නම නොදන්නා කඳු පන්ති 15

මුළු රෑ පුරාම කල්පනා කර කර ඔහේ හිටපු මට මං හිතන්නේ නින්ද ගියේ පාන්දර හතරත් පහුවෙලා. පරක් තෙරක් නොපෙනෙන මුදුනක් නොපෙනෙන මොකක්දෝ මහා අමුතු කන්දක් දිගේ මම හති දාගෙන නගිනවා දැක්කා.කන්ද මුදුනේ කවුරුහරි ඉඳගෙන මට අත වනනවත් දැක්කා.

ඉක්මනට …ඉක්මනට … එන්න ..

කවුද ඒ… මට හිතා හිතාගන්න බෑනේ..

කවුද ඒ…

මාව ගැස්සිලා ඇහැරුණා. මගේ ඇඳ ඉස්සරහා අම්මයි තාත්තයි මං දිහා බලාගෙන ඉන්නවා දැක්කහම මට හිතාගන්න බැරුව ගියා.

ඇයි ..මේ….

ඇයි ..මේ… අනේ අම්මපල්ල…මොකක්ද බං මේ කරගෙන තියෙන්නේ.උබේ හිත හැදෙන්න කියලා උඹව මෙහෙට මම ගෙනල්ලා දැම්මේ. රස්සාවක් කරන්න යන්න ඕනේ කියනකොට ඒකටත් හා කිව්වා.රේඩියෝ රස්සාවෙන් පත්තර රස්සාවට මාරු වෙනවා කියලා කියනකොටත් මං හිතුවා උඹ මොලේ ඇති  ළමයෙක් හින්දා හරියට වැඩක් කර කරගනියි කියලා.අන්තිමේදී අපිට ගමේ පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් ඇවිල්ලා තියෙන්නේ…

ඇයි .. ඇයි අම්මලාට මොකද වෙලා තියෙන්නේ..පාර යන්න බැරි වෙන්නේ මොකද වෙලා තියෙන්නෙ?…

මොකද වෙලා තියෙන්නේ…
ඈ.. බං .. උඹ ලියලා තියෙන්නේ අර කොහෙද ඉන්න රාජකීය මැරයෙක් මහ වීරයෙක් විදිහට..පන්සලේ ලොකු හාමුදුරුවෝත් ඊයේ  අපිට කතා කරලා දොස් කිව්වා. දෝනියන්ද කොළඹ ගිහිල්ල මේවද කරන්නේ කියලා. පණ තියෙන හැම මිනිහෙක්ම අප්‍රසන්න කරන්න ඕන මනුස්සයෙක්ව උඹ විතරක් මහ වීරයෙක් විදිහට ලියල කියල කිව්වා. ඒ වගේ සොකඩ මිනීමරුවන්ට නැති වීරකමක් උඹ ලියලයි කිව්වා. උඹ වගේ උගත් ළමයෙකුගෙන් ඔය වගේ වැඩක් හාමුදුරුවෝ කීයටවත් බලාපොරොත්තු වුණේ නැහැ කිව්ව…

හාමුදුරුවෝ මට පඩි ගෙවන්නේ නෑනේ..ඉතින් ඕන දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්..මම රස්සාව කරන තැන මට පඩි ගෙවන මනුස්සයා බලාපොරොත්තු වෙන දේ තමයි මට කරන්න වෙන්නේ..හාමුදුරුවන්ව සතුටු කලහම මට මොනවද හම්බවෙන්නේ…

උබ අර තව මොනවද මහා සංඝනායක හිමි කෙනෙක් ගැනත් ලියලා කියලා හාමුදුරුවෝ හොඳටම දෝස් මුරේ තබ්බා.ශාසනය රැක ගන්න හදනවට වඩා ඒකට කෙලවන්න තමයි ඉන්නේ කියලා..

මොන විකාර කතාවක්ද ඒ.. ඒ හාමුදුරුවෝ කරන ජඩ වැඩ තමයි මම පත්තරේ ලිව්වේ.ඒකෙන් කොහොමද සාසනය විනාශ වෙන්නෙ..ශාසනය විනාශ කරන හාමුදුරු කෙනෙක් ගැන ලිව්වහම ඒකෙන් වෙන්නේ ශාසනය රැකෙන එකනේ..මොනවටද ඕවා හංගන්නේ… අනේ මේ..උදේ පාන්දර දැන් ඔයාලා දෙන්නා මෙතනට ආවේ  මගේ ඔළුවේ ඉතුරු ටිකත් කාල යන්නද …

මං එහෙම කිව්වහම මගේ කාමරේ ඉඳගෙන හිටපු තාත්තා විදුලියක් වගේ නැගිට්ට.

උදේ පාන්දර… ඈ බං දැන් වෙලාව  කීයද … දැන් එකොළහමාරත් පහුවෙලා… උඹට අපිව කරදරයක් කියලා දන්නවා.උඹේ හිත හැදෙන්න මෙහේ නතර කළේ.දැන් උබ කරන වැඩ වලින් මේ මනුස්සයටත් කරදරයක්.ඕන නාඩගමක් නටන්න ඕනෙනං කොහේ හරි බෝඩිමක් හොයාගෙන නතර වෙයං. ඔච්චර වීර කාන්තාවක් නම් මේ මනුස්සයට වද දෙන්න මෙතන රිංගගෙන ඉන්න එපා..

මට දැනුනේ මහා වේදනාවක්. තමන්ගේ වැඩ වලට පළවෙනියෙන්ම ගල ගහන්නේ තමන්ගේ ගේ ඇතුලෙන්මයි කියන එක මට හිතුණා ..

ලොකු අම්මට කරදරයක් නම් මම වෙන තැනකට නවතින්න යන්නම්..

මං එහෙම කිව්වේ බොහොම හෙමින්. ඇත්තටම මම මෙතන හිටියේ හරිම හිතේ නිදහසෙන්.ඒ උනාට ඇත්ත තිත්තයි.මේක අනුන්ගේ තැනක්.මම කරන රස්සාවේ හැටියට රස්සාව මට ප්‍රශ්නයක් වුණාට ප්‍රශ්නයක් නැහැ.හැබැයි ඒක මගේ බාහිරෙන් ඉන්න අනික් කිසිම කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න බැහැ.ඇයි අපි හැමතිස්සේම අනික් අයගේ සන්තෝසය ගැන අනිත් අයගේ ආරක්ෂාව ගැන හිතන්න ඕනේ.ඇයි කොයිම වෙලාවකවත් මේ රටේ සිද්ධ වෙන අසාධාරණයක් ගැන කතා කරන්න අපිට ධෛර්ය දෙන්න කෙනෙක් නැත්තේ.ඇයි හැමෝම ඇත්ත කතා කරන්න බය..මං හිතන්නේ මම ඇඳ උඩම ආපහු ඉඳගෙන හිටියා.

අහපං පුතේ…දැන්වත්  ඔය රස්සාවෙන් අයින් වෙයං… මේ රටේ වෙන රස්සාවක් නැද්ද උඹට කරන්න..

තියෙනවා..ඒත් ඒවා කරන්න මම කැමති නෑ.මනුස්සයෙක් කරන්න ඕනෙ තමන් කැමති රස්සාව නෙමෙයිද..

අ…ප්..පාහ්… මුන්ගෙ කටේ තරම දැන්… උඹලට දෙයක් කියල දුන්නහම ඒක අහන තත්ත්වයක නෙමෙයි දැන් ඉන්නේ…

දැන් අම්මා මට මොකද කරන්නේ කියන්නේ..

කරන්න කියන්නේ ඔය විකාර රස්සාවෙන් අයින් වෙයං..වෙන රස්සාවක් හොයා ගනිං… උඹ හොයාගෙන ඉන්නවනම් මනුස්සයෙක්  ඒ මනුස්සයව කසාද බැඳපං.. එහෙම එකෙක් නැත්තං කියපන් ඒකත් හොයල දෙන්නම්.
උඹලව හදන්න දහ දුක් වින්දා.දැන් මේ මැරෙන්න බලාගෙන ඉන්න අපිට සැනසිල්ලේ උඹල මැරෙන්න දෙන්නෙත් නැහැ.උඹලා පත්තු කරන ගින්දර වලින් පිච්චෙන්නේ අපි..

කවුරුත් පත්තු කරන ගින්දර වලට කවුරුවත් පිච්චෙන්නේ මොකටද…

මං එහෙම කිව්වේ හෙමින් ..

මොකද්ද උබ කිව්වේ .. කියලා එක පාරටම තාත්තා කඩාගෙන පැනලා  මගේ කම්මුල රත් වෙන්න ගහපු වේදනාවට වඩා මට දුක හිතුනේ මේ වෙලාවේ මගේ ළගින්ම මට ශක්තියක් වෙන්න ඕන මිනිස්සු මේ විදිහට මාව අසරණ කරන්නේ ඇයි කියන එකට විතරයි.

හා..හා..හා… දෙයියනේ මොකද මේ…. ඔය විදිහට කලබල වෙලා මේවා විසඳන්න පුළුවන්ද..ඔච්චර ගහ මරාගන්න දෙයක් මෙතන වෙලා නෑ.. අනික මේ අඟල අඟල බිත්ති වලින් වෙන් වෙලා තියෙන ගෙවල්.හයියෙන් කැස්සක් කැස්සත් අනිත් පැත්තට ඇහෙනවා.මෙලහටත් නස්‍රියා  බකල ගගහා මෙහෙ එනවා ඇති..
අයියලා විකාර කරනවනේ…

ලොකු අම්මේ … මම බෝඩිමකට නවතින්න යනවා.මං හින්දා ලොකු අම්මට ලොකු කරදරයක්.

දැන් කවුද ඔයාට එහෙම කිව්වේ..

කවුරුත් කියන්න දෙයක් නැහැ.මට ඒක තේරෙනවා.මම මේ රස්සාව කරන්නේ කැමැත්තෙන්.මම කේසර ගෙන් අයින් උනත්… මම ආපහු පත්තරේකම රස්සාවකට තමා යන්නේ…

මොකද්ද කිව්වේ … කේ… ස… ර..
අර උබේ ගුරා…. ඌද… ඌද පත්තරේ කරන්නේ..

ආපහු සැරයක් තාත්තා ඇස් ගෙඩි දෙක ලොවි ගෙඩි දෙකක් වගේ රතු කරගෙන දොඹ ගෙඩි තරං ලොකු කරගෙන මගෙන් අහනකොට මට ඇත්තටම බය හිතුණා.

ඔව්…

ඈ බං.. උඹ මාර ගෑනියෙක් නේ.. හත් අවුරුද්දක් වැළපුණා ඌ දාලා ගියා කියලා.ගෙදරට වෙලා නොකා නොබී පිස්සියෙක් වගේ අඬ අඬා කල්පනා කර කර ඉන්නකොට උබට පිස්සු වැටෙයි කියන බයට තමයි මෙහෙට ගෙනල්ලා දැම්මේ..
දැන් ආපහු සැරයක් උඹ ගිහිල්ලා උගේ ඇඟේම එල්ලුනා.උඹ රස්සාවට යනකම්ම දන්නෙ නැද්ද ඔය පත්තරේ කරන්නේ කවුද කියලා..

දන්නවා …

එහෙනං… එහෙනං… මොන කෙන් ගෙඩියකටද එතන වැඩට ගියේ ..අච්චර රත්තරං රේඩියෝ රස්සාව දාලා..උබට ආයිත් ඕන උනා උගේ එල්ලෙන්න.. ඇත්තටම උඹ නම් ලැජ්ජාවක් ඇති ගෑනියෙක් නෙමෙයි..ඒ මිනිහා වෙන ගෑණියෙක්වත් ගත්තා කියලා උඹ නේද ගෙදර කිව්වේ..ඇත්තටම බානු .. උඹට මොලයක් නැද්ද..

දැන් එතකොට ඌද උඹට කිව්වේ ඔය විදිහට පත්තරේට ලියන්න කියලා..මහ ලොකුවට උඹට පඩි ගෙවලා බලාපොරොත්තු වෙනවා කියපු මිනිහා ඌද …

කෑ ගහන්න එපා අයියේ මෙතන..අපේ කාලේ වගේ අත ඇරියොත් අත ඇරියා ආයි මූනවත් බලන් නැහැ කියන සම්බන්ධකම් දැන් කාලේ ළමයින් ගෙ නෑ..ආදර සම්බන්ධකම අතහැරියාට ජීවිතයේ තියෙන සම්බන්ධකම හුඟක් අය අතහරින්නේ නෑ..අපේ පරම්පරාවේ මිනිස්සු තමයි ඔය වගේ දේකදි නයි පොළොන්ගු වගේ කා කොටාගෙන ආයි මූණවත් නොබලා ඉන්නේ..දැන් ඉන්න පරම්පරාවේ ළමයි ඒ දේවල් අමතක කරලා ආපහු සාමාන්‍ය විදිහට කතාබහ කරලා එකට වැඩ කරනවා..

අනේ කාලේ වනේ වාසේ..අපිට නම් තේරෙන්නෙ නෑ ඒ සම්බන්ධකම්…හැබැයි බානු  මං උඹට එකක් කියන්නම්..ඕක උබව ලං කරගෙන තියෙන්නේ හොඳකට නෙමෙයි… දැනටමත් මුල පටන් අරගෙන තියෙන්නේ..

ඉන් එහා කාත් එක්කත් වචනයක්වත් කතා කරන්නේ නැතුව මම නාන කාමරය ඇතුළට රිංග ගත්තේ උසාවියක් වගේ මේ අහන හරස් ප්‍රශ්න වලට මට උත්තර දෙන්න බැරි හින්දා.පොඩි කාලේ ඉඳලම මම හරි බයයි  වැඩිහියො එපා කියන දේවල් කරන්න…දවසක් මම එහෙම කිව්වහම පිස්සුද  හද්ද මෝඩයොත් වයසට යනවා කියලා  කේසර  හක හක ගාලා හිනා වුණා.
තාත්තා මෝඩයෙක් නෙමෙයි.ඇත්තටම තාත්තට දුරදිග පේන බව මම දන්නවා.ඒ උනාට මම මේ රස්සාවට කැමතියි.පාන්දර නින්ද ගිය හින්දා මට ජංගමය  අඩන සද්දෙ ඇහුනෙ නැහැ. කේසර ගෙන් මග ඇරුනු ඇමතුම් දහයක් විතර තිබුණා ..

පුතේ..කොහෙද මේ මද්දහනේ ඇඳගෙන යන්න යන්නේ.ඔයා උදේට කාලත් නෑ.. දැන් දවල්ට කන්නෙත් නැතුවද යන්න යන්නේ..

මං මොනවා හරි මගින් කන්නං…

ඇත්තටම මම එහෙම කිව්වේ අම්මා තාත්තා ලොකු අම්මා තුන්දෙනා වටකරගෙන අහන ප්‍රශ්න වලට මට උත්තර දෙන්න බැරි හින්දා මට ඉක්මනට එතනින් පිටවෙලා යන්න ඕනෙයි කියන හිතුවිල්ල දැනිච්ච හින්දයි.

කවුද බෙල් එක ගහනවා? ඉන්න මං බලන්නම්…

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles