ජීවිත කාලයෙන් තුනෙන් එකක්ම ඇමරිකාවෙ හිටියට අව්‍යාට කසාද බඳින්න ඕනි වුණේ ට්‍රැඩිෂනල් කැන්ඩියන් ඇඳලා මාල හත දාලා. කොණ්ඩෙට, පෝරුවට, ඩෙකරේෂන් ඔක්කොටම පිච්ච මල් විතරයි. පිච්ච මල් සුවඳට පුළුවන් වෛද්‍ය සමන්ති දිසානායකව අවුරුදු ගාණක් ආපස්සට අරන් යන්න.
කැප්ටන් නුවන් දිසානායකට රස්සාව හින්දා උතුරට යන්න සිද්ධ වුණාම සමන්ති දෙපාරක් නොහිතා එහෙ යන්න හේතුව විස කටු වගේ වචන.ලේලියෙක්ට, නෑනෙක්ට දරන්න අමාරු නපුරු කතා වලින් කන් පුරවගන්නවට වඩා වෙඩි සද්දෙ ඉවසන්න පුළුවන් ඇති කියල සමන්ති ට ඒ කාලෙ හිතෙන්න අරගෙනයි තිබුණෙ.
අලුත් පරිසරයක, අලුත් මිනිස්සු එක්ක ගැවසෙද්දි විස කටු වචන සමන්තිට ටික ටික අමතක වෙලා ගියා. සමහර දරාගන්න අමාරු පණිවිඩ මෙඩිකල් රිපෝට් විදියට එද්දි වුණත් ඒවා දරාගන්න පුළුවන් වුණේ ඒ දවස්වල එහෙ හිටපු නිසා කියල සමන්ති දන්නවා.
අව්‍යා ට නම තිබ්බෙ මලර්. මලර් ගෙ සම්පූර්ණ නම මලර්මතී වුණාට අම්මට,අප්පට, ගමේ හැමෝටම එයා මලර්. සමන්ති උතුරට ගිය දා ඉඳලා සමන්ති ගෙ ළඟින්ම උන්නෙ මලර්. නුවන් නැති වුණාට පස්සෙ විස කටු වලින් ඈත්ම වෙලා බදුල්ලෙ ඉන්න කාලෙත් සමන්ති ගෙ හෙවණැල්ල වුණේ මලර්.
අව්‍යා ගෙ නමේ තේරුම “දෙවියන් ගෙ තෑග්ග” කියන එක. ඒක අව්‍යා ට තියන්න සුදුසු ම නම. You are our miracle! තාත්ති එයාව වඩාගෙන එහෙම කියනවා අව්‍යාට යන්තමට මතකයි.
“ඔයාට ආස විදියට වෙඩින් එක ගන්න. ඔය චාරිත්‍ර ඔයා අකමැති නම් නොකළා කියල මට ප්‍රශ්නයක් නෑ පුතේ!” අම්මි එහෙම කියද්දි වුණත් අව්‍යාගෙ හිත කිව්වෙම මනමාලියෙක් වෙන එක ට්‍රැඩිෂනල් විදියට වෙන්න ඕනි කියල.
අව්‍යා පිච්ච මල් වලට ආසයි. ඒක පිස්සුවක්. ඒ පිස්සුව බෝ වුණේ මලර් නිසා. ලංකාවෙ ගෙදර මිදුල පුරාම පිච්ච වැල් තිබුණේ මලර් නිසා. පිච්ච පෝරුව උඩ ඉන්න අව්‍යාට මතක් වෙන්නෙ ඉස්සර මලර්ගෙ කාමරේ පිරිලා තිබුණ පිච්ච සුවඳ. හෙයාඩ්‍රෙසර් මොන වගේ හෙයාස්ටයිල් එකක් ද අහද්දි අව්‍යා ට මතක් වුණේ ඉස්සර මලර් දිග කොණ්ඩෙ ගොතල ඒක රවුමට කරකවලා පිච්ච මල් ගහන හැටි.
අව්‍යා ට වඩා අවුරුදු දා හතරක් වැඩිමල් වුණාට අදටත් අව්‍යාගෙ හොඳම යාළුවා මලර්. පොඩි කාලෙ අම්මගෙ යාළුවො ඇවිත් “Who is your best friend?” කියල ඇහුවාම අව්‍යා උත්තර දෙන්නෙ “My best friend is Malar” කියල.
“Amma, who is your best friend?” කියල අව්‍යා ඇහුවාම අම්මගෙ උත්තරේ වුණෙත් මලර් බව අව්‍යාට මතකයි. හැමදාම වගේ අදත් අම්මාගෙ පිටිපස්සෙ ඉන්නෙ මලර්.
අව්‍යා ඔළුව උස්සලා මලර් දිහා බැලුවා. රතු බෝඩර් එකක් වැටුණු පීච් පාට සාරියක් ඇඳලා, කොණ්ඩෙට පිච්ච මල් ගහලා මලර් කඳුළු අස්සෙන් හිනා වෙනවා. මලර් නොහිටියා නම් තාත්තිත් නැතිව අම්මට තමන්ව බලාගන්න කොච්චර අමාරු වෙන්න තිබුණද කියල අව්‍යාට හිතෙනව. අනිත් අතට මලර්ට අම්මා නොහිටියා නම් අද මලර්ගෙ නම ඉස්සරහින් ඩොක්ට මලර් කියල නොවැටෙන්න තිබුණා කියලත් අව්‍යට හිතෙනවා.
“මනමාලිගෙ අම්මා ඉස්සරහට එන්න” සමන්ති ගෙ, මලර්ගෙ, අව්‍යාගෙ දැහැන අෂ්ටක කියන කෙනාගෙ කටහඬින් බිඳෙනවා. මලර්ගෙ අතින් සමන්තිව ඉස්සරහට තල්ලු වෙනවා. කියන දේවල් හරියටම නොතේරුණත් අව්‍යාට ඇඬෙනවා. රැපින් පේපර් එකක ඔතපු කිරිකඩ සේලෙ අව්‍යා අම්මට දෙනවා. මනමාලයා අව්‍යාව සනසනව.
සමන්ති තමන්ගෙ අතට ලැබුණු කිරිකඩ සේලෙ මලර් අතේ තියනවා. අවුරුදු විසි ගාණකට කලින් නරුම මනුස්සයෙක් බලහත්කාරයෙන් අත්තටු බිඳලා දාලා තියෙද්දි ඉස්පිරිතාලෙ අරන් ආව පුංචි කෙල්ලෙක්ටත්, කාලයක් තිස්සෙ දැකපු හීනයක් බිඳෙන හැටි අමාරුවෙන් දරාගෙන උන්නු දොස්තර නෝනා කෙනෙක්ටත් මිරකල් එකක් වුණ පිච්ච මල පෝරුවෙන් බැහැලා ආව ගමන් ඒ දෙන්නගෙ අත් වලින් අල්ලගන්නවා.
ලිව්වේ – පුන්සිසි රාජකරුණා