මල් තුහින – 43

“සේරම දේවල් පැත්තකින් තියලා මං මේ අපේ වටේ ඉන්න ගෑනු අය ගැන හිතලා බැලුවා. එක අතකින් බලනකොට අපි හැමෝටම කතාවක් තියෙනවා රුවී.”

රුවිනි පැවසූ කතා නිසා උත්පලා සම්බන්ධ කෝපය සිඳී යද්දි මලිති මුමුණන්නට වූවා ය.

“ගෑනු අපට විතරක් නෙමෙයි පිරිමින්ටත් කතාවක් තියෙනවා. සමහරු ඒවා ගැන කතා කරනවා. සමහරු ගල් පිළිම වගේ තමන්ගෙ කතන්දර තමන්ගෙ අස්සෙම හංගගෙන ඉන්නවා. ඒවත් එක එක අයගෙ තෝරගැනීම්. ඒත් තමන්ගේ හිතේ තියෙන දේවල් කිසිම කෙනෙකුට නොකියා ගල් පිළිමයක් වගේ හංගගෙන ඉන්න නවීන් වගේම රෑට කාපු දේ ඉඳලා තුහිනගේ අඩුපාඩු වෙනකම්ම ෆේස්බුක් එකේ ලියන උත්පලාත් එයාලට කරගන්නේ හානියක් කියලයි මට හිතෙන්නේ. කිසිම දෙයක් නොකියා තමන් අස්සෙ හිර වෙනවා වගේම හැමදේම හැමෝටම කියන්න යන එකක් තමන්ට කරගන්න මහා විනාසයක්.”

රුවිනි එසේ කියද්දී මලිති වේදනාත්මක මඳහසක් නැඟුවා ය. නවීන් කිසිවක් ම කිසිවෙකුට කියන මිනිසෙකු නොවේ. අඩුම තරමේ ඔහු මේ මොහොතේ හිඳින්නේ සියදිවි නසා ගන්නා තීරණයක දැයි  කියන්නටවත් මලිති නොදන්නී ය.

“මට හිතෙනව තව ටික දවසකින් මට පාරට බහින්න රෙදි එහෙම ඕන නැති වෙයි කියලා.”

උත්පලාගේ කෙළවරක් නැති සටහන් ගැන කතා කරද්දි උස් හඬින් හිනැහෙමින් තුහින එසේ කී අන්දම මලිති සිහි කළා ය.ඔහු ඒ හිනැහෙන්නේ බොරුවට බවත් සැබෑවටම ඔහු හිඳින්නේ ඉතාම වේදනාවෙන් බවත්  ඇයට හොඳින්ම වැටහේ.

“උත්පලා ඔයත් එක්ක ජීවත් වෙන කාලේ පෙන්නුවෙ පුදුමාකාර සුන්දර ජීවිතයක්. ඒක රඟපෑමක් විතරම විතරයි කියලා එයා කියන එකෙන් ඇත්තටම පාරට බහින්න රෙදි ඕනෙ වෙන්නෙ නැත්තේ එයාට කියලයි මට හිතෙන්නේ. අනිත් එක ඔයාව මේ කාලෙ ඇතුළත සෝෂල් මීඩියා වල ටොපික් එකක් වෙලා තියෙයි. ඒ උනාට සෝෂල් මීඩියාවල ටොපික් එකක් වෙලා ඉන්න පුළුවන් උපරිම දවසයි දෙකයි තුහින. ඊට පස්සේ ආයෙම කවුරුම හරි හේතුවක් මවනව.”

මලිති එසේ කීවද ඇය එක් දෙයක් දැන සිටියා ය. උත්පලා ඇයට සිතෙන සෑම වාරයක් පාසාම තුහින ට මොනවා හෝ දොසක් නැඟීම සිරිතක් කර ගන්නට ඉඩ තිබේ.

“තුහින ඩ්‍රග්ස් වලින් රිකවර් වෙන ගමන් නේද?”

රුවිනි ඇයට ඇති විශාල ම හිසරදය ගැන විමසුවා ය. ඇයට තුහින ගැන ඇති එකම බිය එපමණකි. ඒ විශාල වරද නොවුවා නම් ඔහු හොඳ මිනිසකු බව ඇය හොඳින්ම දන්නී ය. මලිති හිස වනා පිළිතුරු දුන්නා ය.

“තුහින නම් රිකවර් වෙයි. ඒත් මට හිතෙන්නේ උත්පලා නම් රිකවර් වෙන්න කාලයක් යයි. ඔයා වෙනුවෙන් හරි දුව වෙනුවෙන් හරි එයාම වෙනුවෙන් හරි තමන් ආයෙත් ගොඩ නැගෙන්න ඕනෙ කියලා තුහින ට ලොකු උවමනාවක් තියනව.ඒත් උත්පලාට මේ වෙලාවේ ඕනේ ජනප්‍රිය වෙන්නයි තුහිනට රිද්දන්නයි විතරයි. ඒක මොන තරමේ වැරැද්දක් ද කියලා තේරෙන දවස ඉක්මනට එන්න කියලා විතරයි මට නම් කියන්න තියෙන්නේ.”

රුවිනි එසේ පැවසුවේ දෑස් මානයේ පෙනෙන පැහැදිලි සත්‍යය එය වන හන්දා ය.නමුත් ඒ කතාව එදින සවසම ඉෂ්ට වන බව ඇය දැන සිටියානම් රංගනීගෙන් දොස් අසමින් ගෘහ නිර්මාණ ශිල්පිනියක ලෙස රැකියාවේ යෙදීම වෙනුවට දේවාලයක් දැමීමට ඇය ඉටා ගනු ඇත.

“අනේ රුවී ඔයා නිදිද?” 

මලිතිගේ ඇමතුමට රුවිනි අවදි විය. කොහොමටත් මලිති හිඳින්නේ හොඳ මානසික සෞඛ්‍යයකින් නොවන නිසා ඇගේ ඕනෑම ඇමතුමක් ඕනෑම වෙලාවක පිළිගැනීම රුවිනි සිරිතක් කර ගෙන සිටියා ය.ඇතැම් මොහොතක කිසිවක්ම නොකියා මලිති උස් හඬින් හඬා වැටේ. එහෙත් ඒ හැඬීම අසා හිඳීම ම මිතුරියට සහනයක් බව දන්නා රුවිනි ඇයව දරා ගත්තා ය.

“උත්පලා ලයිව් එකක් ඇවිල්ලා මොනාද පෙති වගයක් බොනවා.”

මලිති එපමණක් පවසා දුරකථනය විසන්ධි කළා ය.නින්දෙන් අවදි වීම නිසා දුරකථනයෙන් ෆේස්බුක් යන්නටත් උත්පලාගේ පිටුව සොයාගන්නටත් රුවිනිට තරමක වෙලා ගත විය. 

“මං ඇයි උසාවි යන්නේ? ආදරෙන් මාත් එක්ක හිටිය මනුස්සයගෙ තියන ජහජරා වැඩ හින්දා.මම උසාවිය පලාතක නොගිහිල්ලා ඩිවෝස් එක ගත්ත කියමු. ඒත් දෙයියනේ තව ටික දවසකින් මං දික්කසාද ගෑනියෙක්නෙ. මට මේක දරාගන්න බෑ මට මේ හැමදේම කියන්නේ ඔයාලා. ඔයාලා මම මැරෙන විදිය බලාගෙන ඉන්න.”

උත්පලා එසේ කියමින් පෙති වර්ගයක් එකින් එක පානය කරමින් සිටී. මේ ගැහැනියට නවතින්නැයි ප්‍රතිචාර දක්වන පිරිසට එකතු වන්නට රුවිනිට නොසිතිණ. හෙට වෙද්දි මේ වීඩියෝව අන්තර්ජාලයේ සුළිසුළඟක් ව හමා යන බව ඇය හොඳින්ම දනී. අනිත් කාරණා සියල්ල පසෙක තැබුවත් ශේන්යා උස් මහත් වෙන දවසක් උදා වේ. ඒ දවස වෙනුවෙන් ක්‍රියාත්මක වන්නට ඇය සිතුවා ය. ඇය  තුහිනට ඇමතුමක් ගත්තේ ඒ වෙනුවෙනි.

“රෑ කෝල් කරාට කලබල වෙන්න එපා. මමයි මලීයි දෙන්නම හොඳින්. මට කියන්නකො උත්පලා ඉන්න තැනක් ඔයා දන්නවද දන්නවනම් මට ලොකේෂන් එවන්න.”

මේ රාත්‍රියේ පාත් වූ හෙණ ගෙඩිය කුමක්දැයි තුහින සිතද්දී දුරකථනය පිරෙන තරමට මඟ හැරුනු ඇමතුම් ද  පණිවිඩ ද ඔහු දුටුවේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles