නිලැසි -16

නිලැසි දිගින් දිගටම ප්‍රේමය යැයි අන්ධකාරයක ගිලෙන්නට ගත්තා ය.විෂ බඳුනක් දෝතින්ම තුරුළු කර ගත් ඈ ජීවිතය ක්‍රම ක්‍රමයෙන් දිය කර දමන්නට ඒ විෂ බඳුනට ඉඩ හැරියා ය.ප්‍රේමය එබඳු යැයි සිතා හුන් ඈ තිසරුට ජීවිතය තුළ කිසිම ඉඩක් නොදෙන්නට ප්‍රවේසම් වූවා ය.

“කොහොමද ඔයාගේ එක්සිබිෂන් එක බබා?”

නිවසේ නොරැඳෙන නිලැසිගෙන් තිසරු විමසූයේ ඈ ඔහුට ද වඩා කාර්යබහුල වූ හන්දා ය.ඇය තිසරු දෙස බලා සිටියේ නොරිස්සුම් දෑසකින් ය.

“දවසම ගාමන්ට් වල ප්‍රශ්නයි,ෂෝ රූම්ස් වල ප්‍රශ්නයි විසඳලා ඒක අහන්නත් ඔයාට මතක් වෙනවද?”

නිලැසිගේ චෝදනාව තිසරු පුදුමයකට ඇද දැමී ය.ඈ දෙස ඔහු බලා සිටියේ පුදුමයට පත් දෑසකිනි.

“මං ඔයාගෙන් කොච්චර අහනවද නිලූ..ඔයාට මොනවද කෙරෙන්න ඕන කියල..”

තිසරු එය නිතරෝම විමසන්නෙකි.ඔහු ඇය ගැන නොසලකා හරින්නෙකු නොවේ.විය යුතු දේ ගැන විමසිලිමත්ව නිතරම ඇය ගැන සොයා බලන්නට ප්‍රවේසම් වෙන්නෙකි.එහෙත් නිලැසි නගන්නේ අමුතු චෝදනාවකි.

“අහ අහ ඉන්න ඕනද? මං ඔයාගෙ වයිෆ්නම් ඔයාට තේරෙන්න ඕනනෙ මට අවශ්‍ය දේ..”

තිසරු නිලැසිගේ කර වටා අතක් දමාගනිමින් ඈ තමා සමීපයට ගත්තා ය.සර්පයෙකු සිරුරේ දැවටුණාක් මෙන් අප්‍රසන්න බවකින් නිලැසි වෙලී ගියා ය.එරන්දගේ දහඩිය සුවඳ තරමටමවත් ඇයට තිසරුගේ මිලාධික විලවුන් සුවඳ නොදැනේ.

“නිලූ..මට ඔයාව තේරෙන් නෑ.මට ඔයා කරන දේවල්වලට බලෙන් උදව් වෙන්න බෑනෙ.ඒවා ආට් දේවල්.කරන කෙනා මිසක් අහක ඉන්න මිනිස්සු බලෙන් අයිඩියාස් දීලා වැඩක් නෑනෙ.”

තිසරු ඔහුට දැනෙන සත්‍යය බෙදා ගත්තේ ය.එහෙත් නිලැසිට මේ මොහොතේ අවශ්‍ය වූයේ ගැටුමක් ඇති කර ගන්නට ය.

“නිලූ,නිම්න මල්ලිගෙ ආට්ස් වැඩට රශ්මි උදව් කරනවද?එයාගේ ෆීල්ඩ් එක වෙනස්.එයා ඒවට අත දාන් නෑ.දිගැසිගේ සින්දු තෝරන්න දුලාජ් එනවද? එයා ඩොක්ට කෙනෙක්..”

තිසරු දිගින් දිගටම කරුණු පැහැදිලි කරන්නට යත්න දැරී ය.නිලැසිට අවශ්‍ය ස්ථානය ද මෙය විය.

“ඒක එයාලට හොඳ ඇති.තමන්ට උදව් නැති පාට්නර්ස්ලා.ඒත් මට දැන් දැන් දැනෙනවා මට එහෙම අවශ්‍ය නෑ කියල..”

තිසරු නිලැසි දෙස බලා සිටියේ පුදුමයෙනි.තමන් ඉතා ප්‍රීතිමත් ජීවිතයක් ගෙවන බව නිම්නට සහ දිගැසිට පවා පෙන්වන්නට උත්සාහ කරමින් සිටි නිලැසි දැන් තමන්ගෙන් ක්‍රමයෙන් ඈතට යන බව ඔහුට නොදැනුණා නොවේ.

“මට ඕන මගෙ වැඩට උදව් වෙන මනුස්සයෙක්.”

නිලැසි බෝම්බය අතහැරියා ය.එහෙත් තිසරුට එය බෝම්බයක් නොවී ය.

“ඔයාට ෆොටෝස් ගන්න යන්න ඕන උනාම කියන්න.මං ඕන වෙලාවක එන්නම්..”

නිලැසි පිටතට යන්නට හැඳ ගන්නට වූයේ ඔහු පවසන දේ කනකට නොගනිමිනි.වඩා සුන්දර විවාහ ජීවිතයක අයිතිය ඇත්තේ තමන්ට බව ලෝකයටම පෙන්වන්නට සමාජ ජාලා තුල ඇගේත් තමන්ගේත් ඡායාරූප පිරවූ දිගැසි දැන් තමන් හා ඡායාරූපයක්වත් නොගන්නා බව ඔහුට සිහි වූයේ හදිසියේ ය.තිසරු අතීතයේ සැරිසරන්නට සිතමින් නිලැසිගේ ෆේස්බුක් ගිණුමට ගියේ ය.

පුදුමයකි!

මංගල ඡායාරූපය ඇරෙන්නට දැන් එහි කිසිම තැනක ඔහු නැත.නිලැසි ඒ සියල්ලක්ම ඉවත් කර හමාර ය.

“නිලූ.”

ඔහු මන්ද්‍ර නමුත් දැඩි ස්වරයකින් ඈ ඇමතී ය.

“ඇයි ෆේස්බුක් එකේ මගෙයි ඔයාගෙයි ෆොටෝස් නැත්තේ?”

තොල් ආලේපන ගල්වමින් හුන් නිලැසි කැඩපතට හිනැහුණා ය.

“බොබ් මාලේ කියල තියනව තිසරු කතාවක්.කෙනෙකුට ජීවිතේට එකම එක වතාවක්,මං කියන්නේ එකම එක පාරක් එයාගෙ මුළු ලෝකෙම මුළු ජිවිතේම අනිත් පැත්ත පෙරලන්න පුළුවන් කෙනෙක් මුණගැහෙනවලු. අන්න එතකොට එයා ළඟ මට මං වෙන්න ඔයා පුලුවන්ලු.මට මං හුස්ම ගන්නවා කියල දැනෙනවලු..ඔයා මට එහෙම දැනෙන මනුස්සයා නෙවෙයි.ඒකයි.”

තිසරු වහා යහනෙන් නැගී සිටියේ ය.තමන් නොදන්නා දුරකට නිලැසි පිය මනිමින් සිටීදැයි ඔහුට අනියත සැකයක් ඇති වූයේ ය.

“කවුද ඌ?”

ඔහු ඝර්ජනා කළේ යක්ෂාරූඪව ය.දැඩි ලෙස විශ්වාස කළ බිරිඳ මෙසේ පිටුපාමින් සිටින බව ඔහු සිහිනයකිනුදු සැක නොකළේ ය.නමුත්‍ යමක් සිදු වෙමින් පවතින බව හඟවන්නේ ඇය ය.ඔහුට ඉහිලුම් නොතිබුණේ එබැවිනි.

“ඇයි මං ඒක ඔයාට කියන්නේ?”

නිලැසි කිසිම බියක් හෝ තෙතමනයක් නැති හඬකින් විමසී ය.

“එහෙම එකෙක් ඉන්නව නම් ඒ ප්‍රසිඩන්ට්ගෙ පුතෙක් උනත් මට වැඩක් නෑ.මං ඌව මරනව..”

නිලැසි එහෙත් තිගැස්මක් නැති බැල්මකින් බලා සිටියා ය.එරන්ද කියන්නේ තිසරු වැනි හිස් මිනිසෙකු සමඟ සසඳන කළ උසස් තරුණයෙකු බව ඇයට සිතෙන්නට විය.

“ඔයා මිසිස් මොරවක තමයි.ඉතින් මොකෝ.ලෝකෙට එහෙම පෙනුණාවෙ.ඒ වුණාට ඔයා මගෙ ආදරී.මං ඔයාගේ පෙම්බරා..”

ඔහු කියන්නේ එවැනි දෑ ය.නමුත් තිසරු මේ පෙළෙන්නේ තම බිරිඳ වෙනත් ආදරයකයැයි සැකයෙන් සහ වේදනාවෙනි.ඊර්ෂ්‍යාව සහ ආදරයට ඇත්තේ අන්ත දෙකක් බව නිලැසි සිතුවා ය.

“හිතට මොකක් හරි ආවම නිකං රට පෙරළන විකාර කියන්න එපා බබා.”

හදිසියේ සන්සුන් වූ තිසරු නිලැසි වැළඳ ගත්තේ ය.ඔහු තමන්ගෙන් ගිලිහෙමින් ඇතැයි සන්තෝස වූයේ මොහොතකට බව හැඟුණු නිලැසිට ඇති වූයේ වේදනාවකි.

“ඔයාට මගෙන් උදව් ඕන නම් ඒවා මට කියන්න.ඒ නැතුව නිකං වෙන සම්බන්දකම් තියනව වගේ විකාර කියන්න ඔයා පොඩි ළමයෙක් නෙවේනෙ.මං කැමති ඔයා අපේ දේවලුත් හොයල බලනවට.ඒත් ඔයා චිත්‍ර අඳින්න,ෆොටෝග්‍රැපි කරන්න,ලියන්න තරම් බිස්නස්වලට ආස නැති නිසා මං බල කරන් නෑ..”

තිසරු කියවාගෙන යයි.මේ මිනිසාගේ සුවිසල් වෙලඳ සමාගම් ගැන නිලැසිට අබ ඇටයක දෙයක් දැන් නොදැනේ.ඇය දැන් හිඳින්නේ එකම සිහිනයක ය.

ඒ එරන්දට සමීපව ජීවත් වීම ය.ඔහුගේ සෑම ගීතයකම රචිකාව වීමේ උමතුවක ය.ඈ සතු සෑම මුදලක්ම වියදම් කරමින් උසස් මට්ටමේ රූප රචනා ඔහු වෙනුවෙන් නිර්මාණය කර දීමේ සිහිනයක ය.

ඇගේ හැම සිහිනයකට හිඳින්නේ එරන්ද බව නිලැසි සිතුවේ තිසරුගේ උණුසුමින් මිදෙන්නට වෑයම් කරමිනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles