සුහදිනි -19

“තාත්තලා අසනීප වෙන තරම් වේදනාවක් තවත් නෑ නංගි.”

අහස් එසේ පවසා රෝහල් ආලින්දයේ ඇති ආසන පේළිය වෙත නෙත් යොමු කළේ ය.සකී ඒ රුව හඳුනා ගත්තා ය.ඒ වරක් හෝ දෙකක් අහස් සමග පැවති පැවැති රූපවාහිනී සංවාද වල සහ පුවත්පත් සාකච්ඡා වල ඔහුගේ මුහුණ දකින්නට තිබූ නිසා නොවේ. සකීට ඒ මුහුණ ද මහත් හුරුපුරුදු බවක් ගෙන එන්නට විය.

“මගේ තාත්තා හාට් පේෂන්ට් කෙනෙක්.ඔපරේෂන් එකක් එහෙමත් කරලයි ඉන්නෙ.”

සකී අහස්ගේ තාත්තා වෙත පා ඔසවද්දී ඔහු ඇය කැටුව පැමිණියේ එසේ කියමිනි.ඔහුව රෝහලේ දකිද්දී සකී සිතුවේ පසුගිය තරග සංචාරය අතරතුර සිදුවූ ආබාධයට ප්‍රතිකාර ගන්නට අහස් පැමිණ ඇති බවකි.නමුත් එසේ නොවේ.ඔහු ද හිඳින්නේ ඇය සිටින තැනම ය. 

“මට ඔයාව හොඳට තේරෙනවා.කොහොමහරි අල්ලගෙන ඉන්න.තාත්තලා එහෙම ලේසියකට අපිව දාල යන්නෙ නෑ.”

ඒ වචන විශ්වාස කළ යුතු ම බව සකීට සිතිණ.ඒ තරමටම ඒ වචනවල විශ්වාසයක් තිබේ.ඇය අනාරාධිතවම අහස්ගේ තාත්තාට කතා කරන්නට සිතුවේ ඒ නිසා ය.

කාලයක් තිස්සේ ලබා ගනිමින් පසුවන සමහර දේවල් නිසා අහස්ට මේ තරමට සාමාන්‍ය පෙනුම ඇති මිතුරියන් නොවන බව අහස්ගේ තාත්තා දනියි.ඔහු සෑම මොහොතකම තමන්ගේ රසිකයන් සමඟ හොඳ හිත පවත්වා ගන්නා තරුණයෙකි.ඇතැම්විට මේ ඔහුගේ රසිකාවියක වන්නට ඇතැයි ඉලංගසිංහ මහතා සිතුවේ ය.නමුත් ඔවුන් පෙර සිටම දන්නා හඳුනන විලාසයක් දකින්නට තිබිණි.

“තාත්තේ, මේ අපේ සියුම්ගෙ යාලුවෙක්.ඒ කැම්පස් එකේ නංගි කෙනෙක්.”

ඇයව හඳුන්වා දෙන්නට ඊට වඩා අවංක ක්‍රමයක් නැතිදැයි අහස් ඉනික්බිතිව සිතුවේ ය.තිබුණේ නම් මනා ය.නමුත් එවැන්නක් නොවේ.

“අර මගේ රූම් එකේ තියෙන චිත්‍ර ඇන්ද නංගි තමයි මේ.”

කහ පැහැති ගවොමකින් සැරසී කොණ්ඩය එක මිටට බැඳගත් යුවතිය වෙත ඉලංගසිංහ මහතා ප්‍රිය මනාප සිනාවක් තිළිණ කළේ ය.ව්‍යාපාර කළමනාකරණය හදාරන තරුණියක් සිතුවම් ඇඳීමේ විශිෂ්ටත්වය ගැන කියන්නට ඔහු ඉන්පසු මිනිත්තුවක් දෙකක් වැය කළේ ය.

“කැම්පස් අවුට් වුණාම ජොබ් එකක් ඕනේ උනොත් මෙන්න මේ ඉලංගසිංහ මහතා ට කතා කරන්න නංගි.මෙයාගෙ කම්පැනි එකෙන් සියුම් නම් දැනටමත් රස්සාවක් ඉල්ලල තියෙන්නේ

 හැබැයි බලහත්කාරෙන්.”

හදවත් රෝගය පසෙක තබා ඉලංගසිංහ මහතා උස් හඬින් හිනැහුණේ ය.සාරණ්‍යාගේ මුහුණේ කිසිම දිනක නුදුටු අවිහිංසක බවක් මේ ළාබාල යුවතියගේ මුහුණේ සටහන් වේ.නමුත් මේ අහස්ගේ මිතුරියකගේ තැනක්වත් ගත් තරුණියක බව සිතීමට ඉලංගසිංහ මහතාට නොහැක.පසුගිය කාලයේ අහස් සමහර ගැටළු ඇති කර ගත්තේම ඔහුගේ තේරීම් නිසා බව තාත්තා දනී.

එක්වරම අහස් මෙවැනි තෝරාගැනීමක් කරන්නට ඉඩ නොමැත.එසේ වූවා නම් මිතුරාගේ සමහර පරාජයන් දරාගත නොහැකිව  සියුම් ඔහු වෙත ඕනෑවට වඩා මැදිහත් වන්නට ඇත.ඉලංගසිංහ මහතා සකී දෙස බලා සිටියේ එවැනි සිතිවිලි දාමයක පැටලී ය.

“ඔයාට මුකුත් උදව්වක් ඕනෑද නංගි? අපේ තාත්තාගේ වැඩේ ඉවරයි.”

අහස් ගේ කටහඬේ ඇති සුහදශීලී බව සතුට දරා ගත නොහැකි තරම් ය.තනිකම ගැන බොහෝ දේ සිතමින් බොහෝ දුරක් ඇවිද ආ ගමනෙහි වෙහෙස ඇයට දැනේ.ඒ හන්දාම තාත්තගේ වෛද්‍ය වාර්තා පිරික්සීමට එන මෙන් අහස්ට ආයාචනා කරන්නට තරම් ඇයට සිතක් පහළ විය.එහෙත් ඇය ඒ සිත වහා හකුළා ගත්තා ය.

“මමත් පහුගිය දවස්වල හිටියෙ සෑහෙන බයකින්.මෙයා මාව හරියට බය කළා.”

අහස් එසේ කියද්දී ඉලංගසිංහ මහතා ඔහු දෙස බැලුවේ සමච්චල් බැල්මකින් ය.එය මවාගත් සමච්චලයක් බව සකි කියවා ගත්තා ය.

“මෙයා අතින් බෝලයක් අතෑරෙනකොට,කෝලි මෙයාට ඒවම ගහනකොට ඒවා ඔක්කොම මගෙ පිටින් දාන එක මෙයාට ලේසියිනේ පුතා.”

එසේ පවසන අතර ඔහු සකි ගෙන් අතුරු ප්‍රශ්නයක් අසන්නට  අමතක නොකළේ ය.

“ඒ සේරමත් හරි.ඔයා ක්‍රිකට් බලනවද පුතා?”

තමන් හොඳ ක්‍රිකට් රසිකාවියක බව සකී පැවසුවා ය.ඒ රසිකත්වය ඇතිවූයේ නිම්නා පවසන පරිදි අහස් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක්වීමෙන් පසු නොවේ.ළදැරියක කාලයේ පටන් ඇය ක්‍රිකට් තරඟ බලන්නට මහත් රුචිකත්වයක් දැක්වූවා ය.

“තාත්තගේ රිපෝට් ටික කලෙක්ට් කරගෙන එන්න නංගි.අපිත් එක්කම ඔයාට යන්න පුළුවන්. මං ඔයාව කැම්පස් එක ළඟින් හරි ඔයා ඉන්න බෝඩිං එකක් ළඟින් හරි දාන්නම්.”

දෙමිතුරියන් පවසන පරිදි අහස් ගැන සැකයක් ඇති කරගන්නට සකීට නුවුමනා ය.නමුත් ඔහු සමඟ යන්නට ඇයට සිත් වූයේ නැත. ඒ වාහනයේ ඔහුගේ තාත්තා ද සිටි වග දෙමිතුරියන් පිළිගන්නට ඉඩ නොමැත.ඒ නිසා වාර්තා ලබාගෙන වෛද්‍යවරයෙකු ද මුණ ගැසීමට ඇති බව පවසා සකී අහස්ගෙන් ද ඉලංගසිංහ මහතාගෙන් ද සමු ගත්තේ ය.

“සියුම්ගෙ යාලුවෝ ඔයාගෙත් යාලුවෝ කියලා මම දන්නෙ අදනෙ.”

තාත්තා මේ පවසන්නේ සරදමට බව අහස්ට වැටහේ.සියුම්ගේ මිතුරන් සහ තමන්ගේ මිතුරන් පොදු වූයේ පාසලේ හය ශ්‍රේණියේ පටන් බව ඔහු තාත්තාට සිහි කළේ ය.නමුත් තාත්තා පවසන්නේ එය නොවේ.

“මේ ළමයා ඇඳපු චිත්‍ර හරි ලස්සනයිනෙ තාත්තෙ.ගිෆ්ට් එකක් නිසා මම සල්ලි දෙන්න ගියෙත් නෑ.ඒ උනාට ප්‍රශ්න ගොඩක් තියෙන ළමයෙක් එන හිතෙද්දි මට හරියට දුක හිතුණා.”

මෙලොව ජීවත් වන සෑම මිනිසෙකුටම අඩු වැඩි වශයෙන් ප්‍රශ්න ඇති බව ඉලංගසිංහ මහතා පුතුට පැහැදිලි කළේ ය.නමුත් අහස් ඒ කතාව අසා සිටියාදැයි ඔහුට සැකයක් තිබේ.යුවතිය ඔහුගේ සිත සොලවා ඇති බව ඉලංගසිංහ මහතා අහස්ගේ හැසිරීම් මතින් කියවා ගත්තේ ය.ඇය ගැන කිසිවක් ම නො දැන සිටිය ද ඒ නොදන්නා දියණිය කෙරෙහි පැහැදීමක් ඇති වීමට හේතුව ගැන ඔහු කල්පනාවට වැටිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles