සඳ ගංතෙර – 01

කාමරයේ තිර රෙදි ඈත් වී යහන මතට හිරු රැස් වැටෙද්දී දුලන්‍යා ඇස් යාන්තමට විවර කළා ය. කම්මැලි ය! හොඳටෝම කම්මැලි ය! නමුත් ඇයට අම්මාගේ උපදෙස් සිහිව ආයේ ය.

“තාරකා දූට වදයක් එහෙම වෙන් නෑ සුදූ.අක්කාට ඔය කාලේ කොහොමටත් හරි අමාරුයි. ගෙදර වැඩ කරන්න එහෙම අක්කට උදව් කරන්න. මේඩ් කෙනෙක් හිටියට තාරකා හරියට මහන්සි වෙන ළමයෙක්.”

අම්මාගේ ඒ වචන සිහි වෙද්දී විසි එක් හැවිරිදි කෙල්ලක වූවාට දුලන්‍යාට සිහිනයක් මැවේ. අම්මා තාරකා අක්කාට ආදරය කරන තරමේ ආදරයකින් ඈ ගැන කතා කරන නැන්දම්මා කෙනෙකු සොයා ගන්නට ඕනෑ ය.

“නැන්දම්මෙක්ට කලින් කොල්ලෙක් හොයා ගන්න එපැයි.”

දුලන්‍යා තොල් මත සිනාවක් මවා ගත්තා ය. තාරකා අක්කාගේ සීතල අත්ල කම්මුලක ගැටෙද්දී ඇය මඳහසකින් දෑස් හැරියා ය.

“නින්දෙන් හිනාවෙන්නේ මොකද ගෑනු ළමයො. ජේස්ටෝත්තමයෙක් මතක් වුණාද? කැම්පස් එකට ඇවිල්ලා සතියක් ගියානෙ.”

මතකයේ රැඳෙන දෑසක් ඒ කිසි තැනක නොතිබූ බව කියන්නට තරම් දුලන්‍යාට සිතිණ.සැබෑවටම එහෙව් දෑසක් ඒ කොහෙවත්ම තිබුණේ නැත.

“අක්කට වගේ ජේෂ්ට උත්තමයෙක් හොයා ගන්න මටනම් බැරි වෙයි වගේ.”

දුලන්‍යාගේ පිරුණු සිනාව දකිද්දී තාරකාගේ ඇඟිලි තුඩු කුස මත නතර වේ. එහි හිඳින බිළිඳිය ද මේ සිනාව එලෙසම රැගෙන උපදිනවානම් යැයි තාරකා දහස්වෙනි වතාවටත් සිතුවා ය. දුලන්‍යා එතරමට හැඩවැඩ කෙල්ලකි. දැනටත් ඇයව යොවුන් නෙත් ලුහුබඳින බව තාරකාට සිතේ. දුලන්‍යාගේ කෙහෙරැල්ලක් කන පිටුපස රඳවන අතර ඇය ඒ ගැන සිතන්නට වූවා ය.

“අක්කා වැඩ නැද්ද අද”

තාරකා වෙබ් අඩවියක විශේෂාංග ලිපි රචිකාවියක වී දැන් ටික කාලයකි. ඇයට කැමැත්තක් කරගන්නට ඉඩ දුන් අයියා ගැන තාරකාට දැනෙන්නේ ආදරයකි. 

“ආදරේ කරන්න ඕන එහෙම කෙනෙක්ට. ආදරේ කරන ගෑනු ළමයට නිදහස දෙන මනුස්සයෙක්ට. එතකොට ජීවිතේ කොච්චර ලස්සනද කියලා මං ඉගෙන ගත්තේ තාරකා අක්කාගෙ ඇස් දෙකෙන්.”

දුලන්‍යා දවසක් ඒ පණ්ඩිත කතාව පැවසුවේ අම්මාට ය. අම්මා දියණිය දෙස බලා හිනැහුණා ය.

“ගෑනු ළමයෙක්ගෙ ජීවිතේ වීරයා වෙන්නේ එක්කො තාත්තා. නැත්තං අයියා. ඔයාට ඔයාගේ අයියා එයාගේ නෝනාට සලකන හැටි ලස්සනට පෙනුණට අයියා වගේම කොල්ලෙක් හොයන්න එපා. එහෙම නොලැබුණොත් දුක හිතෙයි.”

අම්මා එසේ පැවසුවේ එකම දියණියට ආදරයෙනි. දුලන්‍යාගේ ජීවිතය තුළ පිරිමි සෙවණැලි තුනක් ඇඳී තිබේ. පළමුවැන්න අප්පච්චිගේ ය. ඔහු වඩාත් ආදරය කරන්නේ තමන්ට වග විශ්වාස කරන්නට දුලන්‍යා කැමති ය. “කෝ පොඩි කෝලම” අප්පච්චි රැකියාව නිමවී එසේ අසමින් නිවසට ගොඩ වෙද්දී ඉන්නා තැනකින් පෙරළාගෙන දිවීම තරම් සතුටක් ඇයට ලෝකයේ කොහෙවත්ම නැත. ඊළඟ අංකය අයියාට ය. ඔහු ඇගේ අසීමාන්තික ප්‍රේමය ය. අයියාගේ හිත රිද්දන කිසිවක්ම නොකර සිටීම ඇගේ “බකට් ලිස්ටුව” තුළ මුල්ම තැන තිබූ දෙයකි. ඇය වෛද්‍යවරියක කරන සිහිනය තිබුණේ අයියාට ය. අයියාගේ සිහිනය ඉටු වූවා පමණක් නොවේ. ඔහුගේ නිවසේම හිඳිමින් සරසවි යන්නට ලැබීම දුලන්‍යාගේ හීනය සම්පූර්ණ වීමකි. අවසාන අංකය මල්ලිට ය. ඔහුට ආදරේ නැති බව ස්ථිර ලෙස පැවසුව ද හදවතේ විශාලම කොටසේ අයිතිය ඒ කුඩා කොලුවාට බව දුලන්‍යා හොඳින්ම දන්නී ය. අම්මාගේ ආදරය දැනෙන මානයෙන් ඈත් වී පැමිණ තාරකා අක්කා සෙවණේ නැවතීම දුකක් නොවේ. අසීරුතම මල්ලිගේ ටොක්කක් නැතිව දවස ගෙවා ගැනීම ය.

“අක්කට අමාරුද?”

දුලන්‍යා යහන මතින් නැගිටින අතරේ ඇසුවා ය. අක්කාගේ කුස තුළ හිඳින්නේ පෙරකී සෑම ආදරයක්ම උදුරා ගන්නිය වග ඇයට සිතේ. අයියාටත් අක්කාටත් මේ තරමට ආදරය කරන්නේනම් ඔවුන්ගේ දරුවාට ආදරය මහමෙරක් කර දිය යුතු බවට දුලන්‍යා සිහින දකින්නී ය.

“මට එහෙම ලොකු අමාරුකම් නෑ සුදූ. ඇත්තටම මට ප්‍රෙග්නන්සි එක හරි සතුටක්. එහෙම අමාරුකමක් නැති වෙන්නේ කලාතුරකින් කෙනෙක්ටනෙ. මට එහෙම වුණු එක ගැන සතුටුයි.”

දුලන්‍යා අක්කාගේ ඇඟිලි ඇගේ ඇඟිලිතුඩුවල පටලවා ගත්තා ය.

“මල්ලි ඉස්කෝලෙ නොයනවනම් අම්මා එනවා කිය කියා ඉන්නෙ. අම්මට හරිම දුකයි අක්කා තනි කරන්න වුණාට.”

දුලන්‍යා කියන්නේ අම්මාගේ සැබෑ අදහස ය. මේ කාලයේ තාරකා අක්කා තනි කරන්නට වීම ගැන අම්මාගේ පොඩි හෝ මනාපයක් වූයේ නැත. අම්මා නැති අක්කාට අම්මෙකු උවමනා මේ කාලයේ බව දුලන්‍යාගේ අම්මා තදින්ම විශ්වාස කළා ය. නමුත් මල්ලී “රාහුලයෙකි”. ඔහුව නිවසේ තනි කිරීම යුතුකමක් පැහැර හැරීමකි.

“ඔයාලගෙ අම්මා නෙවෙයිනෙ පැටියෝ මං ළඟ ඉන්නෝන.”

තාරකා අක්කා උදෑසනම දෑසට කඳුළු පුරවා ගැනීම ගැන දුලන්‍යාට වේදනාවක් දැනේ. එක් අතකට සරසවියේ කොල්ලන් ගැන කතා කිරීම නවතා දමා අක්කාගේ ගර්භනී බව ගැන කතා කරන්නට යාම කමකට නැති දෙයකි. වෛද්‍ය පීඨයට ඇතුළු වී සතියක් ගෙවා දැමීමේ අර්ථය දුලන්‍යා දොස්තර කෙනෙකු වූවා යන්න නොවේ.

