යන්න බැරි ගමන්.

“අම්මා ආයේ එන්නෙ නැද්ද ආන්ටි..”

මං ගැස්සුණේ ඒ හඬට.භාවනාගේ පුංචි දුව මගේ අතින් අල්ලාගෙන අහන්නෙ අපිට උත්තර හොයා ගන්න අමාරු ප්‍රශ්නයක්.ඇත්තටම උත්තර නැති ප්‍රශ්නයක්.

“අපි බලන් ඉමුකො පුතේ.අම්මා එයි..”

මං එහෙම කිව්වේ කරන්න දෙයක් නැතිකමට.බොරු කියලා පුංචි දුව රවට්ටන එක හොඳද, එහෙම කියන එක ළමා මනෝ ව්ද්‍යාවට මොනතරම් ගැලපෙනවද වගේ දේවල් මට මතක් වෙන්නේ නෑ.ඒත් මට මතක් වෙන එකම දේ ආයේ භාවනා එන්නේ නැහැ කියන එක විතරයි.

“ඔයාට මතකද අපේ ඔෆිස් එකේ ගිහානිගේ ෆියුනරල් එක..”

ඒ තවත් වෙන්වීමක්.ඒත් අපි ඒකට සූදානමින් හිටියා.ගිහානිට පිළිකාවක් වැළඳුණු දවසේ ඉඳලා ඒ ආරංචිය අහන්න වෙයි කියලා අපි හිතුවා.ඒ ආරංචියට අපි වගේම එයාගේ ගෙදර අයත් සූදානම් වුණා කියලයි මට හිතෙන්නේ.

“ගිහානි වේදනාවෙන් මිදුණු එක සැනසීමක් තාරකා..”

මට ඒ වචන මතකයි.ගිහානිගේ සැමියා හිත හදා ගත්තේ එහෙම.අවසන් ගමන් යන්න සූදානම් වෙලා සාලේ මැද්දේ නිදාගෙන හිටපු අම්මා දැන් බට සහ කටු වලින් මිදිලා වේදනාවක් නැතුව ඉන්න නිසා සතුටින් ඉමු කියල ඔහු දරුවන්ට කියනවා මට මතකයි.

ඒ දරුවෝ අම්මා අවසන් ගමන් යන හැටි දැක්කා.අම්මා සාලේ මැද කතාවක් නැතිව නිදාගෙන ඉන්න හැටි දවස් දෙකක් පුරා දැක්කා.අම්මාගේ ආදාහනයට සහභාගී වුණා.ඉතින් ලෝක සත්‍යය අවබෝධ කරල දෙන්න අපහසු වුණේ නෑ.

ඒත් භාවනා?

“තාරු, රුචිරගෙ ඔෆිස් එකේ කෙනෙක් ලෙඩේ හංගගෙන ඔෆිස් ඇවිත්නෙ.රුචිරටත් සනීප නෑ..”

භාවනා දවසක් උදේ පාන්දර කතා කළේ මේ කාලේ අපි අහන්න අකමැතිම පණිවිඩයක් කියන්න.

“මගෙ හිතට හරි නෑ..ඔයාලත් පරිස්සමින්.මේ මොකුත් නොදැන මං ඔයාලා එක්ක වැඩ කළානෙ..”

භාවනා කියන්නේ ළතැවිල්ලෙන්.ඒත් ඇය එහෙම පසුතැවුණට රුචිරගේ කාර්යාලයේ හිටිය ඇවිදින බෝම්බය එහෙම පසු නොතැවෙන බව මම දන්නවා.සමහර මිනිස්සුන්ට අනුන් ගැන හිතන්න අමතකයි.

“දැන් මේ කෙහෙම්මල් ලෙඩේ නැති කෙනෙක් නෑ භාවනා.ඔයා පරිස්සමින් ඉන්නකො.ඕක ඔයාලට හැදෙන් නෑ..”

අවුරුදු එකහමාරක් තිස්සේ අහන කතා අමතක කරලා මම කීවේ භාවනාගේ හිත හදන්න.ලෝකය මේ ගිලී ගිහින් තියෙන්නේ දරුණු වෛරසයක.මෙතැනින් ගොඩ ඒම වගේම ජීවිතය බේරා ගැනීම කියන්නෙත් අභියෝගයක් කියලා අපි නොදන්නවා නෙවෙයි.ඒත් අනුන්ගේ ජීවිත අනතුරේ දැමීම තවමත් සමහරුන්ට හරිම සරල දෙයක්.

“තාරකා..ටෙස්ට් එක කරා.අපි පොසිටිව්.දුව විතරක් නෙගටිව්.”

භාවනා ඒ ආරංචිය දුන්නේ සතුටින්.තමන් මොනතරම් වේදනාවක් ඉහිලුවත් තමන්ගේ දරුවා ඒ වේදනාවෙන් නිදහස් වීම අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට සතුටක්.

“ඔයත් ඉක්මනින් සනීප වෙයි..”

මම භාවනාට නිතරම මැතිරුවේ ඒ කතාව.

ලෝකය දවසින් දවස කොවිඩ් කියන වචනය මොන තරම් භයානකද කියන කාරණාව ඉගෙන ගන්න කාලය උදා වෙන්න අරන්.කවුරුහරි අසනීපයි කියන කතාව අපි දන්න කෙනෙක් අසනීපයි කියන තැනට එන්න ගත වුණෙ හරිම සුළු කාලයක්.කවුරුහරි යන්න ගිහින් කතාව අපි දන්න කියන කෙනෙක් ගිහින් කියන තැනට එන්න ගත වුණෙත් බොහොම කෙටි කාලයක්.

“අනේ තාරු..භාවනා..”

ඒ මූසල ආරංචිය ආවේ එහෙමයි.දවස් විස්සකටත් වඩා සටන් කරපු භාවනා සටන අත් ඇරලා.පුංචි අහස්‍යා දුව අතාරින්න එයා හිත හදා ගත්තේ කොහොමද කියලා මට හිතා ගන්න බෑ.

“අඩුම තරමෙ අපිට එයාව දකින්නවත් නෑ..”

මේ ඒ තරම් නරක කාලයක්.අපි ගිහානිට සමු දුන්නේ එයාගේ ලස්සන මුහුණ අත ගාලා.එයා හුඟාක් ආස කරපු ලිලී මල් පොකුරු එයාගේ අත් මැදින් තියලා.එයාගේ ගෙදර අය බදාගෙන දුක බෙදාගන්න එයාලට උදව් කරලා. ඉර බහින හවසක එයාට පොළොව යට නිදා ගන්න ඉඩ හැරලා.

ඒත් භාවනා!!

මමත් කාර්යාලයේ මිතුරියන් දෙදෙනෙකුත් එයා යන හැටි බලාගෙන හිටියේ ආදාහානාගාරයෙන් එළියට වෙලා.දුම්‍ රොටු අහසට නැගෙනවා.

“පරක්කු වෙලා තියෙන්නේ අනේ..මං දුවනව..”

සමහර දවස්වලට පුංචි දූ බලන් ඉන්න නිසා හවසට ඉක්මනින් ගෙදර දුවනවා වගේම කලබලයකින් එයා අහසට යන්න යනවා.එයාව දකින්න ඉඩක් නැතුව අපි ඒ දුම් වළලු දිහා බලාගෙන ඉන්නවා.අඩුම තරමේ අපි අඬනවද කියලවත් එයාට පෙනෙන්නේ නෑ.ෆේස් මාස්ක්, ෆේස් ෂීල්ඩ් වලට වැහුණු අපේ මුහුණු අහසේ ඉන්න එයාට පේන්නේ නෑ.

“මේක පුදුම නරක කාලයක්.අපි ආදරේ කරන මිනිස්සු යන්නේ අපිට මූණවත් පෙන්නන්නෙ නැතුව.”

භාවනා නැති ගෙදරට ඇවිත් යන්න ආව අපිට ඒ තමයි හිත හදා ගන්න අසීරුම දහම.භාවනා යන්න ගියේ අපිට මුහුණක්වත් නොපෙන්වා.මළ ගෙදරක් කියන්නේ මිනිස්සු පිරුණු තැනක්.මෙතැන අපි පස් දෙනෙක්වත් නෑ.

“තාරකා අක්කේ,අපේ අයියා..”

රුචිරගේ මල්ලි අපි ඉස්සරහ පුටුවකින් ඉඳ ගත්තා.අත් අතර මුහුණ ඔබාගෙන සචිර මල්ලි අඬනවා.රුචිරට භාවනා නැති ලෝකය මහ මූසල පාළු එකක් කියලා හිතෙන්න ඇති.

“දෙයියනෙ පොඩි කෙල්ල..”

කවුද එහෙම කියනවා මට ඇහුණා.මං ආපහු වාහනේට නැග්ගේ අවසිහියෙන් වගේ.

“ජීව්තේ හැටි ඔහොම තමයි..ආවනම් යන්න වෙනවා.”

ගිහානි යන්න ගිය දවසක අපි එහෙම කතා වුණා මට මතකයි.ඒත් අපි දැන් ඉන්නේ හරියකට ගිහින් එන්නම් කියන්නවත් බැරි කාලෙක.

මං එනතුරු බලන් ඉන්න මගේ පුංචි දූව මට මතක් වෙනවා.මේ වසංගතය මාවත් අරන් ගියොත්!! මට මගේ දරුවව දාලා යන්න බැරි වග මට හිතෙනවා.මං ඒ තරම් ශක්තිමත් නැහැ.මට භාවනා වගේ මේ සටන අත හරින්න බෑ.භාවනාට අත හරින්න මොහොතකට කලින් හරි අහස්‍යාගේ ඇස් මතක් වෙන්න ඇති.මට ඒ සිතුවිල්ල වලක්වා ගන්න බෑ.භාවනාට යන්න වුණේ යා යුතු ගමනක් නෙවෙයි.ඒත් ඇය ගිහින් ඉවරයි.

අපි ඉන්නේ කිසිම බලයකින් මුදලකින් ජීවිතය ඉල්ලා ගන්න බැරිතැනක. ප්‍රවේසම් වෙලා හති වැටුණු මට පළමුවෙනි වතාවට මගේ ජීවිතේ ගැන ලෝබ හිතෙන්න පටන් ගත්තා.ඒ මං වෙනුවෙන් නෙවෙයි.මගේ දූ වෙනුවෙන්.
ගියාද කියලාවත් අපහැදිලි ගමනක් මට යන්න වුණොත්?

“අපේ අම්මා ආයේ එන්නේ නැද්ද?”

එයා අහයි.සමහරවිට ජීවිතේ පුරාම මඟ බලන් ඉඳියි.

ගිහින් එන්නම් කියන්නවත් ඉඩ ඉස්පාසුවක් නැති දවස් ඇවිල්ලා.ප්‍රවේසමෙන් ඉන්න.භාවනා වගේ අත් නොහැර මේ සටන දරා ගන්න.අපි වසංගතයකට පරාද වෙන්න ඕනෑ නෑ.

මට ඔබට කියන්න තියෙන්නෙත් එච්චරයි.

More Stories

Don't Miss



Latest Articles

පෙමාතුර – 38

ආදරණීය කිසා, මම මුල ඉඳන් අගටත් ආයෙ අග ඉඳන් මුලටත් හැම දේම මතක් කරනවා. මතකය වැරදි නැත්නම් මගෙන් වරදක්...

තනිකම

"ඔයා හැමදාම තනියම ඉන්නද හදන්නේ නංගි?" අක්කා එහෙම අහනකොට කසුනි හිටියේ අමතර පන්තියකට අවශ්‍ය ප්‍රශ්න පත්තර වගයක් සූදානම් කරන...

අකල් වැහි -17

"මං ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද?" එසේ අසන තරුණයෙකුට ඉනික්බිතිව අසන්නට ඇති සාම්ප්‍රදායික ප්‍රශ්නය සිතිජ ඇසුවේ නැත.ඒ වෙනුවට ඔහු හිතට දැනෙන...

පෙමාතුර -37

මගේ බෝඩින් පාස් එකෙහි සඳහන් ව තිබූ අංකය සහිත අසුන කවුළුවක් අයිනේ එකක් වීම දෙවියන් ගේ කරුණාව මත සිදු වූ දෙයකි. හෑන්ඩ්...

අකල් වැහි -17

හිරුදි ඒ රාත්‍රියේ සිටියේ නින්ද අහිමිව ය.ඒ ගර්භනී අපහසුතා හන්දා නොවේ. උදෑසන අපහසුතා හැරෙන්නට ඇයට තවම එතරමට අසීරුතා නොවේ.නමුත් හෘද අභ්‍යන්තරයෙන් පැන...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content