයාටත් එයාගෙ තරම තේරෙයි.”
ඉස්සරහ ගෙදර කාන්තාව එහෙම කියාගෙන යන්න ගියා.අනූෂා කොහොම කෙනෙක් වුණත් මට මොකද කියලා මම හිතුවේ පුතාගේ කෑම එක හදන්න ගෙට යන ගමන්.හැබැයි ඊළඟ දවසෙත් මට අනූෂා එක්ක කතා කරන්න ඕනෑ වුණා.
“මම මේ ඔයා මෙතනින් යයිද කියලා හිතුවේ.ඊයේ ඔයා බබාව වාහනෙන් අරන් එනව දැකල මම හිතුවා මේක අහන්න හොඳම කෙනා ඔයා කියලා.”
එහෙම අහනකොට හදිසි උවමනාවක් නම් ගෙවල් පැත්තට එන්න තිබුනනේ කියලා අනූෂා කිව්වේ ලස්සන හිනාවක් තොල් අතරට ගන්න ගමන්.මල් පැළවලට නුවුමනා සාත්තුවක් දෙන අතරේ ඉස්සරහ ගෙදර නෝනා අපිට ඇහුම්කන් දෙන බව මම දැක්ක.ඒත් නොදුටුවා වගේ ඉන්න උත්සාහ කළා.
මට උවමනා වුණේ පුතාට හොඳ ළදරු පාසලක් ගැන දැනගන්න.අනූෂාගේ දුව මගේ පුතාගේ වයස ම වගේ පෙනෙන නිසා ඒ ප්‍රශ්නය අහන්න සුදුසුම ඇය කියලා මම තීරණය කළා.චරිතගේ හදිසි ස්ථාන මාරුවීම නිසා පළාත මාරු කරන්න හදිසියේම සිද්ධ වුණාට අපි මේ පළාත ගැන කිසිම දෙයක් දන්නේ නැහැ.ෆේස්බුක් කාන්තා සමූහ කිහිපයකින්ම මේ පළාතේ හොඳ ළදරු පාසලක් ගැන ඇහුවට මගේ හිතට හරියන පිළිතුරු එකක්වත් ම නොලැබුණු තරම්.නමුත් අනුෂා මගේ හැම ප්‍රශ්නෙකටම පැහැදිලි උත්තර ලබා දුන්නා.
“හැමදාම එයත් එක්ක සෑහෙන කතා තියෙනවා නේද?”
ඉස්සරහ ගෙදර කාන්තාව ආයෙත් මං දිහා බලාගෙන හිටිය අනුකම්පාව උපදවන බැල්මකින්.මම මඳ සිනාවකින් ඈට සංග්‍රහ කරලා ඉක්මනින් නිවස තුළට යන්න උත්සහ කළා.නමුත් එය සාර්ථක වුණේ නැහැ.
“පවුලක් කඩල පවුලක් හදාගත්ත ගෑනියෙක් කොහොමද හොඳ මනුස්සයෙක් වෙන්නේ.ඔහොම කරන මිනිස්සුන්ට කවදාවත් හරි යන්නේ නෑ”
මේ මොන කතාවක්ද?
නමුත් ඇය දිගින් දිගටම කියවාගෙන යන්න පටන් ගත්තා.ඇය කියන විදියට අනූෂා සමග සිටි දැරියගේ අම්මා අනූෂා නෙවෙයි.ඇය සහ දැරියගේ පියා සතුටින් ජීවත් වූ ලෝකය ආක්‍රමණය කරලා තියෙන්නේ අනූෂා.දැන් දැරියට අම්මත් නැහැ.අනූෂා කරලා තියෙන්නේ සුළුපටු පවක් නෙවෙයි.
“පවුලක් කඩල පවුලක් හදාගෙන සතුටින් ඉන්න බෑ කාටවත්.ආදරය කියන්නේ කෙනෙක්ගෙ පවුලක් විනාස කරන එක කියන එක හිතෙනවනම් එහෙම හිතන කෙනාට සෑහෙන්න වැරදිලා.අනූෂා ඉන්නෙත් අන්න ඒ වැරදීමෙන්.”
මට තව දුරටත් මේ ඕපාදූප ඇසීමේ උවමනාවක් තිබුණෙ නැහැ.නමුත් ලස්සනට ජීවත්වෙන අනූශාට තමන් කරපු පව් පල දෙන්න ඕනෑම මොහොතක පුළුවන් කියලා අසල්වැසි කාන්තාව මට කියන්නේ බොහොම විශ්වාසයකින්.
“ඔය වගේ ගින්දර හැරෙන තැපෑලෙන් ලැබෙනවා.”
යන්තම් හිනා වීගෙන නිවස ඇතුළට යන මට ඇය එහෙම කියන සද්දෙ ඇහුණා.නමුත් ඇය ජීවිතයට ඕනෑවට වඩා ළංකර ගත යුතු නැති ගැහැනියක බව මම තේරුම් ගනිමින් සිටියා.මම නොදන්නා ඕපාදූප මට රහ කර කර කියන ඇයගෙන් කටත් වැඩිය පරිස්සම් වෙන්න ඕනේ කියලා මට හිතෙන්න අරගෙන තිබුණා.දරුවන් එකම පෙර පාසලකට යාම නිසා මමත් අනූෂාත් කිට්ටු මිතුරියන් වීම ඉතා ඉක්මනින් සිදු වෙමින් තිබුණා.එක ජාතියෙ කුරුල්ලො එකට ඉගිලෙන බව අසල්වැසි කාන්තාව ඇනුම් පදයක හඬින් කියන මම මට දවසක් ඇහුනත් මම ඒවා නෑහුණු ගාණට ඉන්න උත්සාහ කළා.
අනූශාට ආදරයෙන් අම්මා කියලා අමතන දැරියගේ අම්මා ඇය නොවෙන්න පුලුවන්ද? මට ඒ ගැටලුව නම් නොතිබුණා නෙමෙයි.නමුත් ඕනෑම ගැටළුවකට පිළිතුරු ලැබෙන දවසක් එනවා.
“මාධි,අපි කැන්සර් හොස්පිටල් එකට කෑම බීම අරන් යනව එන සඳුදා.ඔයාලා තුන්දෙනත් එනවද? මම මේ ලේන් එකේ අයට මේ ගමනට කතා කරලම නැහැ.ඒත් හරි පුංචි කාලෙකින් අපි හොඳ යාලුවෝ උනා නේ. ඒ නිසා ඔයාලටත් කතා කරමුද කියලා මම භාතියගෙන් ඇහුවා.”
මීට අවුරුදු හයකට කලින් චරිතගේ අම්මා ජීවිතය අතහැරපු තැන අපිට කොහොමත් සංවේදීව දැනෙන තැනක්.තවමත් අම්මා යන්න ගිය දවස සිහිකරලා අපිත් පිළිකා රෝහලට අපිට හැකි පමණ දෙයක් කරන්න පුරුදු වෙලා හිටියා.සමහරවිට අනූෂාගේත් අම්මා හෝ තාත්තා ගැන එහෙම මතකයක් ඇයට ඇති.
“අපේ දූගේ අම්මා මම නෙවෙයි මාධි.එයා කැන්සර් එකකින් නැති වෙනකොට කෙල්ලට අවුරුද්දක් විතර.ඒ කතා දන්නෙ නැති මිනිස්සු පවා දන්න එකම කතාව මමයි භාතියයි එකම ඔෆිස් එකක වැඩ කළා කියන එක විතරයි.එක්කෝ එයාලා ඒ ගැන දැනගෙන නොදන්නවා වගේ ඉන්නවා.එහෙම නැත්තං හොයාගන්න ලේසි ඕපදූපෙ හොයාගෙන සතුටු වෙනවා.මම ඕවා හිතන්නේ නැහැ.ඒත් ඔයත් එක්ක කියන්න හිතුණා.”
දුවට පණ වගේ ආදරය කරන අනූෂා ඇගේ සැබෑ බව ජීවිතයෙන් සමුගත් දිනය සිහිකරලා තවම දාන මාන පවත්වනවා.ඒත් ඇයට මේ අසල්වැසියෝ කියන්නේ “පවුලක් කැඩූ ගැහැනිය” කියලා.නමුත් ඇය අසරණව ගිය තාත්තෙක් සහ දුවෙකුට ආදරයෙන් ළං වූ ගැහැණිය කියන කතාව ඇය රහසක්ව රකිනවා.ඕපාදූප පැතිරෙන තරමට කෙනෙකුගේ හොඳ පැතිරෙන්නේ නැත්තේ ඇයි? මම හිතුවේ වේදනාවෙන්.
“මට දුකක් නෑ අනේ.ඕන කෙනෙක් ඕන දෙයක් කියපුවාවේ.අපි සතුටින් සැනසීමෙන් ඉන්නවනෙ.”
අනූෂා එහෙම කියනකොට මම ඇය දිහා බැලුවේ සැනසීමකින්.
ඇත්තටම ඊටත් වඩා මොනවද කියලා මටත් හිතුණා.