පෙමාතුර -06

ඔහු මා වත්තන් කර ගෙන වාගේ රිදී පැහැති අසුන් පෙළ වෙත ආවේ ය. මා ව එහි හිඳුවා අසලක වූ වතුර ෆිල්ටරයෙන් කෝප්පයක් පුරවා වතුර ගෙනැවිත් මගේ මුවට ලං කළේ ය.

“චුට්ටක් බොන්නකො. ඉන්න මං ටිකක් මූණෙ ගාන්නං. එතකොට ඔය ගතිය හරි යනව”

මගේ මුහුණේ වතුර ස්වල්පයක් ගල්වා නැවත ඔහු කෝප්පය කසල බඳුනට දමා ආවේ ය. එතකොට මා කෙලින් ඔහු දෙස බැලුවේ ස්තූති පූර්වක දෑසකිනි. ඔහු ට මේ අනවශ්‍ය කරදරයක් බව දනිමි. ලෙඩෙකු රෝහල කරා ගෙන ආවා මදිවාට දැන් ඔහු ට තවත් ලෙඩෙකුට ආවතේව කරන්නට සිදු ව තිබේ.

“ආ යූ ඕකේ නව්…”

ඔව් යි හඟවන්නට හිස සලනා ගමන් මම ඔහු වෙනුවෙන් වාචික ව ස්තූතිය පුද කරන්නට ඒ අවස්ථාව කර ගතිමි.

“තෑන්ක් යූ වෙරි මච්. ඔයා ගොඩක් කරදර වුණා. ඇත්තටම කවදාවත් අමතක කරන්න බැරි උදව්වක් ඒක. ඔයා දැං යන්න. මට මැනේජ් කර ගන්න පුළුවන්”

“මැනේජ් කර ගන්න පුළුවන්ලු. දැක්කනෙ දැං..මට තව ටිකක් වෙලා ඉන්න පුළුවන්. දැන් ගෙදර කවුරු හරි එයිනෙ”

එවර ඔහු මඳහසක් පෑවේ ය. ඒ සිනහව මනබඳනා එකකි. ඒ සිනහව අතරින් ම මට ඇය සිහි විය. ඔහු ගේ අතේ එල්ලී කම්මුලක් සිප ගත් ඒ හුරුබුහුටි දඟකාර කෙල්ල සිහි විය.

” හිත කලබල කරගන්න එපා. අයිසීයූ දාන්නෙ වැඩි හොඳටනෙ”

මගේ මූණේ යම් ශෝකයක සේයා ඇඳී ගියේ වී නම්  ඊට හේතුව අම්මා ව දැඩි සත්කාර ඒකකයට ගෙන යාම ලෙස ඔහු අනුමාන කරන්නට ඇත. මම ද ඔහු ට එසේ ම සිතන්නට හැර බිම බලා ගතිමි.  හිස එසවූයේ ඉක්මනින් පාවහන් බිම වදිනා අඩි හඬ නිසා ය. සනෝජා පුංචි හා නදීරා ඉක්මන් ගමනින් ඇවිද එමින් සිටියහ. ඔවුන් දෙදෙනා ගේ ම මුහුණු වල වූයේ කලබලකාරී තිගැස්මකි.

“මොකද වුණේ කිසා…”

“අනේ පුංචි…අම්මව අයිසීයූ දැම්ම”

මම වහා අසුනෙන් නැගිට පුංචි ගේ පපුවට වාරු වුණෙමි. ඈ තුරුළේ අම්මා ගේ සුවඳ මට දැනිණ.

“අපි දෙන්නා එළියට යන වෙලාවෙත් අක්ක හොඳට හිටියනෙ. අසනීපයක් තියාගෙන කිව්වෙ නැද්ද මෙයා…”

“මං එනකොට රූම් එකේ බිම වැටිල. මට හිතා ගන්න බැරි වුණා මොකද්ද කරන්නෙ කියල. මං බැල්කනි එකේ ඉඳං පෙරේරා ආන්ටිට කතා කළා. මේ අයිය තමයි මගෙ කෑ ගැහිල්ලට දුවල ඇවිත් අම්මව හොස්පිට්ල් ගෙනාවෙ”

විසල් ද අසුනෙන් නැගිට සිටියේ ය. මම පුංචි ගේ තුරුලෙන් මෑත් වුණෙමි. පුංචි ඔහු දෙස බැලුවේ ස්තූතිවන්ත මඳහසකිනි.

“අනේ ගොඩක් ස්තූතියි”

“ඉට්ස් ඕකේ. මං හිතන්නෙ ඒ ආන්ටිලත් ගෙදර හිටියෙ නැද්ද කොහෙද..මාත් ඒ වෙලාවෙ හිටියෙ අද ශෝට් ලීව් එකක් දාල ආව නිසා. තව ටිකක් ලේට් වුණානං මීටත් වඩා සීරියස් වෙන්න තිබුණ”

මට ඔහු ව වැළඳ ගන්නට සිතුණ බව දිව්රා කිව හැක. ඒ වෙලාවේ මා ගෙදර ආවා වුණත් ඒ වෙලාවේ ඔහු නොසිටියා නම් කුමකින් කුමක් වන්නට තිබිණි ද? 

“මෙයත් දැන් ෆේන්ට් වෙන්න ගියා. මෙයා ගැනත් බලන්න වෙයි. එහෙනං මං දැං යන්නද…”

“තෑන්ක් යූ වෙරි මච්”

ඔහු පිටුපා යන දිගට ම, ඔහු නො පෙනී යන තෙක් ම මම බලා සිටියෙමි. නමුත් සිත් හි වූයේ හිස් කමකි. 

එදා රාත්‍රිය අප ගත කළේ රෝහලේ ය. ඒ තරම් දිග රාත්‍රියක් මගේ දිවියට ඒ උදා වූවා ම ය. අප තිදෙනා ගෙන් කිසිවෙකු ගේ ඇහැ පියවුණේ නැත. අපි රෝහල් කොරිඩෝරයෙහි සක්මන් කරමින් ඉතා අසීරුවෙන් තත්පර ගණන් ගෙවා ගතිමු. රැයක් කියන්නේ ඒ තරම් දිගු කාලයකට බව අලුතෙන් ඉගෙන ගතිමි. 

අයියා ද සිය බිරිඳ සමගින් රෝහලට විත් ටික වෙලාවක් සිටියේ ය. ඔහු කීවේ අපට ද ගෙදර යන ලෙස ය. අම්මා දැඩි සත්කාර ඒකකය තුළ සිටිනා නිසාවෙන් හෙට දිනයේ මිස ඇය වෙත යන්නට අවසර නො ලැබෙනු ඇති බව ද ඔහු කීවේ ය.

“එහෙනං කිසා ගිහිං රෙස්ට් කරන්න. අපි දෙන්න හොස්පිට්ල් එකේ ඉන්නං”

පුංචි යෝජනාවක් ගෙනාවා ය. නදීරා ද ඇය අනුමත කරමින් හිස වැනුවා ය. නමුත් මම එකඟ නොවුණෙමි.

“අම්ම නෝමල් වෙනකල් මං කොහෙවත් යන්නෙ නෑ”

මට තවත් පෙරැත්ත කිරීමක් පලක් නොවනු ඇති බව ඔවුන් වටහා ගන්නට ඇත. බලාපොරොත්තු වූවා සේ ම අප අතරින් එක් අයෙකුට පමණක් දැඩි සත්කාර ඒකකය තුළට යන්නට උදයේ අවසර ලැබිණ. ඒ අවස්ථාව හිමි වූයේ මට ය. කොළ පාට ලෝගුවක් ඇඟ ලා ගෙන මා අම්මා වෙතට සමීප වූයේ දෙවියන් ට නොව විසල් ට පින් දෙමිනි. ඔහු නොවන්නට මගේ අම්මා ට මොනවා වන්නට තිබිණි ද? 

හිතේ සතුටට ඇස් තෙත් වූ බව ඇත්ත ය. අම්මා මා දැක මඳහසක් නගා ගෙන මගේ අතක් අල්ලා ගත්තා ය. මම ඇගේ හිස පිරිමැද්දෙමි.

“මං ආයෙ ආවද කිසා…මන්නං හිතුවෙ යන්නම ගියා තමයි කියල”

“අම්ම දැන් ඕව කියන්න එපා. අම්මට සනීපයි. හොඳටම සනීප වෙනකල් අපි රෙස්ට් කරමු”

ඒ වගේ බැරෑරුම් අවස්ථාවකට ඒ වගේ වචන දියාරු වැඩි බව මම දනිමි. නමුත් මට ඊට වඩා හොඳ වචන ටිකක් සොයා ගත හැකි වූයේ නැත. අම්මා නිරුපද්‍රිත ව යළි අප අතර ඉන්නවා කියන සතුට මගේ හැඟීම් ඝණීභවනය කොට තිබුණා විය යුතු ය. 

එකැනට වී අම්මා ගේ හිස හා දෑත් පිරිමදිමින් සිටියා ට මම ඇය ට වැඩිපුර කතා කරන්නට ඉඩ නොදුණෙමි. ඇය සුවපත් බව විසල් ට කියන්නට ඇත්නම් හොඳ ය කියා ඒ වෙලාවේ සිහිපත් නොවුණා නොවේ. නමුත් අප අතරේ දුරකතන අංක හුවමාරු වීමක් හෝ සිදු වූයේ නැත. 

පුංචිලා ට ගෙදර ගොස් විවේක ගන්න ය කියා මම දිගට ම රෝහලේ රැඳුණෙමි. අම්මා ව දවල් දැඩි සත්කාර ඒකකයෙන් ඉවත් කොට කුටියකට දැමුණි. නමුත් ඇය සම්පූර්ණ සුවය ලබා තිබුණා නොවේ. නිතර නිතර ඇය වෛද්‍යවරුන් ගේ පරීක්ෂාවට ලක් විය. දියර ආහාර පමණක් ඇයට ලබා දෙන ලෙස ද නිර්දේශ වූයේ ය. හිතේ ගැස්ම සම්පූර්ණයෙන් පහ නොවුණත්, මෙය ද සැනසිලිදායක තත්වයක් වූයේ ය. 

හැන්දෑවේ පුංචි රෝහලට ආවේ මාව ගෙදර යැවීමට ය. නමුත් මම අදි මදි කළෙමි.

“පිස්සුද ඔයාට…ඔයා දැං ගෙදර ගිහිං රෙස්ට් කරන්න. මෙතන හිටියොත් එක දිගට නිදියන්න වෙන්නෙ නෑනෙ. දැන් ඔයාට ටයර්ඩ් කිසා. හොඳ ළමයා වගේ ගෙදර යන්න”

මා ගෙදර ආවේ පුංචි ගේ බල කිරීමට ය. මගේ තනියට නදීරා ගෙදර සිටියා ය. දිය නා ගෙන මම අම්මා ගේ අසනීපය ගැන කියා සිදත් අංකල් ට පණිවිඩයක් යැව්වෙමි. විසල් සඳැල්ලෙහි ඉන්නවා පෙනුණෙන් මම දොර හැර ගෙන මගේ සඳැල්ලට ගියෙමි. 

“කොහොමද…”

මා දුටු වන ඔහු ඇසුවේ ය.

“අම්මව රූම් එකකට දැම්ම. දැන් ටිකක් හොඳයි. ඔයාට ගොඩක් පින්…”

ඒ අවංක ස්තූතියක් බව ඔහු ට දැනෙන්නට ඇත. ඔහු මඳ වෙලාවක් එක එල්ලේ මදෙස බලා ගෙන සිටියේ ය. ඒ බැල්මෙහි අරුත මට දැනුණේ නැත. 

“කෑවද…”

එය ඒ තරම් වටිනාකමක් නැති සාමාන්‍ය ප්‍රශ්නයක් සේ කෙනෙකුට දැනෙන්නට පුළුවන. නමුත් මට එය මගේ හදවත ගැඹුරට ම දැනුණේ ය. උන් හිටි ගමන්, අප ගැන කිසි ම කිසි දෙයක් නො දැන ම අප බෙහෙවින් සමීප වූවා බඳු බැඳීමකි එය. 

මම නැහැයි කියන්නට හිස සැළුවෙමි. 

“ඔයාට වීක් වෙන්න දෙන්න එපා. කාල හොඳට නිදියන්න”

නැවතත් මා තුළ උපන්නේ ඔහු වැළඳ ගෙන හඬන්නට ඇත්නම් යන සිතිවිල්ල ය. ඒ හැඟීම මා අසරණ කරන්නට පෙර, ඔහු එහි සිටියදී ම ඇස් වලින් පමණක් සමු ගෙන මම කාමරයට විත් දොර වසා ගතිමි. නමුත් මට දැනුණේ තව දුරටත් අප දෙදෙනා යම් අදෘශ්‍යමාන වූ රැහැනකින් එකිනෙකා බැඳී පවතිනවා සේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

ශරදාකාසේ -28

නිශාමනී ඒ සැඳෑවේ ගෙදර පැමිණියේ අලුතෙන් ම ශාන්ත වූ හිතකින් කියා කිව හැක. ඇය ශාරද සමගින් කතා බහකට ගියේ ම නැත. ඇගෙන්...

අමිහිරි විවාහ ජීවිතය නිසා විඳ වූ බිරිඳක්.

මනෝ උපදේශිකා ප්‍රබුද්ධිකා විජේතුංග මෙනෙවියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙන් පළ කරන්නකි.වෘත්තිය ආචාර ධර්ම රැකෙන පරිදි සත්‍ය කතාවේ නම් ගම් සහ යම් සිදුවීම් වෙනස්...

හිමගිරි අරණ -13

"මොන දේ වුණත් ඔහේ දරා ගන්න පුරුදු වුණාම ජීවිතේ ලේසියි රවිඳු." හිමාෂා එසේ පැවසුවේ ඇගේ ජීවිතය ඇසුරිනි.එයට කිසිත් නොකියා...

ශරදාකාසේ -27

නිශාමනී අරමුණකින් තොර ව ඔහේ බලා සිටියා ය. නටුවෙන් ගිළිහෙන කහ පාට ඇහැල මල් පෙති කැරකී විත් ඇගේ හිස මත ද පතිත...

අපිට අපි

"අම්මේ බඩගිනියි." පුංචි නෙතුක එහෙම කියාගෙන මුළුතැන්ගෙයට එබෙනකොට චමරි පුතා දිහා බලා ගෙන හිටියේ දරා ගන්න බැරි වේදනාවකින්.උයන්න මොකුත්ම...