නම නොදන්නා කඳු පන්ති 17

පහුවදා උදේ මම වැඩට යන්න නැගිට්ටේ වෙනදට වඩා හිත ශක්තිමත් කරගෙන.අසාද් මාව ඔෆිස් එකට ගිහින් දාන්නම් කියලා කිව්වා.
අපි දෙන්නම වාහනයට නගිනකොට තමයි  මට ඒ කෝල් එක ආවේ..

ගුඩ්මෝනින්… මේ බද්‍රානි බානුශ්‍රී රනබාහු නේද … ජනසුවද පත්තරේ…
අපි සී අයි ඩී එකෙන් ….

මට හිතාගන්න බැරුව ගියා මම දෙන්න ඕනේ උත්තරේ මොකක්ද කියලා.

ඔව්.. ඒ මම තමයි …

ආ.. මිස් ඔයා නවය වෙනකොට සීඅයිඩී  ඔෆිස් එකට එන්න.අපිට පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා  ඔයාගෙන්  කට උත්තර ගන්න..

ආ..හරි … මං එනවා ….

මම එහෙම උත්තර දුන්නට මට දැනුණා මගේ මුළු ඇඟ ඇතුලෙන්ම වෙව්ලනවා වගේ හැඟීමක්..

කවුද කතා කළේ?..ඇයි බය වෙලා වගේ..

සී අයි ඩී එකෙන්..

ආ… ඒ මොකද …

දන්නෙ නෑ..දැන් ඒගොල්ලන්ගේ ඔෆිස් එකට එන්න කියලා කිව්වා කට උත්තර දෙන්න..

අසාද්  වචනයක්වත් නොකියා  ඔෆිස් එක පැත්තට නැතුව අනිත් පැත්තට වාහනේ හරවලා යන්න පටන් ගත්තේ සී අයි ඩි කාර්යාලයට කියන එක මට තේරුණා.

මොකටද කියලා ඒගොල්ලො හරියට කිව්වේ නැහැ නේද..

ඒකනේ…මටත් හිතාගන්න බැරි..

දහසකුත් එකක් දේවල් මගේ හිතේ ඇඳෙනකොට office එකට උදේ එන්න මම පරක්කු වෙනවා කියලා කියන්න කේසරට කතා කරන්න හිතුනා.
ඒත් කේසරගේ දුරකථනය දිගින් දිගටම ක්‍රියා විරහිත වෙලා තිබුණ හින්දා මට පණිවිඩය දෙන්න විදිහක් තිබුණේ නැහැ.

සී අයි ඩී එක ලඟට යනකොට කේසරගේ වාහනයත් එතන නවත්තල තියෙනවා මම දැක්කහම අසාද්  මගේ මූණ දිහා බැලුවා.

මොකක් හරි අවුලක් වගේ නේද..
අසාද්  ඇහුවේ  වාහනය පාක් එකට දාන ගමන්.

මට මොකුත් කතා කරන්න හිතුනේ නැද්ද කතා කරන්න මතක් උනේ නැද්ද කියන එක හිතාගන්න බැරුව ගියා.

ආ මේ මිස් ජන සුවඳ පත්තරේ බානුමිස් නේද..මෙන්න මෙතනින් හැරිලා අර කැන්ටින් එක ගාවින් හතරවෙනි තට්ටුවට යන්න.

මගේ කකුල් දෙක පණ නැති වෙනවා වගේ දැනුනා.මගේ මානසිකත්වය තේරුම් ගන්න අසාර්ථ බොහොම හොඳට පුළුවන් උනා..

එයා මගේ ඔළුවට අත තියලා එයාගේ ඇස් දෙක වහලා වචනයෙන් කියන්න පුළුවන් දාහක් දේවල් එක හැඟීමකින් කියලා ඉවර කළා.ඒක මාරයි කියලා මට හිතුනා.

මම මෙතන ඉන්නවා.ඔයාගේ වැඩේ කීයට ඉවර වුණත් මම මෙතනම ඉන්නවා..

වෙන  කරන්න දෙයක් නැති නිසා  මම ඇතුලට ගියා.එතකොට වෙලාව හරියටම නමයයි.මම දොර ගාවින් ඇතුලට යන්න යනකොටම කේසර ඇතුළෙ ඉඳන් එළියට ආවා.එයාගේ මූණ පුදුම විදිහට වෙනස් වෙලා තිබුණා.මොකද උනේ  කියලා අහන්න එතනින් බැරි හින්දා  මම එයාගේ මූණ දිහා බැලුවා.වචනයක්වත් කියන්නේ නැතුව කේසර එතනින් පිටවෙලා යන්න ගියා.

ආ.. මේ බානු ද…

ඔව්..

එන්න  ඇතුලට.බොහොම හොඳයි අපේ කාලේ නාස්ති කරන්නේ නැතුව හරියටම නමය වෙද්දිම ආවට …

ඉතින් කොහොමද … බයවෙන්න එපා.අපි ඉන්නේ ඕගොල්ලන්ට උදව් කරන්න.අපිටත් ඕනේ ඕගොල්ලන්ව අනවශ්‍ය ප්‍රශ්න වලට මැදිහත් වෙන එක නවත්වන්න.හැබැයි අපිට උදව් කරනවද නැද්ද කියන එක මත තමයි ඒක තීරණය වෙන්නේ..
තේරුණාද..

ඔව්..

දැන් මෙතනින් එළියට ගිය කෙනා අඳුනනවා නේද..

ඔව්.. ඒ කේසර .. ජනසුවද පත්තරේ එඩිට..

ම්ම්…

එතකොට වානි එලිකෝස් කියන්නේ කවුද..

ඒ කේසර ගෙ වයිෆ්..එයත් අපිත් එක්ක පත්තරේ තමයි වැඩ කරන්නේ.ඔයා ඩිරෙක්ට බෝඩ් එකේ ඉන්නේ..ලිපි ලියන්නෙ නම් නැහැ..

හොඳයි .. එතකොට මිස් දන්නවද දැන් වෙලා තියෙන දේ..

ඇත්තටම නැහැ…ඇත්තටම ඇයි මාව කැඳෙව්වේ?..

හරි … මේ අපිට ඇත්තම කියන්න ඕනේ..සමහරවිට මිස්ට මේ ප්‍රශ්නෙන් ගැලවෙන්නත් පුළුවන් වෙයි ඇත්ත කිව්වොත්…

මම දන්න තරමින් නම් මම වරදක් කරලා නැහැ.ඇත්තටම වෙලා තියෙන්නේ මොකක්ද..

ඔයා ලියලා තියෙනවා නේද ත්‍රිකෝණ ජූඩ් ගැන ලිපියක්…

ඔව්..

ඇයි ඔයා ඒක ලිව්වේ?..

වානි  මට කතා කරලා දවසක් කිව්වා ත්‍රිකෝණ ජූඩ් ගැන ලිපියක් ලියන්න කියලා. ත්‍රිකෝණ ජූඩ් අධිආරක්ෂිතව වැලිකඩ ඉන්න හින්දා එයාව හම්බවෙන්න අමාරු නිසා එයාගේ හොඳම සහ ළඟම යාළුවා කියන සූජී ව සම්බන්ධ කරලා දුන්න විස්තර කතා කරගන්න.

හරි .. ඊට පස්සෙ ..

ඊට පස්සේ මමයි සුජී දෙන්න  මූන් ලයිට් රෙස්ටුරෙන්ට් එකේදි හම්බ උනේ හවස හතරට විතර..එයා කියපු විස්තර තමයි මම ලිව්වේ.
අපි රෑ දහය මාර විතර වෙනකම්ම විස්තර කතා කළා.සුජී කියපු හැම දෙයක්ම අකුරක් නෑර මම ඒ ලිපිය ලිව්වා.

ඊට පහුවෙනිදා එයා ලියපු ලිපිය කේසරට පෙන්නුවද.එයා එඩිට හින්දා..

එදා කේසර නිවාඩු ගිහින් හිටියේ.ඒ හින්දා වාණි තමයි අපේ ආර්ටිකල් ටික බැලුවේ.

ඔයා ලියපු එකත් බැලුවද..

නෑ මගේ එක විතරක් වානි  බැලුවේ නැහැ.ඔයාගේ ඒවා මොනවා බලන්නද බානු කියලා එයා හිනා වුණා.

ඒ කියන්නේ ඔයාගෙ තනි කැමැත්තට මේ ලිපිය පළ කළේ..

තනි කැමැත්තට පල කරන්න පත්තරේ මගේ නෙමෙයි.මම වාණිට කිව්වා මේක හෙට පත්තරේ පළවෙන්න දැන් ප්‍රෙස් එකට බාර දෙන්න ඕනේ. මොකද කරන්නේ කියලා..

එයා කිව්වා කේසර එන්න වෙලා යයි.ඔයා අපි කියපු විදිහටම ඕක ලිව්වනේ..ඕක භාර දෙන්න ඒ ඇති කියලා..

ඊට පස්සේ..

වාණි ඩිරෙක්ට බෝඩ් එකේ ඉන්න හින්දා එයාගේ වචනයට උඩින් කවුරුවත් වැඩ කරන්නේ නැහැ.
ඒ හින්දා මම ඒක  ප්‍රෙස් එකට බාර දුන්නා.

හරි ..ඔය කතාවෙ ඔයා දන්නේ ඔච්චරමද…ඉන් එහාට දෙයක් ඔයා දන්නේ නැහැයි කියලා පොරොන්දු වෙන්න පුළුවන්ද..

ඇත්තටම මම කරන්නේ මට කරන්න කියන දේ… කතිරයේ කවුළුවෙන් එහා කියන ලිපි පෙළ පටන් ගමු කියල නං කිව්වෙ මම තමයි.ඒ වෙනකම්ම තියපු ඉන්ටර්වීව් ඇත්තටම මගේ තනි කැමැත්තෙන් හොයාගෙන ගිහිල්ලා කරපු ඒවා..ඒත් මේ ත්‍රිකෝණ ජූඩ්ගේ ලිපිය විතරක් කේසරයි වානි යි දෙන්න ලියන්න කියපු නිසා කරපු දෙයක්.

දැන් මෙතන ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ බානු. මේක තනිකරම ඒගොල්ලන්ගේ ප්ලෑන් එකක්.ඔය හිරේ ඉන්න බොහොමයක් දාමරිකයන්ගේ පොඩි ගේමක්. පත්තරේට සල්ලි දීල ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ වර්ණනාව ඇතුළත් වෙන්න ලිපි ලියව ගන්නවා.ඊට පස්සේ ඒක පත්තරේ පළවෙනවා.පළ වෙච්ච දා  හවස ඉඳලා ඒගොල්ලෝ ගාව තියෙනවා ලිස්ට් එකක්. ඒ කියන්නේ ඒ මැර කණ්ඩායම ළඟ.එක එක දේශපාලනඥයෝ ව්‍යාපාරිකයෝ නීතිඥවරු සල්ලිකාරයෝ කැසිනෝකාරයෝ එකී මෙකී නොකී හැම කෙනෙක්ගෙම නොම්බර ඒගොල්ලෝ ගාව තියෙනව.මේගොල්ලො කරන්නේ ඊට පස්සේ ඒ නොම්බර වලට කතා කරලා තම තමන්ගේ එකවුන්ට්  වලට කප්පං දාන්න කියලා බල කරන එක. දැන් ඕගොල්ලන්ගේ මේ ලිපිය පළ වෙච්ච වෙලේ ඉඳලා ව්‍යාපාරිකයන්ට බොහොම ලොකු කරදරයක් වෙලා තියෙනවා මේ ත්‍රිකෝණ ජූඩ් ව.අපි ගාවට පැමිණිලි අරගෙන ආවේ කීපදෙනයි..එහෙම අරගෙන ආවේ නැති කීදෙනෙක් ඉන්නවද කියන්න අපි දන්නේ නෑ.ඒගොල්ලො හැමෝටම කියලා තියෙන්නේ මම ගැන දන්නේ නැත්නම් අහවල් දවසේ ජන සුවඳ පත්තරේ අරගෙන කතිරේ කවුළුවෙන් එහා ලිපිය කියවන්න කියලයි .ඒ  ලිපිය කියෙව්වට පස්සේ හුඟක් මිනිස්සු බය වෙලා තියෙනවා ත්‍රිකෝණ ජූඩ් කියන්නේ අමුම අමු මිනීමරුවෙක් කියලා.ඒ බයටම හුගක් දෙනා සල්ලි දාලා තිබුනා.දැන් මේ ගත්ත සල්ලි වලින් කොටසක් ඔයත් අරගෙන තියෙනවා.

ම..ම…

ඔව්… අපිට කේසර තමයි කිව්වේ..

මට තේරෙන්නේ නෑ.. මම එහෙම සල්ලි ගත්තේ නැහැ.. ඒත්  කේසරලා අරගෙන තියෙන ගාන කීයද..

ජූඩ්  ඒ වෙනුවෙන් ලක්ශ 10 දීලා තියෙනවා . වාණි තමයි ඒ සල්ලි අරගෙන තියෙන්නේ.හැබැයි දැන් වානි ඉන්නේ රටින් පැනලා. වක්‍රාකාරව මිනිසුන්ව බ්ලැක්මේල් කරන්න ඕගොල්ලොත් උදව් කරලා තියෙනවා. මේ කේස් එක පොලිසිය හරහා නොගියේ අපිට ආරක්ෂක අමාත්‍යංශයෙන් දැනුම් දීලා තියෙනවා මේ ප්‍රශ්නය එළියට දාන්න එපා කියලා.මොකද එහෙම වුනොත් හැම පත්‍තර කාරයාම පටන් ගන්නවා මේ ජරා වැඩේ කරන්න. ජූඩ්ට ලක්ෂ දහයක් පත්තරේට දුන්නා කියලා කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. එයා බ්ලැක්මේල් කරපු මිනිස්සුන්ගෙන් එකපාර ලක්ෂ පනහ හැට ඉල්ලන්නෙ…

අනේ සර් මගේ කකුල් දෙකත් වෙව්ලනවා වගේ. ඇත්තම කියනවනම් වාණි එච්චර හිත හොඳකින් නෙමෙයි මාත් එක්ක හිටියේ.මෙහෙම දෙයක් මට ලියන්න කියලා කියනකොටම මට සැක හිතුණා. ඒත් පස්සේ මට හිතුණා ඒ වගේ කෙනෙක් එක්ක interview එකක් කරන්න හම්බවෙනවා කියන්නේ මගේ කතෘ ජීවිතේ මට හම්බවෙන ලොකු අවස්ථාවක් කියලා.ඔය වගේ දෙයක් කරනවා කියලා නම් මට හීනෙකින්වත් හිතුනෙ නෑ.

උදේ කට උත්තර දීපු කේසර කිව්වේ එයා මේ කිසිම දෙයක් දන්නේ නැහැ කියලයි.අපි දැනටමත් වානිව අත්අඩංගුවට ගන්න අවශ්‍යය ලිපි හදලා ඉවරයි.
වානි කේසර ගේ නීතයානුකූල බිරිඳ නෙමෙයි .

මං මොකද කරන්න ඕන … මම කළේ මගේ රස්සාව.මට ලියන්න කියපු දේ මම ලිව්වා . වෙනදටත් මේ වගේ පුද්ගලයෝ ගැන ලිපි ලියන හින්දා ඒ වැඩේ මට බාර දුන්නා.

ඔයත් එක්ක මේ ඉන්ටර්වී එකට සම්බන්ධ උනේ සුජී නේද..දැන් එයා  කොහෙද  ඉන්නේ ..

ඇත්තටම සුජීගෙ ටෙලිෆෝන් නම්බර් එකක්වත් මගේ ළඟ නැහැ.ඒ හැම දෙයක්ම මට ලෑස්ති කරලා දුන්නේ වානි  තමයි..මේ ලිපියෙන් පස්සේ මම ඒගොල්ලොත් එක්ක කිසිම සම්බන්ධතාවයක් පැවැත්වුවෙ නෑ.

දැනට අපි සුජී මේ රටේ නැති බව දන්නවා.මිනිහා ඩුබායි  පැනල තියෙන්නෙ එදා රෑමයි. අපි ඔයාගේ ටෙලිෆෝන් ඩීටේල්ස් ඔක්කොම චෙක් කරලා බැලුවා.ඔයා බොරු කියන්නෙ නැහැ කියන එක නම් තේරෙනවා.එදායින් පස්සේ කිසිම දුරකථන ඇමතුමක් ඔයාගේ ෆෝන් එකෙන් ඒගොල්ලන්ගේ නොම්බර වලට අරගෙන නැති බව අපි දැක්කා.ඒ වගේම ඔයාගේ ගෙදරිනුත්…

මාව වෙව්ලනවා  වගේ මට තේරුනා.. ඒ වෙනකොට එක දිගටම පැය තුනක් මගෙන් එයාලා ප්‍රශ්න කරලා තිබුණා.ප්‍රශ්න අහන්න පස් දෙනෙක් හිටියා.බොරු කතාවක් ගොතන්නේ නැතුව ඇත්තම කියපු හින්දා මට සාර්ථක උත්තර දීගන්න පුළුවන් වුණා කියලා හිතුනා.

හරි  මිස් ..මෙන්න මෙතන අත්සන් කරලා ඔයා දැන් යන්න.ඔයාගේත් විදේශ ගමන් තහනම් කරලා අපි නියෝගයක් නිකුත් කරලා තියෙන්නේ. කේසරටත් එහෙමයි.
අපිට අවශ්‍ය වුණොත් අපි ආපහු ඔයාලව ගෙන්නනවා.

මං හිතන්නේ මම ගේට්ටුව ගාවට යනකොට අඬලා තිබුණා.අසාද්  පාර අයිනේ තිබිච්ච ලෑලි ගහපු පුංචි තේ කඩේක බංකු ලෑල්ලක වාඩිවෙලා ප්ලේන්ටී එකක් බිබී මම එන ගේට්ටුව දිහා බලාගෙන හිටියා…

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles