සුම්බා නැටුවම කෙට්ටු වෙනවද ?

අපි හැමෝම නිරෝගි සිහින් සිරුරක් වෙනුවෙන් සිහින දකිනවනෙ.

ඒ සඳහා ඔබේ සිරුරේ අනවශ්‍ය බර අඩුකර ගැනීම ඉතාම වැදගත්.

නිරෝගී ලෙස සිරුරේ බර අඩු කරගන්න නම් ඔබ දෛනිකව පරිභෝජනය කරනවාට වඩා වැඩි කැලරි ප්‍රමාණයක් දහනය කල යුතු වෙනවා. 

ව්‍යායාම සහ ආහාර පාලනය කියන ක්‍රම දෙකම හෝ ක්‍රම දෙකෙන් එකක් ඔබට මේ සඳහා තෝරගන්න පුළුවන්. ව්‍යායාම මඟින් කැලරි දහනය වීම වගේම ආහාර පාලනය මඟින් පරිභෝජනය කරන කැලරි ප්‍රමාණය අඩුවීම සිදුවෙනවා. 

කැලරි දහනය කරන්න පුළුවන් ව්‍යායාමයක් විදිහට සුම්බා නර්තනය අද වෙද්දි බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය වෙලා තියෙනවා. 

සුම්බා නර්තනය කියන්නෙ ලතින් නර්තන ආභාශය ලැබූ ඇරොබික් (aerobic) ව්‍යායාමයක්.

ඉතිං අද අපි ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ ඇත්තටම සුම්බා නර්තනයේ යෙදීමෙන් සිරුරේ අනවශ්‍ය බර අඩුකරගන්න හැකියාවක් තියෙනවද කියලයි. 

පැයක් සුම්බා නැටුවොත් කොච්චර කැලරි ප්‍රමාණයක් දහනය වෙනවද ?

නිවැරදිව සුම්බා නර්තනයේ යෙදීම මඟින් දළ වශයෙන් පැයක් තුළදී කැලරි 300 ක් 900 ක් අතර ප්‍රමාණයක් දහනය කරගන්න හැකියාව ඇතිබව තමයි පර්යේෂකයින් පෙන්වා දෙන්නේ. 

නමුත් මේ බව විද්‍යාත්මකව පෙන්වා දෙන්න 2019 දි පර්යේෂණයක් පැවැත්වූවා.

වයස අවුරුදු 18 ත් 22 ත් අතර නිරෝගී කාන්තාවන් 19 දෙනෙක් ඔවුන් මේ සඳහා සහභාගී කරගෙන තිබුනා. 

විනාඩි 40 ක් මේ කාන්තාවන් උපදේශකවරයෙක්ගේ අනුදැනුම යටතේ සුම්බා නර්තනයේ යෙදුනා.

මේ කාලය අතරතුර ඔවුන් මිනිත්තුවක් තුළදී දළ වශයෙන් කැලරි 3.9 ක ප්‍රමාණයක් සහ විනාඩි 40 ක් තුළදී දළ වශයෙන් කැලරි 369 ක් දහනය කර තිබුනා. 

මෙය විනාඩි 40 ක් කික් බොක්සින් සහ දැඩි යෝග ව්‍යායාම මඟින් දහනය කරනවාට වඩා වැඩි කැලරි ප්‍රමාණයක් බවයි පර්යේෂකයන් පෙන්වා දුන්නේ.

නමුත් මෙහිදී 

ඔබේ වයස, 

සුම්බා ව්‍යායාමය ආරම්භ කරන අවස්ථාවේදී ඔබේ බර, 

ජාන, 

ඔබේ ශාරීරික යෝග්‍යතාවය සහ 

ඔබ නිරත වෙන සුම්බා ව්‍යායාමය / ව්‍යායාමයේ ප්‍රභලතාවය අනුව ඉහත සඳහන් කරපු දහනය වන කැලරි ප්‍රමාණය වෙනස් විය හැකි බවත් ඔබ ඉතාම හොඳින් මතක තබා ගත යුතු වෙනවා. 

සතියකට කී වතාවක් සුම්බා නටන්න ඕනද?

ව්‍යායාම සඳහා වන ඇමරිකානු කවුන්සලයට අනුව නම් එක් සුම්බා නර්තන වාරයකදී කැලරි 300 ක් 400 ක් අතර ප්‍රමාණයක් දහනය කරන්න නම් සතියකට අඩුම වශයෙන් දින තුනක්වත් සුම්බා නර්තනයේ යෙදෙන්න ඕන බවයි සඳහන් වෙන්නේ. 

විශේෂයෙන් සැළකිලිමත් වෙන්න ඕන කාරණා මොනවද ?

සතියක් ඇතුළත ඔබේ බර 500 g කින් අඩුකර ගන්න නම් ඔබ දිනකදී පරිභෝජනය කරනවාට වඩා කැලරි 500 ක් දහනය කල යුතු වෙනවා. ඒ අනුව සතියක් තුල කැලරි 3500 ක් දහනය කල යුතු වෙනවා. 

ඔබේ සිරුරේ බර එක්වරම විශාල ප්‍රමාණයකින් අඩුවීම කිසිසේත්ම සෞඛ්‍ය සම්පන්න වෙන්නෙ නෑ. ඒ නිසා ඉක්මණින් බර අඩුකර ගන්න කියල නිර්දේශිත ප්‍රමාණය සහ කාලය ඉක්මවා ව්‍යායාම කිරීමෙන් වැළකී සිටීම වැදගත්.

ඔබේ සිරුරට අවශ්‍ය ශක්තිය ලබා ගන්න මේදය, කාබෝහයිබ්ඩ්‍රේට්, සීනි සහ ලුණු හැකි තරම් සීමා කරපු සමබර, පෝෂ්‍යදායී ආහාර වේලකුත් මේ අතරම ලබා ගන්න අමතක කරන්නත් එපා.

ඔබේ ශරීරය ඉක්මණින්ම ව්‍යායාම වලට හැඩගැසෙනවා. ඒ නිසා ඔබට සුම්බා නර්තනයේ යෙදිය නොහැකි දිනවලට පිහිනීම, ඇවිදීම සහ බයිසිකල් පැඳීම වගේ සරල ව්‍යායාම වල නිරත වෙන්න පුළුවන් නම් එය ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. 

නිසි පුහුණුවක් සහ වගකීමකින් යුතු උපදේශකවරයෙකු යටතේ සුම්බා නර්තනය හැදෑරීම සහ ඒ උපදෙස් අනුව ක්‍රියා කිරීමත් අනිවාර්ය බවත් මෙහිදී අපි ඔබට මතක් කරන්න කැමතියි.

ඉතිං නිරෝගී ලෙස බර අඩුකර ගන්න ප්‍රතිඵලදායක සහ විනෝදාත්මක ව්‍යායාමක් ලෙස සුම්බා නර්තනය යොදාගන්න දැන් ඔබටත් පුළුවන්.

නැවත මෙවැනිම වැදගත් ලිපියකින් හමුවෙමු.

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles