සඳ ගංතෙර – 18

“උඹ මගේ ජීවිතේ පළවෙනි වටින දේ උදුරා ගත්තා. දෙවැනි දේ තමයි අන්තිම දේ. මං ඒකට ඉඩ තියන් නෑ.”

සඳරැස් සිතන්නේ ආවේගයෙනි. ඒ ආවේගය එතරමට ඔහුට දැනේ. අම්මා කියන්නේ ජීවිතයට ඕනෑ කරන කෙනෙකු නොවන බව සිතා සිටිය ද සත්‍යය එය නොවේ. ඔහුට මහත් දුකක් ද පාළුවක් ද දැනුණු තැන් අපමණ ය.

“සම්පූර්ණ විස්තර හොයා ගත්තා කියලා එයා එක්ක පැටලෙන්න එපා අයියේ. පාඩුවේ ඉමු.”

කිසිවක්ම නොදන්නා දුලන්‍යා බැගෑපත් වූවා ය. සහස් එක්වරක් තර්ජනය කළ පලියට ඔහු සමඟ ගැටෙන්නට යාම මෝඩ වැඩකි. සඳරැස්ට කල්පවතින තරහක් ඇති බව නොදන්නා නිසාම ඇය එසේ පැවසුවා ය.

“ඔයාට ආයේ වචනෙකින්වත් හානියක් කරොත් මං ඕකගෙ බෙල්ල කඩනවා.”

මෘදු බව පෙන්වන්නට ගියාට ඔහු තුළ අමුතුම පන්නයේ නපුරෙකු සිටින බව දුලන්‍යා සිතුවා ය. කිසිවක්ම නොකියා නිහඬව සිටීම හොඳ බව ඇය සිතුවා ය.

“මං සහස්ගෙ තාත්තව දන්නව. එච්චර හොඳ මිනිස්සු නෙවෙයි. ඒ නිසා සහස්ගෙන් මොන බලපෑමක් ආවත් ඒක මට හරි දුලාජ් අයියට හරි කියන්න ඕන. පණ්ඩිතකමට තනියම ප්‍රශ්න විසඳන්න නම් හදන්න එපා.”

ඔහු කියන්නේ තරවටුවක ස්වරයෙනි. ඇය හිස වැනුවා ය. ඔහු කියන ඕනෑම දෙයක් සමඟ එකඟ වන්නට සිතීම ගැන ඇයටම පුදුම ය. නමුත් කරන්නට දෙයක් නොවේ.

සඳරැස් නැවත රෝහලට ආවේ හොඳ මුහුණකින් නොවේ. ඒ මුහුණේ ඇති ආවේගය සහ ගැටළුකාරී ස්වභාවය ගැන තාරකාට වේදනාබර හැඟීමක් ඇති විය. මල්ලී සිතා සිටින්නේ ඇය සහමුලින්ම ඔහුට අයත් බව ය. දුලාජ් ගැන මුලින්ම දැන ගත් දා ද ඔහු අසාමාන්‍ය කැළඹීමකට ලක් විණ.

“ඔයාව රවට්ටන්න එහෙම දෙන්න එපා හරිද”

ඔහු අක්කාට නියෝග කළේ ය. අක්කලාට ප්‍රේමවන්තයන් මුණ ගැසුණු පසු මල්ලීව අමතකව යන්නට ඉඩ ඇති බව කොහේදී හෝ කියවා තිබූ මතකයෙන් සඳරැස් අප්‍රමාණ වේදනාවට ද පත් වූයේ ය.නමුත් දුලාජ් ඔහුට සමීප වූයේ අක්කාට දී තිබූ හදවතේ පළමු තැන ද උදුරා ගන්නා තරම් වේගයෙනි. සඳරැස්ගේ සමහර හිතුවක්කාර වැඩ ගැන තාරකා අසාමාන්‍ය කෝපයට පත් වෙද්දී පවා දුලාජ් ඉවසුවේ ය.

“කොල්ලො ඔහොම තමයි”

ඔහු එසේ කියමින් මස්සිනා දරා ගන්නට වග බලා ගත්තේ ය.

ඒ හන්දා අක්කා වෙනත් දෑතක රැඳීම ගැන සඳරැස්ට අහිතක් නොවේ. නමුත් ඔහු අක්කාගේ විවාහය දා රාත්‍රියේ හොඳටෝම හැඬී ය. නමුත් තාරකාගේ විවාහ උත්සවයේ සිටියේ සන්තෝසයෙන් නටමින් සිටි සෙල්ලක්කාර තරුණයෙකි. සමහර මල්ලිලා අක්කාගේ විවාහය දා ඔහු වැළඳ හඬද්දී සඳරැස් බොහෝ සන්තෝසයෙන් සිටීම කතාබහට ලක් වූ කාරණාවකි. නමුත් ඔහු සිටි හැඟීම් දන්නේ ඔහු ය.

ඔහුගේ සිතුවිලි හොඳින්ම දන්නී තාරකා ය. බිලිඳිය නිසා ඔහු වේදනාවෙන්දැයි තාරකාට සිතේ. ඇය වේදනාවට පත් වූයේ ද එනිසා ය.තාරකා මල්ලී තමන් වෙතට ගත්තා ය.

“මේ මගෙ දෙවැනි දරුවා. පළවෙනියා ඔයා. මූණ නරක් කරන් ඉන්න එපා.” ඇය එසේ කියන්නේ සඳරැස්ගේ අතක් පිරිමදින අතර ය. සඳරැස් බිළිඳියගේ සිඟිති අතකින් අල්ලා ගත්තේ ය.

“ඔයා වගේ අම්මෙක් වෙන්න බැරි වුණේ ඇයි අක්කේ අපේ අම්මට.”

ඔහු අසයි. මල්ලී මේ ප්‍රශ්නය වේදනාවෙන් අසන දවස් වේ. ඒ දවස් වලදී තාරකා නිරුත්තර ය.

“ආදරේ කියන මාතෘකාව හරිම සංකීර්ණයි මල්ලි.”

මල්ලී දැන් මේවා තේරුම් ගන්නට ඕනෑ වග සිතූ තාරකා එසේ පැවසුවා ය. නමුත් සඳරැස්ගේ දෙතොලට නැඟුණේ නරුම සිනාවකි.

“දරුවො දෙන්නෙකුත් ලැබුණට පස්සෙ එයා හෙව්ව අවංක ආදරේ මොකක්ද?”

දරුවන් සිටීම හෝ වයස ගෙවී යාම ආදරය යන කාරණාවට බාධාවක් නොවේ. අක්කා එසේ කියද්දී සඳරැස්ට සිනාවක් නැඟිණ.ඔහු හිනැහෙන්නේ ඔලොක්කුවට ය.

“පොත්වල තියන සේරම හරි නෑ.”

වෙන්නට පුලුවන. නමුත් ගැහැනියක මාතෘත්වයේ නාමයෙන් ඉවසිය යුතු නොවේ.

“මල්ලි,මං අම්මා කෙනෙක් වෙලා පැය කීයද? දුලාජ් අයියා මේ පැය ගාණට මාව බලාගත්තු තරමට ඇත්තටම අපේ තාත්තා අම්මව ජීවිත කාලෙම බලා ගත්තෙ නෑ. අම්මට කමල් අංකල් එක්ක යන්න ඒකම හේතුවක් වෙන්න ඇති.”

අම්මාගේ නව ප්‍රේමවන්තයා ඇයව බලා ගන්නට ඇතිදැයි අසන්නට සිතුණත් සඳරැස් නිහඬ වූයේ ය. මේවා අසන්නට මොහොත මේ මොහොත නොවේ.

“අක්කා.. අම්මගෙ පුතා ඉන්නේ දුලන්‍යාගෙ කැම්පස් එකේ.”

ඔහුට ඒ රහස අක්කාට නොකියා ඉන්නට නොහැකි ය.

“සහස් මල්ලි ඉන්නේ එහෙ තමයි.”

අක්කා පවසන්නී ය. අක්කාට මල්ලිලා තුන් හතර දෙනෙක් ඉන්නට නොහැකි බව කියන්නට ඕනෑ වුණත් සඳරැස් නිහඬ විණ. මේ මොහොතේ අක්කාගේ හිත රිද්දන්නට ඔහු අකමැති ය.

“එයා දුලන්‍යාට ටෝක් කරනව.”

එහි ගැටලුවක් ඇතිදැයි තාරකා සිතන්නට වූවා ය. ඒ ඇගේ සහෝදරයෙකි. දුලාජ්ගේ එකම සහෝදරිය තමන්ගේ සහෝදරයෙකුට දෙන්නට දුලාජ් අකමැති වෙන්නට ද හේතුවක් නැත.

“අම්මා අපි එක්ක ගනුදෙනුවක් නැති වුණාට එයාට වෙන පවුලක් තිබ්බට අපිට දුලන්‍යාගෙ තීරණවලට බලපෑම් කරන්න බෑ මල්ලි.”

තාරකා හීන් සීරුවේ පැහැදිලි කළා ය. ඥාතිත්වය ගොඩ නැඟෙන්නේ පසුව ය. ඒ ඥාතිකම් පවත්වා ගන්නට නොහැකිනම් පසෙකට වීම මිස කරන්නට වෙන යමක් නොවේ.

“ඌට නංගිව අයිති වෙන්න දෙන්න බෑ අක්කේ. සහස් හොඳ මිනිහෙක් නෙවෙයි. කමල් වගේම සවුත්තු මිනිහෙක්. ඌට රවට්ටන්න අපි ගාව කෙල්ලො නෑනෙ. අපේ පවුල්වල ළමයි එහෙම රැවටෙන්න බෑ”

එසේ පැවසූ සඳරැස් හොඳම කතාව ඉන්පසුවට ඉතිරි කර ගත්තේ ය.

“ඔයාටවත් චූටි දෝණිටවත් දුලන්‍යාටවත් කරදරයක් වෙන්න දෙන්නේ නෑ මම.’

තාරකා ඒ වචන අසා සිටියේ පුදුමයෙනි.ඇය සහ දියණිය කොහොමටත් ඔහුගේ ය. එහෙත් දුලන්‍යා?

සහස් විජේවර්ධනට නංගිව හිමි වන්නට ඉඩ දුන්නත් දුලාජ් සඳරැස්ට ඒ අයිතිය දෙන්නට ඇති ඉඩ අල්ප වග ඇයට සිතේ. වඩාත් වේදනාව දැනෙන්නේ ඒ නිසා ය.

ප්‍රේමය නාමයෙන් අන් අයව රිදවීමට ලක් කළ මල්ලී මේ වතාවේ රිදවා ගන්නා වග තාරකාට සහතික ය. ගතට දැනෙන වේදනාව පරදමින් ඇයට හිත රිදෙන්නට විය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles