මා හද මට නැති විට – 07

“ඒ මොකක්ද ඒ වුණේ?”

පාරමී අහන්නේ පුදුමයෙනි. උදව්වට ආ “ඉස්සරහ ගෙදර දේව දූතයා” ගැන ලාවන්‍යා පැවසුවේ ඊයේ ය. අද අනුත්තරා ඔහුගේ වාහනයෙන් පැමිණේ.

“යාලුවන්ගෙ ලව් කඩලා විනාස කරන ජරා පුරුදු මට නෑ කියලා දන්නවනෙ. මං කොල්ලෙක් අල්ලා ගන්නෙ ඌ තනිකඩනම්.”

අනුත්තරාට දේවල් පැහැදිලි කරන්නට හදිසියක් නොමැත. ඇය ඒ වෙනුවට සෙනුරිට කඩා පනින්නට තීරණයක් ගත්තා ය. ඒ කාරණා දෙකකට ය. එකක් ලාවන්‍යාගේ ඉස්සරහ ගෙදර කොල්ලා කොල්ලෙකු නොවේ. අනිත් කාරණාව ඔහු සේතුපතිගේ අහලකින් තියන්නට අමාරු ය.

“මේ මනුස්සයා කොල්ලෙක් වුණේ කවද්ද බං. හතලිහට දෙකයි පොරට. හා කමක් නෑ කියමුකො. අපිටත් තිහට දෙකයිනෙ. සීනි තාත්තෙක් කරගමු. මේ යකා සේතුපති වගේයැ. දුල්කර් වගේ හැන්ඩ්සම් නැතුවට සේතුපති ලස්සන මනුස්සයා ඈ.”

ඒ ප්‍රශ්නවලට උත්තර දෙන්නට පෙර අනුත්තරා ඔහුගේ රියට ගොඩ වුණු හේතුව පැහැදිලි කරගන්නට මිතුරන්ට ඕනෑ විය. ඔහු තමන්ගේ කාර්යාල සගයෙකු බව අනුත්තරා කියන්නේ නිවී සැනසිල්ලේ ය.එයත් එක්තරා අපූරු වැඩකි. තේජ ලාවන්‍යා ගැන අමුතු කැමැත්තක් පෙන්වන බව ද අනුත්තරා හෙළි කරන්නේ ඉතා ප්‍රීතියෙනි. නමුත් පාරමී එය ඒ තරම් සතුටක් ලෙස නොදැක්කා ය.

“ඒ වුණාට ඕව ලාවිගෙ ඔලුවට ඕනවට වඩා දාන්න එපා.”

ලාවන්‍යාගේ ඔලුවට එවැන්නක් වැටෙන්නට ඕනෑ බව අනුත්තරා සිතන්නී ය. ඇයට තනිකමෙන් පීඩා විඳින්නට ඉඩ දීම දෛවයේ ඉතා අකාරුණික තීරණයකි. එය පිළිගන්නට කවුරු කැමති වුවත් අනුත්තරා අකමැති ය. තනිව ජීවිතයට මුහුණ දෙන්නට හපන් තරුණියන් ඕනෑ තරම් සිටිය ද ලාවන්‍යාගේ ඒ ශක්තිය අල්ප බව අනුත්තරාට සිතෙයි. ඇය සමඟ ජීවිතය බෙදා ගන්නට කෙනෙක් ඉන්නටම ඕනෑ ය.

“භවන්තයගෙ ගෑනිට ළමයා ලැබෙන්නත් ළඟයි නේද?”

ඒ ඔහුගේ බිරිඳ නොවේ. අනියම් බිරිඳ බව පාරමී පැවසුවා ය. මේ කතා කරන්නේ හයේ පන්තියේ පටන් ලාවන්‍යා සමඟ ජීවිතය බෙදා ගත් මිතුරිය නොව ඇගේ නීතිඥවරිය බව දන්නා අනුත්තරා වාද කරන්නට නොගියා ය.

“භවන්තගෙ අනාචාර ඔප්පු වෙලා තියන වෙලාවේ ලාවිටත් එහෙම ලෙඩ පටලෝලා නිකං නඩුව නාස්ති කරන්න එපා. අනිත් එක තමා භවන්තයට වෙන ගෑනියෙක්ගෙන් ළමයෙක් හිටියා කියලා ලාවි ළමයෙකුත් එක්ක මනුස්සයෙක් බැඳ ගන්න ඕනද?”

මේ හදිසියේ තේජ ඇයව බැඳ ගන්නට ඇති ඉඩ නම් අල්ප බව අනුත්තරා කියන්නේ ඇඟටපතට නොදැනෙන්නට ය. නිර්වාන් මිස කිසිවෙකුත් ලාවන්‍යාට නොගැළපෙන බව සිතෙද්දී සෙනුරිට මේවාට හවුල් වෙන්නට නොසිතේ.  ඇය ඒ තීරණයේම එල්බ ගන්නට සිතුවේ පාරමී මතු කළ තර්කය හන්දාම නොවේ. තමන් දැන් අවලංගු කාසියක් බව ලාවන්‍යා ද සිතන හන්දා ය.

“මේ ඔයාටත් එක්ක මම කියන්නේ සෙනූ. සේතුපතිගෙනුයි නිර්වාන්ගෙනුයි මගෙත් වැඩි කැමැත්ත නිර්වාන්ට. හැබැයි ලාවන්‍යා ඉන්නේ ගිනි පෙල්ලෙන් බැට කාලා නෙවෙයි. මහා ලැව් ගින්නකට අහු වෙලා. ඒ හන්දා එයාව කනාමැදිරියටත් බය කරන එක යාලුවෝ හැටියට අපේ වගකීම.ආදරේ කනාමැදිරියෙක්වත් ගිනි පෙල්ලක්වක්වත් වෙන්න ඕනත් නෑ. ලාවන්‍යා අහසක හඳක් වෙන්නෝන කෙල්ලක්.”

පාරමී ඇගේ කතා කිරීමේ දක්ෂතාවයෙන් උපරිම ප්‍රයෝජන ගත්තා ය. මේවා අනෝජාම්මාට ඇහෙන හන්දා නිවස තුළට යන්නට අකමැති අනුත්තරා මිදුලේ අඹ ගහ යට ඉඳ ගන්නට තීරණය කළා ය.

“ආදරේ ගැන උඹලටත් වඩා මං හොඳට දන්නවා. නිර්වාන්ව, තේජව හැමෝම අපි ලාවන්‍යාට පෙන්නන්න ඕන. ඒ පිරිමි එයා ගැන උනන්දු වෙනවා කියලා පෙන්නන්න මිසක ආයේ ඉක්මනින් කසාදයක් කරවන්න නෙවෙයි. භවන්තයා ලාවිගෙ ඔලුව කාලා තියෙන්නෙ. එයා හිතන් ඉන්නේ එයා මහ අවලංගු ගෑනියෙක් කියලා. ප්‍රෝග්‍රෑම් එකේ උනත් සමහර වෙලාවට කියන දේවල් වලින් එයාගෙ වේදනාව මතු වෙනවා.”

අනුත්තරා එහෙම කියන අතර වැදගත්ම කොටස ඉන්පසු කියන්නට ඉතිරි කර ගත්තා ය. ඇය තේජව ඉතා සමීපව ඇසුරු කරන්නියකි. හරියටම බලද්දී ඒ ඇගේ සමීපම මිතුරෙකි.

“එහෙම යාලුකමක් තිබ්බට තේජ කිසිම දවසක ලියෝන්ගෙ අම්මා ගැන කියන්නෙ නෑ.අඩුම තරමේ මේ ළමයා බිත්තරේකින් ලැබුණු ගානට පොර ඉන්නේ. වෙන දරුවෝ අම්මා කතා කරපු කතාවක්වත් කියනවා.ඒත් ලියෝන් එහෙමවත් කියන් නෑ. මේ යුරෝපියන් රටක් නෙවෙයිනෙ තේජට ළමයෙක් ළමා නිවාසෙකින් අරන් සින්ගල් ඩැඩ් කෙනෙක් වෙන්න පුලුවන් වෙන.”

මේ ලෝකයේ භවන්තලා ඕනෑ තරම් සිටිති. නමුත් ඒ එක් එක් මුහුණෙනි.තේජ කියන්නේ ද තවත් භවන්ත කෙනෙකු වන්නට ඕනෑ තරම් ඉඩ තිබේ. මිතුරියට යළි පෑරෙන්නට නොදීම මේ කතාවේ වැදගත්ම කොටස බව අනුත්තරා සිතී ය.

“නඩුව තව වාරයක් දෙකක් යනකොට ඉවරයි. ඊටපස්සෙ ලාවිට ඕන තීරණේකට අයිතිය තියනවා. ඒත් අපි භවන්තට හුරේ දැම්මේ ඉස්කෝලෙ කෙල්ලො කාලෙදි. අපිට දැන් එහෙම කොල්ලො පිළි ගන්න බෑ. දික්කසාද වුණා කියලා අමුතු එකක් නෑ තමා. ඒත් ලාවි පෑරෙන්න බෑ. “

පාරමී ඇගේ අවංක අදහස පැවසී ය. තේජගේ රහස් හොයන්නට මාර්ගයක් ගැන අනුත්තරා කල්පනා කරන්නට ගත්තා ය. ඇය ඇගේ ඕනෑතරම් සම්බන්ධතා ගැන තේජට කියා තිබේ. නමුත් තේජ ලියෝන්ගේ අම්මා ගැනවත් නොකියන්නට ප්‍රවේසම් ය.

“මිනිස්සුන්ව මොනම විදියවටවත් තේරුම් ගන්න බැරි වෙලාවල් එනවා. ලාවිටත් මිනිස්සු ගැන ආයේ ආයේ හිතන්න කාලේ මේ. ඒ නිසා අපි එයාගෙ ඔලුවට විකාර නොදා ඉමු.”

තේජව ලාවන්‍යාට ජෝඩු කරන්නට සිතමින් ගේට්ටුවෙන් ඇතුළු වූ අනුත්තරා වගකීම් සහගත හඬකින් එසේ පැවසුවේ මේ ජීවිතය සමඟ සෙල්ලම් කරන්නට කාලයක් නොවන හන්දා ය. ලාවන්‍යා ගෙදර එන්නට වෙලාව කිට්ටු ය. අනෝජම්මාගේ කිරි තේ එකක් බොන අතරේ ඉතිරිය සාකච්ඡා කිරීම රාත්‍රියට කල් තබා මිතුරියන් නිවසට පිවිසිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles