“කතා කරන්න ඕනෑ.”
කමල් විජේවර්ධන කාමරයට පැමිණීම ම පුදුමයක් බව සහස් සිතී ය. ඔහුට විහස් සමඟ ව්‍යාපාර ගැන කතා තිබේ. විහස්ට දේශපාලන ගැටලු සම්බන්ධයෙන් පවා තාත්තා සමග කතා කරන්නට ඕනෑ තරම් දේ තිබුණත් සහස් එවැනි කතාබහට අකමැති ය.
“ලොක්කා ඉන්නේ මහ පොළොවෙ නෙවෙයි. මගෙ ළමයා පොඩ්ඩා.”
කමල් එසේ කියද්දී චාන්දනී කිසිවක් ම නොපවසා ඉන්නට වග බලා ගනියි. කමල්ට මහලොකු උගත්කමක් නැති වග ඇත්තකි. නමුත් ඔහු ප්‍රායෝගික බුද්ධිය මත ජීවිතයේ බොහෝ දුරක් ඇවිද ආ මිනිසෙකි. සහස් තාත්තාව පහත් කර සැලකීම ගැන චාන්දනී අප්‍රසාදය පළ කරන්නේ ම එනිසා ය.
“තාත්තා නැත්නම් ඔයාල මෙතන නැහැ පුතේ. ඇත්තටම ඇත්ත කිව්වොත් තාත්තා නැත්තම් මම වුණත් අද ජීවතුන් අතර නෑ.”
අම්මාගේ කිසිම නෑදෑයෙකු ඇය සමඟ සම්බන්ධතාවයක් නොමැත. දුරින් නෑදෑ වන සමහරක් තාත්තගේ උදව් උපකාර පතා අම්මා සොයා පැමිණිය ද ඇගේම පවුලේ උදවිය ඇය පවුලෙන් පිටමං කර ඇති බව තේරෙන කාලයේ සිට සහස් දැන සිටියේ ය.
“මං තාත්තව කසාද බැන්දට එයාලා කැමති නෑ.”
ඒ ගැන අසද්දී අම්මාට තිබුණේ කෙටි පිළිතුරකි. නමුත් එහි දිගු කතාවක් ඇති බව සහස්ට සිතෙන්නේ නැතිවාම නොවේ.විහස් එවැනි දේවල් සිතන්නට කාලය වැය කරන්නේ නැත. ඔහුට ඇති වැඩ කරගන්නට දවසේ පැය විසි හතර ද ප්‍රමාණවත් නොවන වග විහස් නිතරෝම කියන කතාවකි.
“මං ආවේ අර ගෑනු ළමයෙක් හොයාගෙන කියලා අම්මා කිව්ව කතාව ගැන කතා කරන්න.”
කමල් සෘජුව පුතු ඇමතී ය.කොහොමටත් කමල්ට ඇත්තේ ගහෙන් ගෙඩි එන්නාක් බඳු සෘජු කතාබහකි. හිත ගිය ගැහැණු ළමයාව පෙන්වූ වහා මුළුතැන්ගෙය කටයුත්තක් ඇති බව පවසමින් අම්මා යන්නට ඇත්තේ තාත්තාට කේලම කියන්නට වග සිතූ සහස්ට කෝපයක් ඉපදිණ. දැන් ඔහු වැඩුණු තරුණයෙකි. වහා කේලම කියන්නට මේ පාසල් ප්‍රේමයක් නොවේ.
“ඒ ගෑනු ළමයා දැනටමත් නෑනාගේ මල්ලි එක්ක සම්බන්ධතාවයක් තියනම් උඹ කීයටවත් ඒ දෙන්නා මැද්දට යන්නේ නෑ!”
තාත්තාගේ අණ දීම සහස්ගේ කෝපය වැඩි දියුණු කළේ ය. කමල් විජේවර්ධන කියන්නේ අවශ්‍ය නම් සඳරැස්ගේ අතපය හතර කඩා දැමිය හැකි වර්ගයේ මිනිසෙකි. නමුත් ඔහු මේ මොහොතේ කතා කරන්නේ ඉතාම ප්‍රාථමික ලෙසින් බව සහස් සිතී ය.
“දුලන්‍යා මට කැමතිනම් මට සඳරැස්ගෙන් වැඩක් නෑ.”
සහස් කියන්නට ආ කතාව කමල් විජේවර්ධන අත ඔසවා නවතා දැමී ය.
“සඳරැස්ට දැනටමත් වරදක් වෙලා තියනවා. උඹෙන් නෙවෙයි මගෙන්. එහෙම එකේ, මේ පවුලෙන් ආයේ ඒ කොල්ලට වරදක් වුණොත් මං ගන්නේ සඳරැස්ගෙ පැත්ත.”
ප්‍රහේළිකාමය කතාන්දර කියන්නට කමල්ගේ මනාපයක් නැත. ඔහු කියන්නට ඇති දේ කෙලින් කතා කරන මිනිසකු බවට ඇමතිවරු අතර පවා ප්‍රසිද්ධ ය. දේශපාලකයන් පවා ඔහු ඉදිරියේ දණ නමන්නට හුරුව ඉන්නේ එනිසා ය. නමුත් සඳරැස් ගැන කතාව සහස්ට කියන්නට කමල්ගේ දිව නොනැමෙයි. එය ඔහුගේ රහසක් නොවේ. ඔහු ජීවිතයටත් වඩා ආදරය කරන ගැහැනියගේ රහසකි.අනෙක් අතට තමන් අම්මාගේ වැඩිමහලු පුතු වග සිතා සිටින සහස්ගේ හැඟීම බිඳ දමන්නට ඔහුට ඕනෑ වූයේ නැත.
“ආදරේ කරන කෙනා ශරීරෙන් කෙනෙකුට අයිති වුණා කියන වේදනාව විඳ ගන්න එක ඒ හැටි අමාරු වැඩක් නෙමෙයි. එහෙම වුණානම් හිත හදාගෙන සමාව දෙන්න තිබුණා. ඒත් තමන්ගේ ආදරේ මුළු හදවතින්ම ආදරය කරන්නේ වෙන කෙනෙක්ට කියලා දැනගන්න එක මරණීය හැඟීමක්”
විජිත එසේ කියා බොහෝ කාලයක් ගෙවී තිබේ. ඔහු තරම් ලස්සනට කතා කරන්නට නොදන්නා නිසා හෝ වරද තිබුණේ තමන් අත නිසා එදා කමල් විජේවර්ධන කිසිවක්ම නොපවසා සිටියේ ය. තම බිරිඳ වෙනත් මිනිසෙකු සමග යහන්ගත වීම විජිත ඉවසී ය. නමුත් ඇය දරු දෙදෙනාටත් තමන්ටත් වඩා වෙනත් කෙනෙකුට ආදරය කරමින් සිටීම විජිතට ඉවසන්නට නොහැකි විය. ඔහු සියල්ල අත්හැර දැමුවේ ඉන්පසුව ය. ඔහු මිය යන තුරුම ඒ වේදනාව හදවතේ දරා හිඳින්නට ඇත.කමල් එසේ සිතා නැවත වාරයක් පුතු දෙස බැලී ය.
“කෙනෙක්ගෙ හිතක් බිඳලා දාන එක මහා පාපයක්. ඒ පව කරන්න එපා. මේ වහල යට ඉඳගෙන එහෙම පවක් කරන්න මම උඹට ඉඩ දෙන්නෙත් නෑ.”
තාත්තා එසේ කියා පිටව ගිය පසු කෝප ගන්නේ ඔහු සමඟ ද අම්මා සමඟ ද සිතමින් සහස් කාමරයේ එහෙමෙහෙ සක්මන් කළේ ය. සඳරැස්ගේ ඡායාරූපයක් විවෘත කරගෙන ඔහුගේ මුහුණ දෙස බලා සිටිද්දී තාත්තා පැවසූ එක්තරා කතාවක් සහස්ට සිහි විණ.
“සඳරැස්ට දැනටමත් වරදක් වෙලා තියනවා. උඹෙන් නෙවෙයි මගෙන්. “
ඥාතීන් සහ දන්නා හඳුනන අය පමණක් නොවේ, අම්මා පවා කියන අන්දමට සහස් අම්මාගේ රූපය දරන්නෙකි. තාත්තාගේ කල්කිරියාව කොහොමටත් ඒ තරමට හොඳ නැති හන්දා තමන් තාත්තාගේ රූපය දරන්නෙකු වූවානම් මේ අබිරහස පහසුවෙන් ම විසඳා ගන්නට ද තිබිණ.
එහෙත් මේ විසඳන්නට වටින වර්ගයේ අභිරහසකි!
“අක්කිට මල් එකක්.”
දුලන්‍යා රෝහල් කාමරයේ දොර විවෘත කර මල් සැලසුම් ආයතනයකින් එවූ මනරම් මල් කළඹ දෝතට ගත්තා ය. කුඩා බිළිඳෙකු උපන් විගස බලන්නට එන්නටත් දරුවා කා වාගේදැයි පරීක්ෂණ කරන්නටත් අවශ්‍ය නැති බව දන්නා මිතුරියන් තාරකාට මල් පොකුරු ද දැරියට ත්‍යාග ද එවමින් තිබිණ. සඳරැස් කියන අන්දමට සංග්‍රහ කමිටුවේ මුලසුන හෙබවූ දුලන්‍යා ඒ සෑම ත්‍යාගයක්ම බාරගත්තා ය. ඩේසි මල්, ලිලී මල්, සහ රෝස මල් අතර පෙනෙන ඇගේ මුහුණ මොන වර්ගයේ මලක්දැයි සිතමින් ඔහු ඇයට ළං වූයේ සරදමක් කරන්නට ය.
එහෙත්, මල් පොකුරෙහි අමුණා තිබූ කාඩ්පතේ වූ වචන ඔහු සසල කරන්නට සමත් විය. අක්කා තද නින්දක ය. අයියා බිළිඳිය දෝතට ගෙන ඇය සමඟ ය. මල් පොකුර දුලන්‍යාගේ අතින් ගෙන උදුරා රෝහල් කාමරයෙන් එපිටට විසි කරන තරමේ ආවේගයකින් සඳරැස් දැවෙන්නට විය
(මල් පොකුර එව්වේ කවුද කියලා අනුමාන කරන්න එහෙනම්. අනුමාන කරලා කමෙන්ට් එකක් දාන්න.)