නම නොදන්නා කඳු පන්ති 13

ශාන්ත තෙරේසා කන්‍යාරාමය ඉස්සරහා තිබිච්ච ලයිට් කණුව යට විතරයි ඒ වෙලාවේ එළියේ තිබුනේ.හොඳටම වැහැලා මඩ වෙලා තිබිච්ච පාරේ පිරිලා තිබිච්ච වතුර වලකින් පෙනුනේ සම්පූර්ණයෙන්ම කළු රෙද්දකින් වහගත්ත මොකක් හරි මනුස්ස පරානයක් ඉක්මනින්ම ලයිට් කනුව යට මොකක් හරි පොට්ටනියක් තියලා දුවනවා කියන එක විතරයි.ඒ 1980 වේ මාර්තුවේ දවසක්.. තෙරේසා කන්‍යාරාමයේ  ආරක්ෂාවට හිතපු ජෝසප් මාමා ටික වෙලාවකින් දැක්කේ ඒ පොට්ටනිය හෙල්ලෙනවා වගේ. ආපහු සැරයක් අකුණු ගගහා විදුලි කොට කොටා වහින්න එන මහා ඝන රාත්‍රියේ ඒ හෙලවෙන පොට්ටනිය ජෝසප් මාමා  අතට ගත්තා.

ජේසු මරියනේ… දරුවෙක් …
පෙකනි වැලවත් කපලා නැති දරුවෙක්…

ඒ පිරිමි දරුවෙක්…

ජූඩ් මිස්ටි නයිට්‍ යන නමින් භෞතිස්ම ලබන කිරිකැටියා පරිවාස දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඇතුව සාන්ත තෝමස් ළමා නිවාසයට යොමු වෙනවා.
එස්තර් කන්‍යා සොහොයුරියගේ රැකබලා ගැනීම යටතේ පුන්චි ජූඩ්  දලුදානවා.. එස්තර් සොහොයුරිය  කවුරුවත් නොදකින විශේෂ දෙයක් ජූඩ්ගේ ඔලුවේ දකිනවා.
ඒ එක ළඟ කැරකුණ සුළි තුනක් තියෙනවා කියන එකයි.එස්තර් දැක්කේම ඒ 999 වගේමයි .
ජේසුනේ… ලුසිෆර්…. එස්තර් සොහොයුරිය මුමුනවා..
මේක සාමාන්‍ය දෙයක්.මේ විදිහට ඔලුවේ සුළි පිහිටන එක පොඩි ළමයින්ගේ සාමාන්‍ය දෙයක්.
ළමා නිවාසයේ නිල වෛද්‍යවරයා සිනහමුසු මුහුණෙන් පවසනවා.
ඒත් ඊට පස්සේ සිද්ධ වෙන්නේ හරි පුදුම දෙයක්.දිගින් දිගටම දරුවා එස්තර්  සොයුරියගේ ආශ්‍රය ප්‍රතික්ෂේප කරන්න පටන් ගන්නවා. එස්තර් සොහොයුරිය ත් දරුවා ප්‍රතික්ෂේප කරන්න පටන් ගත් නිසා ළමා නිවාසය භාර ප්‍රධාන පූජකතුමන් වෙන මැල්කම් රොස්වෙල්ට් දරුවාව නීලම් කියන දමිළ ජාතික සොහොයුරියට බාර දෙනවා.ඊට පස්සේ අවුරුදු 14ක් වෙනකන් ජූඩ්  ඇති දැඩි වෙන්නේ මේ දෙමල ජාතික සොහොයුරියට භාරවෙලයි. ළමා නිවාසය අනික් ළමයි වගේම ජූඩ් පල්ලි යනවා.ඉස්කෝලෙ වැඩ කරනවා. හැබැයි ජූඩ් ගේ ඇස් දෙක සම්පූර්ණයෙන්ම නිල්පාටයි.ජූඩ්ව ඔතල තිබිච්ච රෙදි කෑල්ලේ ඕ එස් කියන අකුරු දෙක මහලා තියෙනවා. ජූඩ් බොහොම නිහඬ ළමයෙක්.ජූඞ් වචනයක් හරි කතා කළේ නීලම් එක්ක විතරයි.
එයාගේ අතීතය ගැන එයා කිසි දෙයක් දැනගෙන හිටියේ නැහැ.ඒ ගැන නීලම් එයාට කියන්න උත්සාහ කළෙත් නැහැ.ළමා නිවාසයේ හිටපු හැම ළමයෙකුටම අම්මෙකුයි තාත්තෙකුයි නැති නිසා ජූඩ්ට ඒ ගැන වැඩිය හිතන්න වුවමනා වුනෙත් නැහැ. ටිකෙන් ටික ලොකු වෙනකොට ජූඩ්ගේ කොන්ඩේ හොඳට වැවෙනකොට සුලි තුන වැහිලා යනවා .ඒ හින්දා හැමෝටම ලුසිෆර්ගේ කතාව අමතක වෙනවා. ජූඩ්  එක දවසක් ළමා නිවාසයේ හිටපු ළමයෙක් එක්ක රණ්ඩු කරගෙන ඒ ළමයගෙ අත කැඩෙන්න ගහනවා.ඒ ළමයාගේ දකුණු අත තුන් තැනකින් කඩනවා.හරියට ඒ අත ත්‍රිකෝණයක් විදිහට නමන්න පුළුවන් විදිහට .. ඊට පස්සේ ළමා නිවාසය ඇතුලෙන්ම ජූඩ්ට විහිළු නමක් පට බැඳෙනවා ත්‍රිකෝණ ජූඩ් කියල.. ඔව් අද කළු වලාවේ රිදී රේඛාව විශේෂාංගය තුළින් ගෙන එන්නේ රටක් සසල කළ ඇසූ පමණින් දෙපාරක් හිතන්නට වෙන ත්‍රිකෝණ ජූඩ් නොහොත් ජූඩ් මිස්ට් නයිට් ගේ කතාවයි. ජූඩ්  දැනට වැලිකඩ බන්ධනාගාරයේ අධිආරක්ෂිතව ඉන්න නිසා ඔහුව හම්බවෙන්න බැරි උනත් ඔහුගේ ඉතාමත් සමීපතම මිතුරෙක් වෙන සුජීව රාවතාවත්ත විසින් ලබා දුන් තොරතුරු මත මෙම විශේෂාංගය හැඩගැන්වේ..

ඒ සිද්ධියෙන් පස්සේ ජූඩ්  අයියා අවුරුදු 14 දී ළමා නිවාසයෙන් පැනලා ගිහිල්ලා තියෙනවා. හපුතලෙන් කෝච්චියට නැග්ග ජූඩ් අයියා  කොළඹ කොටුවෙන් බැහැලා ආපහු සැරයක් මීගමුව යන කෝච්චියක එල්ලිලා තියෙනවා.එයා මීගමුවෙන් බහිනකොට හුඟක් රෑ වෙලා.ඔහේ ඇවිදගෙන ඇවිදගෙන යනකොට ගිහින් තියෙන්නේ ලෙල්ලමට.එතන ඉඳලා අවුරුදු ගානක් පාවුලු කියලා කෙනෙක් ගාව මුහුදු රස්සාව කරලා තියෙනවා. ඉස්සර ඉඳලම ජූඩ්  අයියා වැඩට රුසියා.ටිකක්වත් කම්මැලි නැහැ.දවසේ පැය 24ම වුණත් වැඩ කරනවා.ඒ හින්දා පාවුලු කියන කෙනත් ජූඩ් අයියව අහුවෙන්න නොදී බලාගෙන තියෙනවා. එයාට ළමා නිවාසය එපාම වෙලා තමයි ඇවිල්ලා තියෙන්නේ.එක දවසක් නත්තල් පාටියකදී තමයි  සරුංගල් රණබාහුව එයාට හම්බවෙලා තියෙන්නේ. එතකොට මං හිතන්නේ ජූඩ් අයියට අවුරුදු විස්සක් විතර ඇති. ඊට පස්සේ එයා රණබාහු ළඟ වැඩට ගිහින් තියෙනවා.රනබාහුගේ පෞද්ගලික ආරක්ෂකයෙක් විදිහට තමයි ඉඳලා තියෙන්නේ. ජූඩ් අයියට අවි ආයුධ පුහුණුව දීලා තියෙන්නේ මාස තුනක් තිස්සේ වවුනියාවේ තැනක තියාගෙන.රණබාහුගේ සෑහෙන සම්බන්ධකම් එල්ටීටීඊ එකත් එක්ක තිබිලා තියෙනවා. එල්ටීටීඊ එකේ ආයුධ පුහුණුවට හිටපු ලිංගශ්වරම්ගෙ හොඳම ගෝලයා වෙලා තියෙන්නෙත් ජූඩ් අයියා තමයි. …..

ම්ම්ම්… මෙහෙම යි. සාමාන්‍යයෙන් ජූඩ් අයියා කිව්වොත් දෙයක් කරනවාම තමයි.ඇත්තටම එයා හරි කැමතියි මිනිස්සු මරනවට වඩා අතපය කඩන්න.බැරිම අවස්ථාවක් උනොත් විතරයි එයා මිනිස්සුන්ට වෙඩි තියන්නෙ. මට මතකයි එතකොට මම ජූඩ් අයියව අඳුනගත්ත මුල් කාලේ.
ජූඩ් අයියා සෑහෙන්න දේශපාලනඥයන්ට උදව් කරපු කෙනෙක්.පක්ෂ බේදයක් නෑ. එයාට වැඩක් බාර දෙන ඕන කෙනෙකුට එයා හරියට වැඩේ කරලා දෙනවා.එක්තරා පෞද්ගලික ප්‍රශ්නයකදී ජූඩ් අයියා ට ඕන තරම් ඉඩකඩ තිබුණා එයාව ක්ලෝස් කරලා දාන්න.

සුජී මෙහෙම යි ත්‍රිකෝන හදන්නෙ ඔන්න බලාගනින් කියලා… පට පට පට ගාලා  අර පුද්ගලයාගේ අත තුනට කඩලා ත්‍රිකෝණයක් විදිහට හැදුවා.එයා එහෙම යි.

ම්ම්ම් නැහැ .. මම දන්න තරමින් ජූඩ් අයියට එහෙම ආදරයක් තිබිලා නැහැ.හැබැයි ඉස්සර වවුනියාවේ අවි පුහුණුව ලබන කාලේ නම් පරමේශ්වරී කියලා ගෑනු ළමයෙක් ගැන නිතර අපි එක්ක කියලා තියෙනවා.පහු කාලයේදී ඒ ගෑණු ළමයා එල්.ටී.ටී. එකේ ප්‍රබල සාමාජිකාවක් වෙලා තියෙනවා.ඊට පස්සේ ජූඩ් අයියලා මෙහෙයවපු ප්‍රධාන අවිහුවමාරු වැඩසටහනේදී ඔය පරමේශ්වරී කියන ගෑණු ළමයත් එක්ක තමයි එකට වැඩ කරලා තියෙන්නේ. පරමේශ්වරිට හමුදාවෙන් වෙඩි තියලා මරලා තිබුනා. ජීවිතය අද වෙනකන් මම කවදාවත් ජූඩ්  අයියා ඒ විදිහට අඬනවා දැකලා තිබුණේ නැහැ..

ඔව් මොකද නැත්තේ..ඒ වගේ නිර්භීත මනුස්සයෙක් මගේ ජීවිතයට මම දැකලා නැහැ.එයා තමයි තාමත් අපේ නායකයා.අපි කොහොමහරි මේ ආණ්ඩුව යටතේ ජූඩ් අයියව එළියට ගන්නවා.මොකද ජූඩ් අයියා කියලා කියන්නේ අපේ රටේ දේශපාලඥයෝ හැම කෙනෙකුටම ඕන වෙන කෙනෙක්..

ඇයි නැත්තෙ බොහොම වගකීමෙන් තමයි කියන්නේ.එල්ලුම් ගස් ගියාට ජුඩ් අයියා මැරෙන්නෙ නෑ..තව මාස කීපයකින් අපි කොහොමහරි එයාව එලියට ගන්නවා..

මෙහෙම දේවල් ප්‍රකාශ කරන්න බයක් නැහැ.මොකද අපි වැරදි කරලා නම් ඒවා ඔප්පු කරන්නත් ඕනේ.නිකං බොරුවට චෝදනා කරලා මිනිස්සුන්ව හිර ගෙවල් වලට දාන්න බැහැ…
…………………………………..

චෝදනා කරන්නත් චෝදනා ඔප්පු කරන්නත් ලංකාවේ නීතිය සමත් විය යුතුයි.දෑස බැඳගත් ගැහැණියගේ තරාදිය හැමවිටම සමබරදැයි සිතීම  ඔබට බාරයි. තරාදියේ එක් පැත්තක හෝ කුරුල්ලෙකු වැසුවහොත් ඒ පැත්ත බරවෙනු ඇත.ඇගේ දෑස් බැඳ ඇති නිසා ඇයට එය නොපෙනෙයි.සදාතනික සත්‍ය ද එයයි..ජූඩ් යනු තවත් මේ රටෙහි එක් පුරවැසියෙක් පමණයි.ඔහුව පෝෂණය කොට ඇත්තේ වටා පිටාවේ ඇති පුද්ගලයන් ම නොවේද..ඒ ඔබත් මමත් ජීවත් වෙන පරිසරය තුළම නොවෙයිද..

………………………………….

ජනසුවද පුවත්පතේ එදා ජූඞ් ගැන පලවෙච්ච විශේෂ අතිරේකය ගැන අවසානයේ මේ තරම් ලොකු විප්ලවයක් වෙයි කියලා මම කවදාවත් හිතුවේ නෑ.සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ශ්‍රීනිශ්‍රී  කතුවරියගේ ලියවිලි පලු අරිමින් ලියූ වැකි පිරිලා ඉතිරිලා ගියා.බොහෝ අය චෝදනා කළේ මේ වගේ සමාජය පහත් කොට පිළිකුල් කොට සැලකිය යුතු පුද්ගලයන් මහා වීරයන් කොට සමාජයට ඉදිරිපත් කරන්නේ මාධ්‍යවේදීන් කියාය.

ඊළඟ සතියට ලියන්න ඕන ලිපි ගැන මම කරදර වෙනකොට මගේ දුරකථනයට නිවනක් නැතුව හැම පැත්තෙන්ම ඇමතුම් ගලාගෙන එන්න පටන් ගත්තේ මම ලියල තියෙන ලිපිය සම්බන්ධවයි..
ලොකු අම්මා ඉහ අත බදාගෙන අඬන්න ගත්තේ

මොන මගුලක් ද බං උබ ඔය කරන්නේ .. දෙයියනේ වෙඩි කන්නද හදන්නේ… කියලයි.

ලොකු අම්මා බයවෙන්න එපා.පත්තරේ අයිති මට නෙමෙයි.වෙඩි කනවා නම් වෙඩි කන්නේ කේසර..එයාලා ලියන්න කියන දේ තමයි මම ලියන්නේ.ඒ මැරයාව මම අඳුනන්නේ නැහැ.ඒගොල්ලෝ තමයි ඔක්කොම ලෑස්ති කරලා දුන්නේ.මම කළේ එයාගෙන් විස්තර අහගෙන මිනිස්සුන්ට කියවන්න පුළුවන් විදියට ලිපිය ලියන එක විතරයි.

උඹ ඔය පණ්ඩිතකම් කියපන් මේ ගෙදර ඇතුළෙ විතරක්. මේ දොරෙන් එළියේ හැම මිනිහම හිතාගෙන ඉන්නේ ඔය ලිපිය ලියන්නේ උඹ කියලා.උන් දන්නෙ නෑ ඔය කිසි දෙයක්..බලපන් ෆේස්බුක්වල උබව පතුරු ගහලා තියෙන විදිහ. ඇත්තටම දුවේ උඹට තේරෙන්නේ නැද්ද..ඔයාව පාවිච්චි කරලා මුන් පත්තරේ ජනප්‍රිය කරගන්න හදන්නේ කියලා..ඔයාම නේද කියන්නේ දැන් අච්චු ගහන ප්‍රමාණයත් මදි කියලා ලංකාවේ මේක විකුණන්න.එහෙමනම් ඔයා ඔය ලියන ඒවට වැඩිපුර ගානක්වත් ඒගොල්ලො ගෙවන්න ඕනේ..

මං ලොකු අම්මා ඉස්සරහ හිනා උනාට එයා කියන්නේ ඇත්ත කියලා හිත යටින් හිතුනා.මට අසාත් එක්ක මේ හැම දෙයක්ම කතා කරන්න උවමනාව ඇති වුණා.ඒත් එයා මේ වෙලාවේ කොහේ ඉන්නවද..

බයවෙන්න එපා බානු ..ඔයාගේ ලිපිය හොඳ හින්දා තමයි ඔය විදිහට මුළු ලංකාවක් ඇවිස්සිලා තියෙන්නේ. මාර වැඩේ කියන්නේ අද ගොඩක් මීඩියාවලින් මගෙන් වොයිස් කට් ඉල්ලුවා මේ සම්බන්ධයෙන්. ඔයා බයවෙන්න එපා.අද රෑට නිවුස් බලන්න.

පහුවෙනිදා වැඩට ගියාම එහෙම කියපු කේසර මහා අමුතු විදිහට හිනා වුණා. මට ඒ හිනාව ඇතුලේ මහා අමුත්තක් තේරුණා.

ඔයා මොනවද කියන්නේ කියලා මට තේරෙන්නේ නැහැ කේසර.ඔයාලා ලියන්න කියපු නිසයි මම ඒක ලිව්වේ….

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles