හෙමි හෙමිහිට පොද වැස්සක් වැටුණේ ය. දුහුවිලි හුළඟ සමග පොර බදමින් මාස කිහිපයක් ම පාරවල් දිග දිව ගිය රථ වාහන වල වීදුරු දිගේ දුඹුරු පාට වැහි බින්දු රූරා ගියේ ඉඩෝරය අවසාන වීමට යන බව සලකුණු කරමිනි. මුලින් පොද වැස්සක් එව්වාට අහස ලොකු වස්සානයකට අර අඳිමින් ඉන්නා බවක් පෙනෙන්නට තිබිණ. හිතුවක්කාර සුළඟක් ගැටවර කොළුවෙකු සේ කැරැල්ලක් ඇති කළේ ය. ඒ සුළං කැරැල්ලේ පැත්තට දිවූ වැහි බින්දු, බින්දු නොව සරල රේඛා සේ සන්තුෂී ට පෙනුණේ ය. ඇගේ දෙතොල් අතරේ දඟකාර හිනාවක් නවාතැන් ගත්තේ අවසරයකින් තොරව ම ය.
සියල් ආත්මීය දොරවල් විවෘත වී ඇති බවක් ඇයට දැනිණ. දඩබ්බර සුළඟ ඒ මන්දිරේ විවෘත කවුළු අතරින් ඒ මේ අත දිව ගියේ, එතෙක් හැකිලී බලා ගත් අත බලා ගෙන උන් සිනිඳු සේද තිර රෙදි අමන්දානන්දයට පත් කරමිනි. එසිනිඳු සේල සුළඟේ පා වෙන්නට විය. කාලයක් තිස්සේ වසා දමා තිබීම නිසා එහි අරක් ගෙන තිබූ මූසල පුස් ගඳවල් ගසා ගෙන යන්නට විය. අලුත් සුළඟේ නැවුම් සුවඳින් පෙනහලු පිරී යන්නට විය.
තප්ති ගේ ලොකු වුණ ඇස් දෙක සිහි වී තවත් වතාවක් සන්තුෂී ගේ මුහුණට සිනහවක් ආවේ ය. ඉන් පසුව අංජන ගැන වදනක් හෝ නොදොඩන්නට ඇය ප්‍රවේසම් වූවා ය. ඒ තප්ති ගේ හැටි ය. නමුත් යෙහෙළිය අවංක බව සන්තුෂී දනී. කල්ප සිය ආත්මය නමැති සුදු වැලි තලාව මත්තේ ඇල්ලූ අඩව් කස්තිරම් වලින් ඇය කෙතරම් හෙම්බත් වූවාද කියා යෙහෙළිය තරම් දන්නා කිසිවෙකු නැත. සන්තුෂී ට නරකක් වෙනවාට ඇය තරම් බිය කෙනෙකු ද සන්තුෂී ට හොඳක් වෙනවාට ඇය තරම් සතුටු කෙනෙකු ද සිටී නම් ඒ සන්තුෂී ගේ ජීවත් වන අම්මා ත් මිය ගිය තාත්තා ත් පමණකි. ඒ බව දන්නා නිසා සන්තුෂී යෙහෙළිය ගේ ඕනෑ ම තරවටුවක් ආදරය ම සේ පිළිගන්නට සූදානම් ය.
වැහි පොද වල වේගය උන් හිටි ගමන් සුළඟත් එක්ක ම වැඩි විය. වයිපර වල ක්‍රියාත්මක වේගයටත් වඩා වැස්ස කලබලකාරී විය. අඩ කවයක් සේ ඇය ඉදිරියේ පිසදැමී යන වින්ඩ්ස්ක්‍රීනයෙන් සන්තුෂී ඉදිරි මග දෙස බැලුවේ වීදුරුව සේ ම පිසදැමී ගිය ඇස් දෙකකිනි. වැස්සක් යට රියක් තුළ හිඳ බලත්දී පෙනෙනා ලෝකය හරි අමුතු ය. කලබලකාරී ය. සිත්තරෙකු විසින් එහෙන් මෙහෙන් සායම් තවරන ලද සිතුවමක් සේ ය.
රිය ධාවනය වූයේ සෙමෙනි. සන්තුෂී ඊට කැමති වූවා ය. කිසි හදිසියක් ඇය වෙත නොවිණ. ඇය ගෙදර එන තුරු බලා සිටින්නට කෙනෙකු එහි නැත. එහෙම හිතත්දී පවා දැනෙන්නේ සීරුම් තුවාලයක් වැනි රිදුමකි. තුවාල පාරා ගන්නේ නැතුව රිදුම් සුව වෙන්නට හැරිය යුතුය යන්න ඇය ජීවත් වීමෙන් උගත් පාඩමකි.
සුළු වෙලාවකදී ඒ වැස්ස ගිම්හාන කාලයක අවසානය සනිටුහන් කළේ ය. දුහුවිලි නගරය සේදී යන ස්නානයක් ලබනා ලදී. පාරවල් දිග බොර දිය කඩිමුඩියේ ගලා ගෙන ගියේ ය. ගෙදර ගිය ඕ ඇඳුම් මාරු කරන්නේ හෝ නැතිව කලර් ඒ ෆෝ කිහිපයකින් වෙවර්ණ කඩදාසි බෝට්ටු කිහිපයක් තනා මිදුලේ වතුර පාරකට දැමුවා ය. බෝට්ටු ටික ලහි ලහියේ දිය පහර සමග ගසා ගෙන ගියේ ය. අතර මගදී ඒවා වැස්ස නිසා දියබත් වන බව සන්තුෂී දැන සිටියා ය. නමුත් ඇය ට අවශ්‍ය වූයේ ඒ මොහොතේ සතුට විතර ය.
දැන් මහන්සි බව පිළි ගත යුතුව තියේ. ඒ මහන්සිය වැඩ කිරීමක් නිසා නොව හිත මෙල්ල කර ගෙන සිටීම නිසා ඇති වූවකි. නමුත් ඕනෑ ම ගැහැනියක හෝ මිනිසෙකු තුළ ළමයෙකු තව දුරටත් ජීවත් වන්නේ ය. වැඩිහිටියා ගේ භූමිකාවෙන් වෙහෙසට පත් වන මිනිසාට හෝ ගැහැනියට, තමා තුළ යටපත් කොට ගෙන සිටිනා ළමයා ඉස්මතු කර ගන්නට අවැසි වේ. ඒ ළමයා තුළින් ජීවිතයේ සතුට විඳින්නට උවමනා වේ. වැඩිහිටියන්ට කළ නොහැකිය කියා සමාජය විසින් තහනම් නියෝග පනවා තිබෙන්නා වූ ඕනෑ ම දෙයක් ළමයෙකු ට කිරීමේ අවසරය ඇති බැවිනි.
මේ වෙලාවේ සන්තුෂී කඩදාසි බෝට්ටු හදා වතුරේ පා කොට හැරියේත් ඒ ළමයාට ඉඩ දෙමිනි!
කාමරයේ ජනේල පියන, වැහි හිරිකඩ ඇතුළට ආවත් ඇය හැර දැමුවා ය. පිටතින් පැමිණිය හැකි පිරිප වලින් රැකෙනු වස් අපි කවුළු වසා ගෙන ඇතුළට වී පරිස්සම් වෙමු. නමුත් ඇතුළේ සිටින්නේ සියල් ජීවිත පිරිපත වලින් රිදී බිඳී ගිය මිනිස් ආත්මයක් බව අපි අමතක ම කරමු. නැතහොත් ඒ මුවහ වීමෙන් අප බලාපොරොත්තු වන්නේ රිදුණු තැන් පිරිමැද ගෙන, බිඳුණු තැන් තනිව පිරියම් කර ගෙන ලෝකයට පේන්නට නොබිඳුණු බවක් රඟන අපව යළි යළිත් රිදී බිඳී යාමෙන් රැක ගැනීමක් ද?
අව් වැසි පීඩා රෝග පිරිපත කවරක් වී ද විවාපත් ගැහැනියක බත් ඉවිය යුතු ය. ඒ බත් කෑව ද නොකා ඉවත දැමුව ද වගකීම වන්නේ බත පිස තැබීම ය. බත් පිසිනා ඇය කුසගින්නේ ද කියා සොයා බලනා කිසිවෙකු නැත. හැන්ද තිබෙන්නේ ඈ අත නිසා ඇය කුස ගින්නේ ඉන්නට විදිහක් නැතැයි සියල්ලෝ සිතනු විය යුතු ය. බත් තිබුණත් අතේ හැන්ද තිබුණත් හිතේ සතුටක් නැති තැන කුස් පිරෙන්නේ නැති බව කවුරුන්වත් දන්නේ නැත. දන්නවා වුණත් දන්නා බවක් හඟවන්නේ නැත. දන්නවා වුණත් නොදන්නවා වාගේ සිටීම වඩා හොඳ ය!
උයනා ගමන් සන්තුෂී යූ ටියුබ් එකෙන් සින්දු කිහිපයක් තෝරා දුරකතනය පැන්ට්‍රි කබඩ් එක මත තැබුවා ය. බෝ කලකින් සින්දුවක් ඇහුණේ නැති බව ඇය ට සිහි විය. ඇතැම් ගීත වල බෝ සියුම් වචන අතරේ ද සතුටෙහි සේයා සැඟවී තියේ! අලුතෙන් ම සතුට සොයනා එක කිසි දා ක නතර කළ යුතු නැත!
අංජන නීලවතුර පාළු ගෙයි ප්‍රධාන දොර උළුවස්සට හේත්තු වී ගෙන වැස්ස දෙස බලා සිටියේ ය. මේ වගේ වැස්ස දවස් වල සදෙව්මා ට කඩදාසි බෝට්ටු හදා දුන් අතීතයක් ඔහු ට තියේ. ඒ මතක අතරින් සදෙව්මා ගේ කිකිණි සිනා හඬ ඔහු ට ඇසෙන්නට විය. ඒ සිනහ හඬ වැස්සේ ඝෝෂාව ද පරයා ඇසෙන්නට විය. ඊළඟට ඇසුණේ අසා සිටිය නො හැකි තරම් ශෝකී හැඬුමකි. ඒ හැඬුම් සර ගැහැනියකගේ නොව පිරිමියෙකු ගේ බව වඩා සියුම් ලෙස කන් දීමෙන් ඔහු ට පැහැදිලි විය. වෙන තැනකින් නොව ඒ ඉකිබිඳුම් සර නැගී ආවේ ඔහු ගේ ම ආත්මයෙනි.
වහා හැරී කාමරයට ගිය අංජන, ජංගම දුරකතනයෙහි සදෙව්මා වෙනුවෙන් වෙන් වූ වට්සැප් බිත්තියෙහි අකුරු දෙකක් ලිව්වේ ය.
“දුව…”
ඇඳට වැටෙමින් ම සුසුමක් අත් හළ හෙතෙම සිය වේගවත් සිතිවිලි එහි අකුරු කරන්නට පටන් ගත්තේ ය. නමුත් සිතට නැගෙනා ඉක්මනට ඒවා ලියා ගන්නට තරම් සිංහල අකුරු ටයිප් කිරීමේ හුරුවක් ඔහු ගේ ඇඟිලි වලට වූයේ නැත.
“ඔයා ඉපසෙන දවසෙ තාත්ති ආයෙ ඉපදුණා. එච්චර චූටියට බබාල ඉපදෙන්න පුළුවන් ද කියල ඊට කලින් ඇත්තටම මං දැනං හිටියෙ නෑ. රෝස පාට එච්චර චූටි බබෙක්ව වඩා ගන්න විදිහක් ගැන හිතා ගන්නවත් බැරි නිසා ආච්චම්මල කොච්චර ඔයාව මගෙ අතට දෙන්න හැදුවත් මං ගත්තෙ නෑ. හැබැයි හොස්පිට්ල් එකේ චූටි කොට් එකේ ඉන්න ඔයාට මගෙ අත දුන්නහම ඔයා මගෙ ඇඟිල්ලක් තද කරල අල්ලගත්තා. ඔයාට ඒ ඇඟිල්ල අත් අරින්න ඕන කමක් තිබුණෙ නැති නිසා පැයක් විතර මං එහෙම ම හිටිය අත අරගන්නෙ නැතුව…මගෙ අත හොඳටම රිදෙද්දිත්.
පුතේ, ඒක තමයි මං බැඳුණු ලොකු ම බැඳීම..මට ගලවගන්න අමාරු වුණ එක ම බැඳීම.
චූටි කාලෙ මං ඔෆිස් යනකොට ඔයා නිදි..ඇහැරුණාම මං ඕනෙ කියල ඔයා පෙරළි කර කර අඬනවලු. අම්මිත් ඔෆිස් යන නිසා ඔයා හිටියෙ ආච්චමමල එක්ක. ඔයා අඬනකොට ආච්චම්ම කෝල් එකක් අරං මට දෙනව.
“එන්නකො ඔයා”
කියල ඔයා අඬාගෙන කියද්දි තාත්තිගෙ පපුව පිච්චිලා යනව. කාටවත්ම නොපෙනෙන්න තාත්ති ඇස් පිහිද ගන්නව.
හවසට මං එනකල් ඔයා බලන් ඉන්නෙ ඉවසිල්ලක් නැතුව. එතකොට මං අස්සය වෙලා ඔයාව පිට උඩ ඉන්දෝගෙන ඇවිදින්න ඕන. නවත්තන්නෙ නැතුව ඇවිදින්න ඕන.
“දැන් ඇති තාත්තට මහන්සියි”
ආච්චම්ම එහෙම කියන්නෙ මං එයාගෙ පුතා නිසා. ඔයාගෙ තාත්ත වුණාට තාමත් මං එයාගෙ චූටි පුතා. මගෙ දණිස් රිදෙනකොට මටත් වඩා රිදෙන්නෙ ආච්චම්මට. ඒත් පුතේ මං රිදුම් සතුටින් විඳ ගත්තා මගෙ දුව වෙනුවෙන්.
ඔයා මන්දාකිණියක්. ඔයා තාත්තිගෙ ලෝකෙ චමත්කාරෙන් පුරෝපු මතක මන්දාකිණියක්. ඒ මන්දාකිණියෙ එක තරුවක්වත් කඩා වැටෙනව දකින්න තාත්තිට ඕනි වුණේ නෑ. ඒ කඩා වැටෙන තරු දිහා බලන් පැතුමක් පතන්න තාත්තිට ඕන වුණේ. තාත්ති ආස වුණේ ඔයා දිළිසි දිළිසි සතුටෙන් ඉන්නව බලන්නයි.
සදෙව්මා කියල මං ඔයාට නම තිබ්බෙ, සදෙව් ලෝකෙකින් ආපු දෙව්දුවක් වගේ මට ඔයා දැනුණ නිසා. පුතේ, ඔයා නැති ගෙදර දෙවියෙක් නැති දෙවොලක් වගේ පාළු වෙලා. ඔයා නැති තාත්තිගෙ ජීවිතේ සොහොන් පිටියක් වගේ මූසල වෙලා.
මං කියන සමහර දේවල් ඔයාට තාම තේරෙන්නෙ නැද්ද කියල මං දන්නෑ. ඒත් යම් කිසි දවසක ඔයාට තේරෙයි. එදාට ඔයා මේ තාත්ති ගැන දුක් වෙයි. ඔයාටවත් අම්මිටවත් මං වරදක් කරල නෑ පුතේ. ඔයා තාත්තිට මේ වගේ දඬුවමක් දෙන එක පව්.
දූ ට හැමදාමත් තාත්ති ආදරෙයි. ඔයා හැමදාමත් මගෙ දුව. මං ඔයාගෙ තාත්ති”
අංජන නැවත වරක් කියවන්නේ හෝ නැතිව ඒ වාක්‍ය රචනාව පිටත් කොට හැරියේ ය. සදෙව්මා වෙනුවෙන් වින්දි ගෙදර තබා යන ජංගම දුරකතනයේ වට්සැප් තීරයේ කොළ පාටින් ඒ පණිවිඩය සනිටුහන් වී ද සදෙව්මා එය නොදුටුවේ ඇය පාසලේ ගෙදර වැඩ කරමින් සිටි නිසා ය.
නිකමට දුරකතනය අතට ගත්දී වින්දි ට එය හසු විය. නොරිස්සුමෙන් ද කෝපයෙන් ද දත් මිටි කෑ ඕ වහා එය මකා දැමුවා ය. සදෙව්මා ගේ ලෝකයෙන් තාත්තා කියන නම අකා මකා දැමීම වෙනුවෙන් ඇය දෙවරක් නො සිතුවා ය.
වැස්ස දිගට ම වැස්සේ ය. එහි සීතල ද චමත්කාරය ද ජීවත් වීමේ ආශාව දනවන බලාපොරොත්තු සහගත බව ද සම අනුපාත වලින් කැටි වී තිබිණි. සන්තුෂී ට දිගට ම අංජන සිහි විය. සමහර මිනිසුන් එහෙම ය. හිතට එන්නේ දැනෙන්නේවත් නැතිව ය. ඉන්නේත් ඉන්නා බවක් නොදැනෙන ලෙස ය. නමුත් ඒ හිඳීම කොයි තරම් දැනෙනා එකක් දැයි දන්නේ එහෙම සිතක් ම පමණි.
“වහිනවද”
කියා ඔහු අසා එවා තිබිණ. ඒ වෙලාවේ සන්තුෂී සිටියේ වැස්සේ හඬ අසමින් ම අන්තර්ජාලයේ ලිපියක් කියවමිනි. එහි ලියැවී තිබුණේ වටිනා ගැහැනියක විය හැකි ආකාරය ගැන ය. සෑම අතින් ම වටිනා ගැහැනියක වන්නට සන්තුෂී ට දැන් උවමනා ය. කාලයක් ඇය ඇයට ම කිසිදු වටිනාකමක් නොදැනවූ හිස් ගැහැනියක වූවා ය. සිය ජීවිතය විවෘත කළ එක ම මිනිසා ඇය කිසිදු වටිනාකමකින් තොර දුහුවිලි අංශුවක් සේ සලකත්දී ඕ මුළුමනින් හිස් වෙමින් සිටියා ය. ඒ අඳුරු ගුහාවෙහි වසර ගණනාවක් තිස්සේ ම ගුලි වී ගෙන ඕ දුක් වින්දා ය. නමුත් දැන් ඇය ඒ සිර ගෙදරින් නිදහස ලබා තිබේ. තමන් ගේ ම සිත නමැති සිර ගෙදරින් ඈ සිය ආත්මය නිදහස් කර ගෙන තිබේ. දැන් ඇයට උවමනා වටිනා ගැහැනියක වෙන්නට ය. වෘත්තීයෙන් පමණකුදු නොව ගති ගුණ අතින් ද පෙනුමෙන් ද සමාජ ජීවිතයෙන් ද වටිනා ගැහැනියක වෙන්නට ය.
“ඕ”
වැහි බින්දුවක ස්ටිකරයක් ද යොදා ගනිමින් ඇය ප්‍රතිචාර දැක්වූවා ය.
“මං සදෙව්මාට ලියුමක් යැව්වා”
“ලියුමක්…?”
“ඔව්..වට්සැප් කළා. එයා ඒක සීන් කළා. ඒත් රිප්ලයි නෑ”
“මොන දේ කරලවත් අපි පෙරලා මුකුත් බලාපොරොත්තු නොවී ඉන්න ඕන. එතකොට හිතට පහසුයි”
ඒ ඇගේ සත්‍ය ම ප්‍රකාශයකි. ජීවත් වීම තුළ උගත් පාඩමකි. දැන් ඇය ඉන්නේ එහෙම ය. කවරක් සිදු කළ ද පෙරලා කිසිත් බලාපොරොත්තු නොවී ය.
“ඒත් ඔයා එහෙම කරපු එක හොඳයි. ඒක ඔයාගෙ හිතට සහනයක්. ඒ වගේම දුව ඔයාව තේරුං ගන්න ඒ ලියුම හේතුවක් වෙයි කියල මට හිතෙනව”
“ඔයා පුදුම කෙනෙක්”
“පුදුම…ඇයි…”
“ඔයා සරස්වතී දේවි ගැන දන්නවද..”
“සරස්වතී…පොඩ්ඩක් ඉන්න”
සන්තුෂී වහා සිය අල්මාරියේ ලාච්චුව හැර ඉන් පරණ පින්තූර ඇල්බමයක් ගත්තා ය. සරස්වතී දේවිය ලෙස ඇය නර්තනයෙන් දායක වූ කලා උළෙලෙහි දී ගත් ඇගේ සේයා රුවක් නැවත ඡායාරූප ගත කොට අංජන නීලවතුර වෙත යැව්වා ය.