“තමන්ගේ අම්මා ජීවතුන් අතර ඉන්නව කියල දැන දැනම ඒ මනුස්සයා මැරුණා කියල හිතාගෙන ජීවත් වෙන එක පුදුම පවක් නංගි. ඔයාගේ අයියා දුන්නු හිනාවෙන් මං ජීවත් වෙනවා. ඔයාගේ පවුලේ අය දෙන ආදරෙන් මං හුස්ම ගන්නවා. මගේ මල්ලිව බලා ගන්න ඕන නිසා මං හයිය ගන්නව. තාත්තා ගිය අවුරුද්දේ හාට් ඇටෑක් එකෙන් නැති වෙනකම්ම මහන්සි වුණේ මාව මෙහෙම සතුටු ලෝකෙක තියන්නනෙ.”

අක්කාගේ හඬ බිඳී යනවාට දුලන්‍යා අකමැති ය. ඇය අක්කාව සන්සුන් කරන්නට උත්සාහ කළා ය. බාලිකා පාසලක දැරියන් දහස් ගණනකට අම්මා වූ හුරුවෙන් දුලන්‍යාගේ අම්මා තාරකා අක්කාට ද අම්මා කෙනෙකු වූවා ය. නැන්දම්මා කෙනෙකුගේ කුරිරුකම් ද දරන්නට වූවානම් අක්කාට ජීවිතය පහසු වන එකක් නැත.

“නිදිමත නම් කාලා තව ටිකක් නිදාගන්න පැටියො. බඩගින්නෙ ඉන්න හොඳ නෑ නිසා මං ඇහැරෙව්වෙ.”

අක්කා දුලන්‍යාගේ පිඟාන මතට ඉඳි ආප්ප තැබුවේ එසේ පවසන අතර ය. නිවසේ අත් උදව්කාරියගේ කෑම රස ය. අම්මාගේ කෑම තරමට නැතත් ඒවාගේ වරදක් නැත. සරසවි මිතුරියන් බෝඩිම්වල දිය රහ කෑම කද්දී තමන්ගේ අනිත් ගෙදර රැඳෙන්නට පින තිබීම සුළුපටු සතුටක් නොවේ.

“ඉස්සරහට ඔයාට නිදාගන්නවත් වෙලාවක් නැති වෙයි. ඒ නිසා කාලා බීලා මේ කාලේ ටිකක් සැනසිල්ලෙ ඉන්න. කොල්ලෙක්වත් හිටියනම් නිදිමරාගෙන ලව් කරන්න තිබ්බ. කොහෙද ඉතිං අපේ දුලාජ්ට බයේද කොහෙද කෙල්ල ලව් කරන්නෙත් නෑනෙ.”

තාරකා අක්කා කියන්නේ හිනැහෙමිනි. දුලන්‍යා ද හිනැහුණා ය. ආදරය කරන අදහසක් නොආවේ ඇය ආදරය පිරුණු ලෝකයක ජීවත් වන හන්දා ද නැතිනම් ආදරය හිතෙන මට්ටමේ කොලුවෙකු දෑස් මානයට නොපැමිණි හින්දා ද සිතන්නට දුලන්‍යා වීර්යය ගත්‍තා ය.

කොහොමනමුත් දැන් පාළු ගතියක් දැනේ! අවුරුදු විසි එකක් කියන්නේ තනියම ඉන්නට ඕනෑ වයසක් නොවේ!!

ගේට්ටුව ඇරෙන හඬ ද මෝටර් රථයක හඬ ද ඇසුණේ දුලන්‍යා කම්මැලිකමින් අවසන් ඉඳි ආප්පය අනද්දී ය. පිරුණු කුස රැගෙන අක්කා අමාරුවෙන් නැගිට ගත්තා ය.

“අපේ මල්ලිද කොහෙද. අද එනවා කිව්වට මං හිතුවෙ නෑ මෙච්චර උදෙන් එයි කියලා.”

සඳරැස්! ඒ අක්කාගේ එකම මල්ලී ය. කාලයකින් ඔහු නුදුටු වග දුලන්‍යාට හදිසියේ සිතිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles