මා හද මට නැති විට -38

“සමහර සිදුවීම් මිනිස්සුන්ට ආයේ කිසිම දවසක ඒ දේ නොකර ඉන්න බලපෑම් ඇති කරනවා ලාවන්‍යා.”

ඔහු පැවසුවේ ළතැවිල්ලෙනි. කෞෂිගේ නික්ම යාමෙන් පසු ඔහු හුන්නේ බිඳෙන් බිඳ හිත හදා ගන්නා අතර ය. ලියෝන්ට අම්මා කෙනෙකු විය හැකි ගැහැනියකට ජීවිතයේ තැනක් දෙන්නට ඔහුට සැබෑ උවමනාව ඇති වී තිබිණ.ලාවන්‍යා ඔහුට ආදරය කරන වග අනුත්තරා නොකියා කියද්දී ඒ ආදරය පිළිගන්නට  ඔහුට නොසිතුණා නොවේ. නමුත් ඔහු කාලයට ඉඩ දුන්නේ ය.

ඒ ලාවන්‍යා සිටින්නේ හොඳටෝම බිඳීමක බව දැන ගෙන ය. 

බිඳුනු ගැහැනියකට ආදරය කරන්නට ඔහුට තිබුණේ බියකි. ඇගේ බිඳුණු තැන්වල වැදී තමා තුවාල වන්නට ඉඩ ඇති බවත් ඒ තුවාලවලින් ගලා යන රුධිරයෙන් ලියෝන් පවා පෙඟෙන්නට ඉඩ ඇති බවත් ඔහු ඇදහී ය.

ඔහු ලාවන්‍යාව පිළි නොගන්නා ලෙස සිටීමට මුල් වූ එකම කාරණාව එය පමණක් නොවේ.

ඔහුට ඇය අධ්‍යයනය කරන්නටත් ඕනෑ විය!

අවසාන තෝරා ගැනීම හොඳම තේරීමක් කරන්නට සිතමින් ඔහු ලාවන්‍යාව කාර්යාල කටයුත්තකට තෝරා ගත්තේ ය. ඒ ඇය අධ්‍යයනය කරන්නට සිතමිනි.

“අනුත්තරා උඹට කැමති නේද?” 

පසන් එහෙම අසද්දී පවා ඔහු පැවසුවේ එකම කාරණාවකි. ඔහුට අවශ්‍ය ගැහැනු ගතිගුණ ඇති ගැහැනියකි. ලාවන්‍යාට ඒ සුදුසුකම නම් ඇති වග තේජ තරයේ විශ්වාස කළේ ය. කෙසේ හෝ තේජගේ දවස් ගෙවුණේ ආදරය කිරීම ගැන පස්මහ බැලුම් බලන්නට ය. ඒ බැල්ම අවසන් වූයේ සුඛාන්තයකින් නොවේ. කෞෂිගේ ආගමනයකිනි.

“ගෑනියෙක්ට වෙනස් වෙන්න, සර්පයෙක් වගේ පන්න පන්නා පලි ගන්න මහා කාලයක් යන්නේ නෑ කියල මට තේරුම් ගියේ කෞෂි නිසා.හොඳටම බිඳිලා ආයෙත් ගොඩ නැඟිලා ඉන්න මට ඔයාවවත් විශ්වාස කරන්න අමාරුයි ලාවන්‍යා.”

ඔහු එහෙම කියද්දී ලාවන්‍යාට තවත් කියන්නට කිසිවක්ම වූයේ නැත. ඔහු ප්‍රතික්ෂේප කරන්නේ නම් බැගෑපත් වෙමින් ළඟ රැඳෙන්නට යාම කරන්නට ඕනෑම නැති දෙයකි.

“ඔයා භවන්තට දාලා යන්න එපා කියලා වැඳ වැටි වැටි පස්සෙන් ගිය හින්දා තමයි ඔයාගේ ප්‍රශ්නෙ මේ තරමට සංකීර්ණ වුණේ. මං නම් කියන්නේ ආයේම නම් කිසිම දවසක ඒ වරද කරන්න එපා. නළලෙ කොටලා තියා ගන්න.කාටවත් ආදරේ ඉල්ලලා පිංසෙණ්ඩු වෙන්න එපා.”

පාරමී දික්කසාද නඩුව අවසානයේ එසේ පැවසූ අන්දම ලාවන්‍යාට මතක ය. ඒ ආකාරයටම හොඳ කොල්ලන්ට පිංසෙණ්ඩු වීමට ඉඩ දීම වරදක් බව සෙනුරි තරහින් පැවසූ අයුරු ද ඇයට මතකයේ තිබේ.

“ආදරේ කරන්න කෙනෙක් හිටියත් නැතත් අපිව දරාගන්න යාලුවෝ ඉන්න ඕන කියලා මං හැමතිස්සෙම කියන්නෙ ඔය හින්දා. ඒ යාලුවෝ ෆේස්බුක් එකේ රත්තරං,පැටියෝ, මැණික කියලා කමෙන්ට්ස් දාන උන් නොවී ඇත්ත ජීවිතේ අඬන්න උරහිස දෙන අය වෙන එක පුදුමාකාර විදියට වටිනවා.”

ඇය තමන්ටම කියා ගත්තා ය. මේ වතාව ද හඬමින් මිතුරියන් වෙත යන්නට වෙන බව සත්‍යයකි. නමුත් මිතුරියන් ඇය දරා ගන්නා වග ඇයට විශ්වාස ය.

“ඔයාගේ ආදරේ පිළි ගන්න මට බෑ තමයි ලාවි. ඒත් ඔයා  එක්ක මමයි පුතයි හැමදාම  ඉන්නවා කියලා ඔයාට අපි කියන්න ඕන නෑ. මං හිතන්නෙ ඔයා ඒක දන්නව.”

තේජ එසේ කියද්දීලාවන්‍යා සිනාවක් පැළැන්දා ය.

“තමන්ගේ කියලා තේරෙන මිනිස්සු අපි ඔයාට ඉන්නවා කියලා කියන නොකියන එකේ වෙනසක් නෑ. එයාලා වැඩ කරන විදියෙන් නෙමෙයි බැල්මකින් පවා ඒක තේරෙනවා.මං ඔයාලා ගැන දන්නවා.”

එසේ පැවසූ ඇය සොම්නස් සිනාවක් නැඟුවා ය. දික්කසාද වී පැමිණ අවලංගු කාසියක් වී ජීවිතය ගෙවන ගැහැනු ඇය ආසියාතික සිනමා නිර්මාණ වල ඕනෑ තරමට දැක තිබේ. නමුත් ලෝකය දැන් එතරමට පටු නැති බව සිතන්නට ඇය කැමති ය. දික්කසාදය කියන්නේ සියල්ලම අහිමි වීම නොවේ. ඇතැම්විට අලුත් ආරම්භයක් වන්නට ද පුළුවන. ඒ හන්දා දික්කසාදයකට පසු ඇය බැඳුණු මුල්ම මිනිසා ඇයව ප්‍රතික්ෂේප කිරීම මහා ලොකු දෙයක් වන්නේ නැත.

ආදරේ කියන මාතෘකාව ඉස්සරහ අපි මාර විදියට අසරණ වෙනවා.”

ට්ගේජ එසේ පැවසුවේ කටුවක් ළයෙහි ඇනුණු තරම් දැනෙමින් තිබු වේදනාව දැන් විශාල තුවාලයක් වී ඇති හන්දා ය. ඒ වේදනාවේ මූලාරම්භය කෞෂි ද ලාවන්‍යදැයි ඔහු සිතී ය.

“අපි අසරණ වෙන්න ඕනෑම නෑ. මට ඔයාට කියන්න ඊට වඩා දෙයක් තියනවා.”

ලාවන්‍යා එසේ පැවසුවේ මන්දස්මිතයක් ඇතිව ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles