නම නොදන්නා කඳු පන්ති 14

ජන සුවඳ පුවත්පතේ පලවන කතිරයේ කවුලුවෙන් එහා ලිපි සංග්‍රහය හරහා පලවන ලිපි පිළිබඳව මේ වන වන විට මහත් ආන්දෝලනාත්මක පරිසරයක් ගොඩනැගී තිබෙනවා.ඒ සම්බන්ධව අපි අද එම පුවත්පතේ හිමිකරු කේසර වීර වික්‍රමගෙන් අදහස් විමසුවා.

ඔබ පුවත්පතේ කතිරයේ කවුලුවෙන්  එහා ලිපි සංග්‍රහය ලියන්නේ කවුද..

ශ්‍රීනිශ්‍රී ….

ඒ ඇයගේ අන්වර්ථ නාමයයි.ඇයි ඇයගේ ඇත්ත නම හෙළි කරන්නේ නැත්තේ…

ඒක පෞද්ගලික කාරණයක්..

මෙම ආන්දෝලනාත්මක ලිපි පෙළ ලියන්න ඔබ අවසර දුන්නද..

අපි සාමාන්‍යයෙන් පත්තරේ වැඩ කරන කතුවරුන්ට බාධා පමුණුවන්නේ නැහැ.ඒක ඔවුන්ගේ ස්වාධීනත්වයට කරදරයක්..

ඒ කියන්නේ මේ ලිපි සම්බන්ධයෙන් ඔබට වගකීම බාරගන්න බැහැ..

මෙහෙමයි.අපි බොරු පළ කරන්නේ නැහැ .හොඳට හොයලා බලලා ඇත්ත නම් විතරයි පළ කරන්නේ.

ඒ කියන්නේ මෙම ලිපි වලින් යම් අසාධාරණයකට ලක් වූවන් ඉන්නවා නම් නඩු මඟට උනත් යන්න පුළුවන්..

ඔව් අනිවාර්යෙන්ම.මං හිතන්නේ නැහැ කවුරුවත් නඩු කියයි කියලා.මොකද අපි ඔප්පු කරන්න බැරි කිසි දෙයක් මේ පත්තරවල ලියලා නැහැ..හිතලු ලිව්වෙ ඉස්සර.දැන් එහෙම බැරි බව ඔයාලා හැමෝම දන්නවා.

එතකොට මේ ලිපි ලියන කතුවරුන්ට ජීවිත තර්ජන ඇවිත් තියෙනවා කියලා ඔබ දන්නවා.ඒ සම්බන්ධයෙන් ඔබ දරන මතය මොකක්ද..

මම කතුවරුන්ට පඩි ගෙවනවා.ඔවුන්ට නිදහසේ වැඩ කරගෙන යන්න ඉඩ දෙනවා.ඉන් එහාට මං මොනවද කරන්නේ..
ආරක්ෂාව සපයන්න මං ආරක්ෂක ලේකම් නෙමෙයි . ඇත්ත කතා කරන මිනිස්සුන්ගේ ආරක්ෂාව සපයන එක ආණ්ඩුවේ වැඩක්.ල්

ශ්‍රීනිශ්‍රී ගේ ත්‍රිකෝන ජූඩ් ගැන ලියවී ඇති ලිපිය ආන්දෝලනාත්මකයි.එම ලිපියට සම්බන්ධ වී ඇති පුද්ගලයා සෘජුව සමස්ත ජනප්‍රජාවටමයි තර්ජනය ඉදිරිපත් කරන්නේ.ඒ වගේම කතුවරිය විසින් අධිකරණය ගැන  පවා යම් අවස්ථාවකදී විවේචනාත්මකව කරුණු ඉදිරිපත් කරනවා. ඒ වගේම එම ලිපියේදී ත්‍රිකෝණ ජූඩ්  නමැති අපරාධකාරයා ළඟදීම නිදහස් වෙන බවකුත් ප්‍රකාශ කරනවා.

ඔව්.ශ්‍රීනිශ්‍රී  ලියල තියෙන්නෙ ඇත්ත. එයා බොරු ලියලා නැහැ.ඇත්තම කියනවනම් මට ඔය ලිපිය බලන්න හම්බවුණේ නැහැ.ඒ හින්දා මට ඔය සම්බන්ධයෙන් කිසිම වගකීමක් ගන්න බැහැ…

මෙම දරුණු ගනයේ අපරාධකාරයා දැනට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින කෙනෙක්.ඇය මෙහි සාකච්ඡාව පවත්වන්නේ ඔහුගේ යහළුවෙක් සමග.ඔහුව නිදහස් කරනවා කියන තීරණය ඉතාමත් බලගතු දැඩි තීරණයක්.ඒක රජයේ කිසිම පිළිගත් නිලධාරියෙක් කරන ප්‍රකාශයක් නොවේ.සාමාන්‍ය පුද්ගලයෙක් කියන මෙවැනි ප්‍රකාශයක් ප්‍රසිද්ධ පුවත්පතක පළ කරන්න පුළුවන්ද..

ඉතින් එහෙමනම්..සාමාන්‍ය පුද්ගලයෙක් කරපු ප්‍රකාශයක් ගැන ඕගොල්ලෝ එච්චර කලබල වෙන්නේ ඇයි..

ඒ කියන්නේ ඔබ මේ  ශ්‍රීනිශ්‍රී කියන කතුවරිය ලියල තියෙන ලිපිය අනුමත කරනවා..

ඇය ඇයට ලබාදීලා තියෙන නිදහසෙන් යම් දෙයක් ඔබ වෙතට ඉදිරිපත් කරලා තියෙනවා.ඒක කියවල බලල තීරණය කරන එක ඕගොල්ලන්ගේ වැඩක්…

මම එදා ටීවී එක බලාගෙන ජීවිතයේ දෙවැනි වතාවට වෙවුලමින් උන්නා . පළවෙනි වතාව කේසර සම්මානය ගත්තු වෙලේ වාණි ළඟින් වාඩිවෙලා ඉන්නවා දැකපු වෙලාව.දැන්..මේ සම්බන්ධයෙන් කේසර කිසිම වගකීමක් භාර ගන්න බැහැයි කියලා ප්‍රකාශ කරන වෙලාව..

හරිනෙ… හරිනේ… දැන් උබට සනීපයි නේ..ඔය අහගත්තේ…

ලොකු අම්මා එක දිගටම කියවගෙන යනකොට මම මොනාද කියන්න ඕනේ කියලා මට තේරුනේ නෑ…මගේ මුළු ඇඟම සීතල වෙලා කියලා විතරක් මට තේරුණා.කොහෙන් හරි මට නොතේරෙන තැනකින් මාව පැටලැවිල කියලා විතරක් හිතුනා.
මේ විදිහට කේසර වට කරලා අහපු හැම ප්‍රශ්නයකින්ම පලපුරුදු දේශපාලඥයෙකුටත් වඩා ගැලවිලා ඇගේ පතේ නොගෑවී උත්තර දුන්නේ කොහොමද කියලා මට හිතාගන්න බැරුව ගියා.මම ආදරේ කරපු මම වශී වෙලා හිටපු ඒ මහා ආදරණීය පිරිමි ආත්මය කොතැනක හරි සන්ධිස්ථානයකදී නැතිවෙලා තිබුණා.මට ඒක තේරුම් ගන්න සෑහෙන කාලයක් ගියා.කේසර කියන විදිහට මම කේසරගේ පත්තරේ පඩියට වැඩ කරන්න ඕනේ නැහැ.මට තනියම උනත් පත්තරයක් කරන්න පුළුවන්.මොකද…කේසර කියන විදිහට ලියන අපිට සම්පූර්ණ නිදහස එයා දීලා තියෙනවා.එයා අපිට පඩි ගෙවන එක විතරයි කරන්නේ.කිසිම වගකීමක් මේ සම්බන්ධයෙන් අරගන්නේ නැහැ කියන එක තමයි ඒ කියන්නෙ.එහෙමනම් තවදුරටත් මම ජන සුවඳ පත්තරේ වැඩ කරන එකේ තේරුමක් තියෙනවද..එච්චර ස්වාධීනව වැඩ කරන්න මට අයිතියක් දීලා තියෙනවා නම් මට පුළුවන් ෆ්‍රීලාන්සර් රයිටර් කෙනෙක් වෙන්න …

අඩේ බානු.. උඹ දැන් නිව්ස් බැලුවද..

ම්ම්ම්..

මොනවද බං අරු අර කිව්වේ…

තාරුට දෙන්න ඕනේ උත්තරය හිතාගන්න මට බැරුව ගියා.

ඒ කතා කළේ කේසර නෙමෙයි තරු…

එහෙනං.. හොල්මනක්ද…

නෑ . .. ඒ කතා කළේ කේසරගේ ඇග ඇතුලේ ඉන්න වානි …

අනේ මේ … උඹේ අන්ඩර දෙමල අපිට තේරෙන්නේ නැහැ. මං උබට මුලින්ම කිව්වනේ..

තාරු කොච්චර හොඳ යාළුවෙක් වුණත් මට ඊට එහා වචනයක්වත් කතා කරන්න හිතුනේ නැහැ.මේක අපේ මිනිස්සුන්ගේ මහා කැත ගතියක්.මොනවා හරි දෙයක් වැරදුනාම මම කිව්වේ අපි කිව්වේ කිය කියා හිත් වේදනාවට පත්වෙලා ඉන්න මනුස්සයව තවත් තලන එක තමයි කරන්නේ.ඒ මනුස්සයාට ඉන් එහාට මොකක්ද කරන්න ඕනේ කියන එක ඔලුවට දෙන එක නෙමෙයි කරන්නේ.තමන් මේ ප්‍රශ්නය කලින් දැක්කා තමන්ට තමයි මේ ලෝකයේ අංක එකට පේන්නේ කියලා පෙන්නන්න හදන අවස්ථාවක් තමයි මේක. මම වචනයක්වත් කතා නොකර පස්සෙ කතා කරමු කියලා තාරුගෙන් දුරකථනයෙන් ගැලවුණා.

කෝල් එකක් ගන්න පුලුවන්ද..මම දැනුයි ලෑන්ඩ් කලේ..නිවුස් ඇලට් දැක්කා.

අසාද් ගේ වට්සැප් මැසේජ් එක දැක්කහම මොන්ටිසෝරිය ඇරෙනකං දුක හිර කරගෙන ඉන්න පොඩි එකෙක් වගේ දැල් දැල් ගේට්ටුවෙන් එහා පැත්තේ අම්මා හිටගෙන ඉන්නකොට මෙහා පැත්තෙ ඉඳන් කෑ ගහලා අඬන පොඩි එකෙක් වගේ මට අඬන්න හිතුනා.

මම අසාද් ට කෝල් එකක් ගත්තා.

මම ලෑන්ඩ් කලේ දැන්. එයාපෝට් එකට ආපු ගමන් මං බැලුවේ නිව්ස්ඇලට්.මට හිතාගන්න බැරුව ගියා අරූ කතා කරපු විදිහේ දැක්කහම…මට හිතා ගන්න පුළුවන් ඔයා ඉන්න අප්සට් එකේ තරම…
බානු ……බානු …..ඔයා අඩනවද..

මං හිතන්නේ මට ඒ වෙලාවේ කතා කරගන්න බැරුව ගියා.අඬන සද්දය කටින් පිට නොවුනට ඇඳගෙන හිටපු රාත්‍රී ගවුමේ කර වටේට තෙමෙනකන් කඳුළු වැක්කිරිලා තිබුණා.

අසාද් .. මට ඔයාට තුරුල් වෙන්න ඕනේ…

මගේ කටින් ඒ වචනය කොහොම කොයි වෙලාවෙ පිටවුනාද කියන්න මමවත් දැනගෙන හිටියේ නෑ. එකපාරටම එහෙම වචනයක් මගෙන් පිටවුනා කියලා මට හිතාගන්න බැරුව ගියා..

බානු ….

අසාද් කතාකලේ හුස්ම පිරිච්ච රහසිගත කටහඬකින්.
මගේ පපුව පිච්චිලා ගියේ මීට බොහොම කාලයකට කලින් කේසර ත් ඔය විදිහටම විස්කි ඩ්‍රෑම් තුන ගන්නකොට මගේ කණට කොඳුරනවා.එක අතකට ඒ සිහියෙන් ඉන්න වෙලාවට නෙමෙයි… ඒත් අසාද් …

බානු … හිත ශක්තිමත් කරගන්න .
මම හෙට කොහොම හරි ආපහු ලංකාවට එනවා.මම දැන් ඉන්නේ  නිවයෝර්ක් වල..

එපා.. අසාද් ..එපා… මට එකපාරට එහෙම කියවුනා.සොරි…මේ ප්‍රශ්නය කොහොමත් එක දවසින් ඉවර වෙන ප්‍රශ්නයක් නෙමෙයි වගේ..

හරි .. ටිකක් ඉවසීමෙන් ඉන්න .. කොහොමත් මං හෙට එනවා. මාස පහකින් මම නිවාඩු ගත්තේ නැහැ.ඒ හින්දා මට හෙට එන්න පුළුවන්.

වෙලාව රෑ දොළහමාරත් පහුවෙලා තිබුණා. කවදාවත් නැතුව මං ඔහේ කල්පනා කර කර හිටියා.හෙට මම වැඩට යනවද නැද්ද..කේසරට ඇයි මම කතා කළේ නැත්තේ..මේ වගේ දාහක් දේවල් මට ඔහේ හිතෙන්න පටන් අරන් තිබුණා.මට ඉවසගෙන ඉන්න බැරි තැන වෙලාව බලන්නෙත් නැතුව මම කේසරට කතා කළා.

බානු මොකද මේ…

කේසර මට නින්ද යන්නෙත් නැහැ.මොකක්ද ඔයා අද කරපු වැඩේ…

මොකද්ද ..

ඔයා අද දීපු වොයිස් කට් එකේ තේරුම මොකද්ද..

ඒකෙ ඇති වැරැද්ද මොකක්ද..

ඒ ප්‍රශ්නවලින් සම්පූර්ණයෙන්ම ඔයා ගැලවිලා උත්තර දුන්නේ..හරියට මගේ උවමනාවට ලියපු දෙයක් වගේ ඒක..

බානු .. දැන් මෙතන එච්චර ප්‍රශ්නයක් වෙලා නෑනේ.මිනිස්සු ඒ ගැන කතා කරන එක කොච්චර හොඳයිද. ඒක අපේ පත්තරේටත් හොඳයි නේ..  අනික ඔයාට ලස්සන නමකුත් දැන් ගොඩනැගිලා තියෙන්නේ.ඔහොම බය නම් මේ රස්සාව කරන්න බැහැ. නළු නිළියන්ගේ පල්හෑලි ලියන සීනිබෝල රයිටර් කෙනෙක් ට  වඩා ඔයාගේ නම ඉස්සරහින් වැටිලා තියෙන ප්‍රතාපවත් ගතිය බලන්න.වොයිස් කට් එකේදී මම කිව්වනම් මේ සිද්ධිය සම්පූර්ණ වගකීම මම භාරගන්නවා කියලා ඔයාට ඇතිවෙන තත්ත්වය මොකක්ද.ඔයා නිකම්ම නිකං පඩියට ලියන රයිටර් කෙනෙක්  විතරක් වෙනවා ..මම මෙච්චර දෙයක් ඔයාගැන හිතලා කරනකොට ඇයි ඔයා හැමතිස්සේම වැරදි විදියට මං ගැන හිතන්නේ..

මට වචනයක්වත් කතා කරගන්න බැරුව ගියා.ඇතිවෙලා තියෙන තත්ත්වය සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හරවන්න කේසරට ලස්සනට කතා කරන්න පුළුවන් කියලා විතරක් මට තේරුණා.කොහොමත් පිටපත් ලියන්න අපිට පුරුදු කරපු මනුස්සයට කතාව වෙනස් කරන්න අපි කියලා දෙන්න ඕනෙ  නැහැනේ…

බානු … හෙට උදේම ඔෆිස් එකට එන්න.. වානි  හදිසියේම ඊයේ ලන්ඩන් ගියා.ආයිත් එන දවසක් කියන්න බැහැ.එයාගේ මොනාද ෂූටින් වගයක් තියෙනවා කියලා.මේවා මෙහෙම මේ ටෙලිෆෝන් එකෙන් කතා කරන්න පුළුවන් දේවල් නෙමෙයි.ඔයා මට කොච්චර ළං වෙලා හිටපු කෙනෙක් ද… හරි.. හරි .. ඒවා කතා කරලා වැඩක් නැහැ.
හෙට වැඩට එන්න ….. රත්තරං …

මාව හිරිවැටිලා ගියා….

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles