වතුර වලින් ඔබට මේ තරම් දේවල් ලැබෙනව කියල දැනගත්තොත් ඔබ පුදුම වේවි…

අපේ සිරුරේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය පවත්ව ගන්න සිරුර විජලනයෙන් තොරව පවත්වා ගැනීම අත්‍යාවශ්‍යයි කියල ඔබ දන්නවනෙ. 

සාමාන්‍ය වැඩිහිටි පුද්ගලයෙක් දිනකට වතුර කෝප්ප 9 ත් 11 ත් අතර ප්‍රමාණයක් පානය කළ යුතුයි කියල නිර්දේශ කරල තිබ්බත් කාලගුණික, දේශගුණික වෙනස්වීම් සහ අසනීප වගේ තත්වයන් වලදී මේ ප්‍රමාණයේ වෙනසක් වෙන්න පුළුවන්. 

සිරුරට අවශ්‍ය ජල ප්‍රමාණය නිසිලෙස නොලැබී යාමෙන් සිරුරේ උෂ්ණත්වය ඉහළ යාම, වකුගඩු වල ගල් ඇතිවීමේ අවධානම, චින්තන ශක්තිය දුර්වල වීම වගේම මනෝභාවයන්ගේ වෙනස්වීම් (mood swings) ඇතිවෙන්න පුළුවන්. 

ශරීරයට ලැබිය යුතු නියමිත ජල ප්‍රමාණය ලැබීමෙන්, 

ශරීර උෂ්ණත්වය නියමිත ලෙස පාලනය කිරීම,

සන්ධි නිසිලෙස චලනය කිරීම සඳහා උපකාරී වීම,

සුෂුම්නාව සහ අනෙකුත් සංවේදී පටක ආරක්ෂා කරන්න වගේම

මුත්‍රා කිරීම, දහඩිය දැමීම, මලපහ පිටකිරීම වැනි ක්‍රියා වලට දායක වීම මඟින් ශරීරයේ විෂ ඉවත්කිරීම වගේ අතිශය වැදගත් කාර්‍යන් රාශියක් ඉටු වෙනවා.

හොඳයි දැන් අපි බලමු, ශරීරයට අවශ්‍ය උපරිම ප්‍රතිඵල ලබාගන්න නම්, හරියටම ජලය පානය කරන්නෙ කොහොමද කියල?

මඳ රස්නෙ වතුර බොන්න

මද රස්නෙ වතුර වලට ඔබේ සිරුරේ පටක වල ගැඹුරටම අවශෝෂණය වීමේ හැකියාව තියෙනවා. 

සීතල වතුර වලට වඩා ශරීරයේ පිරිසිදු කිරීමට වගේම ආහාර ජීර්ණය නිසිපරිදි පවත්ව ගන්නත් මඳ රස්නෙ වතුර වලට පුළුවන්. 

නමුත් සීතල වතුර සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස වගේ ගැටළු වගේම ආහාර ජීර්ණයේ ගැටළු ඇතිකරන්නත් බලපානවා. 

උණුසුම් ජලය බීමට අපහසු නිසා බීමට සුදුසු ප්‍රමාණයට නිවාගත් ජලය පානය කිරීම වඩා යහපත් වෙන්නෙ මේ හේතු නිසයි. 

වාඩිවෙලා වතුර බොන්න

ඔබ වතුර බොන්නෙ හිටගෙන නම් ඒ හේතුව නිසා ඔබේ ශරීරයේ තරල සමතුලිතතාවයට බාධා එල්ල කරනවා. 

එමඟින්, අනවශ්‍ය තරල සිරුර තුළ එකතු වී පසුකාලීනව ආතරයිටීස් වගේ තත්වයන් ඇති වීමටත් හේතු වෙන්න පුළුවන්. 

ඒවගේම ඛණිජ ලවණ අවශෝෂණය සහ ජීර්ණය කිරීමේ ක්‍රියාවලියටත් මෙයින් බලපෑම් ඇතිවෙන්න පුළුවන්.

ඒ නිසා වාඩිවෙලා ජලය පානය කිරීම වඩා සුදුසුයි. 

හෙමින් වතුර බොන්න

එක්වරම විශාල වතුර ප්‍රමාණයක් බීගෙන බීගෙන යනවට වඩා කුඩා ප්‍රමාණයේ වතුර නිතරම පානය කිරීම වඩා සුදුසු වෙනවා.

එක්වරම පානය කරන ජලය මුත්‍රා මඟින් එක්වරම පිටවී යන නිසා වැඩි කාර්‍යභාරයක් සිරුර තුළ ඉටු නොකලත් සෙමින් ජලය පානය කරොත් පෝෂ්‍ය පදාර්ථ සහ ඛණිජ ළවණ වලට නිසිපරිදි අවශෝෂණය වීමටත් නිසි පරිදි ක්‍රියාත්මක වීමටත් ඉඩ ලැබෙනවා. 

එයින් වකුගඩු වලට තමන්ගෙ ක්‍රියාකාරීත්වය නිසිපරිදි පවත්ව ගන්න ලැබෙන්නෙත් හොඳ සහයක්. 

දවස පටන් ගන්න වතුර වීදුරුවකින්

රාත්‍රී කාලයේදී ශරීරයේ එකතු වී ඇති විෂ ඉවත් කරන්න වගේම ආහාර ජීර්ණ පද්ධතිය පිරිසිදු කර දවස ගත කිරීමට ඔබේ සිරුර සූදානම් කරන්නත් හිස්බඩ පානය කරන මඳ උණුසුම් වතුර වීදුරුව හොඳ සහයක් ලබාදෙනවා. 

බර අඩු කරගන්න වගේම පරිවෘත්තීය ක්‍රියා නිසිලෙස පවත්ව ගන්නත් මෙයින් හොඳ සහයක් ලැබෙනවා. 

කෑම කද්දි වතුර බොන්න එපා

කෑම කද්දී වතුර බීමෙන් අපි ආහාරයට ගන්න ආහාර ජීර්ණය කරන අම්ල තනුක කිරීම සිදුවෙනවා. ඒ නිසා ආහාර ජීර්ණය නිසිපරිදි සිදුවෙන්නෙ නැහැ. 

අවශ්‍යම නම් වතුර උගුරක් දෙකක් පානය කරන්න ඔබට පුළුවන්. 

ආහාර ගෙන අවසන්ව ටික වේලාවකට පසුව වතුර ස්වල්පයක් පානය කරන්න ඔබට පුළුවන්. නමුත් වැඩි ජල ප්‍රමාණයක් පානය කරන්න නම් ආහාර ගන්න පැයකට කලින් හෝ ආහාර ගෙන අවසන්ව පැයකට පසුව පානය කරන ලෙසයි ආයුර්වේදයේ සඳහන් වෙන්නෙ. 

ඔන්න ඉතිං මේ විදිහට වතුර බීවොත් නම්, වතුර බීමෙන් ලැබෙන ප්‍රතිඵල හරියටම ලබාගන්න ඔබට පුළුවන්. 

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles