ජීවිත සටන

කාර්යාල වේලාව අවසන් වෙන්න ඔන්න මෙන්න තියලා මලීශා ගෙදර යන්න කලබලෙන් ලෑස්ති වෙන හැටි හර්ශනී බලාගෙන හිටියේ කට කොනකට හිනාවක් නගාගෙන

” ඔච්චර හදිස්සි වෙන්නේ කොල්ල බලන්න යන්න වෙන්න ඇති “

සඳමාලිගේ කනට කරලා හර්ශනි මිමිණුවා.

හවස පහ මාර පහුවෙනකොටම මලීශා අත්බෑගයත් අරගෙන කාර්යාල කාමරයෙන් එලියට ආවා. මලීෂා කාර්‍යාලයට ඇවිත් ගෙවිලා තිබුනේ මාස කිහිපයක් විතරයි. ටිකක් නිහඬ චරිතයක් වූ ඇය ගැන ගොඩක් විස්තර කාර්යාලයේ අය දැනගෙන හිටියේ නැහැ. වැඩි කතා බහක් නැතිව උදේ ඉදන් හවස් වෙනකන් තමන්ගේ රාජකාරි වල නිරත වන ඇයව ආයතනයේ ඉහළ නිලධාරීන්ගේ ප්‍රශංසාවටත් ලක් වුණා

” ඊයෙ මම මලීශාව super market එකේදි දැක්කා “

එක දවසක් උදේ පාන්දර සඳමාලි කතාව පටන් ගත්තේ එහෙම. හර්ශනීත් හරිම උනන්දුවෙන් කතාවට ඇහුම්කන් දුන්නා

” පොඩි කාර් එකකින් ඇවිත් හිටියේ.තනියම “

“එයාට කාර් එකකුත් තියෙනවද ඒ කියන්නේ “

” ඔව් ඔව්ව්.. ලස්සන ගවුමක් එහෙම ඇඳලා පොඩි කෙල්ලෙක් වගේ . ඇත්තමයි අනේ මට නම් දැක්කහම ඊරිසියා හිතුනා “

සඳමාලි එහෙම කිව්වේ පිලිවලට ඇදලා පැලදලා කාර්යාලයට එන යුවතිය වෙනුවට වෙනස්ම මුහුණුවරකින් යුතු හැඩකාර යුවතියක්ව මලීශාගෙන් දැක්ක නිසා.

” එයාට එච්චර වයසක් නැහැ නේද ? “

හර්ෂණී තවදුරටත් සඳමාලිගෙන් ඇහුවේ තරුණ යුවතිය ගැන දැනගන්න උවමනාවෙන්

” 24 ක් 25 ක් විතර ඇති. කොහොමත් අපිට වැඩිය අවුරුදු පහක් හයක් වගෙ තමයි බාල. කෙල්ලට සල්ලි තියෙන පාටයි. අපිට වගේ ඉතින් ගෙවල් වල වගකීම් නැතුව ඇතිනේ . අම්මලා තාත්තලාගෙ සල්ලි වලින් ජොලියෙ ඉන්නවා ඇති “

” ඔෆිස් අඳින ඇඳුම් පේන්නේ නැද්ද ? අපි ගන්නවා වගේ තැන්වලින් නම් ගන්න පාටක් නැහැ. ඔය එයා අඳින එක බ්ලවුස් එකක් ම තුන් හාරදාහක් වෙනවා ඇති”

හර්ශනීගෙයි සඳමාලිගයි කතාව නතර උනේ මලීෂා කාර්යාල කාමරයට ඇතුළු වෙනවත් එක්කමයි.

මලීශා නිතර නිතරම කාර්යාල කාමරයෙන් එලියට ගිහින් දුරකථන ඇමතුම් ගන්න හැටි කාර්යාලයේ කවුරුත් දැක්කා. විවාහක කාන්තාවන් සහ මැදි වයස පහු කරන පිරිමින්ට ළාබාල වයසේ පසුවන මලීශාව හොඳ මාතෘකාවක් වුනා

” මලිෂා ට ඔය හැම වෙලේම කතා කතා කරන්නේ boyfriend ද ? “

දවසක් මලීෂා දුරකථන ඇමතුමක් ඉවර වෙලා ඉවරවෙලා එනකොටම හර්ශනි ඇඟට පතට නොදැනී එහෙම ඇහුවා

” නෑ අක්කේ. අම්මා “

” වෙන්න බෑ . මේ වගේ තරුණ ගෑණු ළමයෙකුට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නැති වෙන්න බැහැනේ “

හර්ශනීට මද සිනහවකින් පිළිතුරු දීපු මලීෂා ආපහු ඇගේ වැඩවලට අවධානය යොමු කළා .

” එයාගෙ කටින් වචනයක් ගන්නවා කියන්නේ ඉබ්බන්ගෙන් පිහාටු ගන්නවා වගේ”

බලාපොරොත්තු වුණ පිළිතුර නොලැබුණු තැන හර්ශනි සඳමාලිගෙ කනට කරලා කිව්වා.

අලුත් අවුරුද්ද වෙනුවෙන් සාදයක් පවත්වන්න කාර්‍යාලයේ ඉහළ කළමනාකාරී මණ්ඩලය තීරණය කරන්නේ ඔය අතරේදී . හවස් වරුවක කොළඹ පිහිටි හෝටලයක සාදය පවත්වන්න කටයුතු ආයතනය මගින් සූදානම් කර තිබුණා

” පාටි එකට ඔයා මොකක්ද අඳින්නෙ මලිෂා ? “

සාදය ගැන කතාබහේ දී හර්ශනී මලීශාගෙන් ඇහුවා

” මට පාටි එකට එන්න විදියක් නෑ අක්කේ . රෑ නේ තියෙන්නේ “

” අයියෝ අනේ.මේ වගේ චාන්ස් එකක් මිස් කරන්නෙ අපරාදෙනේ ? “

” ඒකනේ මලීශා.ඔන්න ඔහෙ එන්න “

සඳමලිත් කතාවට එකතුවුනා. හැබැයි ඒ හැම එකටම මලීශාගේ උත්තරය උනේ හිනාවක් විතරයි

මලීශා සේවයට ඇවිත් අවුරුද්දක් පමණ ගත වුණත් කාර්යාලයේ කිසිම විශේෂ අවස්ථාවකට ඇය සහභාගී වුණේ නැහැ. ඒ වගේම ඇගේ රාජකාරිය කාර්යාල වේලාව තුළ දී අකුරටම ඉටු කරපු ඇය කාර්යාල වේලාවෙන් පස්සෙ එක විනාඩියක් වත් කාර්‍යාලයේ රැඳුනේ නෑ.

හදිසියෙ දවස් කීපයක් මලීශා නිවාඩු ගැනීම ඊළඟට කාර්‍යලාගේ මාතෘකාව බවට පත්වුනා.

” පෞද්ගලික කාරණාවක් කියලා තමයි මලීශා නිවාඩු දැම්මේ “

කාගෙත් කුතුහලයට හේතුව මලීශා බව දන්න නිසා කාර්‍ය්ලාගේ ප්‍රධානියා එහෙම කිව්වත් හර්ශනී නම් එයින් සෑහුනේ නෑ

” මලීශාගේ වෙඩින් එක ද බොස් “

” වෙඩින් එකක් නම් ඒ ළමයා අපිට නොකියා ඉන්න එකක් නැහැනේ හර්ශනී.නේද ? “

ප්‍රදානියා කිව්වේ කාරුණිකව

” අපෝ..බොස් දන්නෙ නෑනෙ. මලීශා කියන්නේ රහස් ගුහාවක් “

හර්ශනී කිව්වෙ ඇස් නටවමින්.අසනීපවූ ගුරුවරියක් බලන්න යන්නට ඇති බව කියමින් හර්ශනී ඒ මොහොතේම ප්‍රධානියාගෙන් නිවාඩුවකුත් ඉල්ලා ගත්තා

” මගේ ඉස්කෝලෙ හිටපු හොඳම ටීචර්. ලඟදි දැනගත්තේ එයාට පිළිකාවක් කියලා . යාළුවො කිහිප දෙනෙක්ම එයාව බලන්න දවසක යන්නයි හිටියේ .ඒත් බැරිවුණා . ටීචර්ට ටිකක් අමාරුයි කියලා ආරංචි වුණ නිසා හෙට යන්න දාගත්තා “

තමන් නිවාඩු ගන්නෙ සාධාරණ හේතුවකට කියල ඒත්තු ගන්වන්න හර්ශනි හැමෝටම ඇහෙන්නයි එහෙම කිව්වේ.

පහුවදා හර්ශනී තමන්ගේ මිතුරියන් කිහිප දෙනෙක් එක්ක අසනීප වුණ ගුරුවරියගේ ගෙදර හොයාගෙන ගියා. විවිධ වර්ණයන්ගෙන් යුතු මල් පැල වලින් සැරසුණු ගෙමිදුලක් මැද තට්ටු දෙකකින් සමන්විත නිවහනක් ගුරුවරියගේ නිවස වුණා . ගේට්ටුවෙන් ඇතුල් වුන මිතුරියන් පෙරදැරිව ගිය හර්ශනි නිවසේ සීනුව නාද කළා. සුළු මොහොතකින් විවෘත වුනු දොරෙන් මතුවුණේ හර්ශනී කිසිලෙසකින් වත් බලාපොරොත්තු නොවුණු මුහුණක්

” මලීශා “

” හර්ශනී අක්කේ. ඔයාලා ද අම්මව බලන්න එනවා කිව්වේ ? “

තවමත් පුදුමවුන මුහුණකින් යුතුව බලාගෙන හිටපු හර්ශනී ගෙන් මලීෂා ඒ ප්‍රශ්නය ඇහුවෙ සන්සුන්ව

” ඔ.. ඔව්… “

දින කිහිපයක් තිස්සේම මලීශා නිවාඩු දැමීමට හේතුව හර්ෂණීට හරියටම තේරුම් ගියේ ඒ වෙලාවෙයි. මවගේ කාමරයේ හර්ෂණීට පෙන්වූ මලීෂා මුළුතැන්ගෙය වෙත ගියා

” මිස්ව බලන්න එන්න හිටියට වැඩත් එක්ක වෙලාවක් අපිට නැතිවුණා. සුදාරි නිකමට වගේ මිස්ට කෝල් කරපු වෙලාවක තමයි මිස්ගේ දුව කියලා තිබුණේ අමාරු උනා කියලා “

” මගේ කෙල්ලගේ උත්සහය නිසා තමයි හර්ශනි මම මෙහෙම හරි ජීවත් වෙන්නේ.එයා තමයි මේ ගෙදර හැම වගකීමක්ම දරන්නේ.මහත්තයා නැතිවුන දා ඉදලා මාකට් යන්නේ, බඩු ගේන්නේ , බිල් ගෙවන්නේ හැම එකම කරන්නේ මලීශා. මගෙන් කියලා මේ ගෙදරට වෙන්නේ මගේ පෙන්ෂන් එක දෙන එක විතරයි දරුවෝ “

” මිස්ගේ දුව මලීෂා කියලා මම දැනගෙන හිටියේ නැහැ .මලීශා වැඩිය ඔෆිස් එකේදි කතා කරන්නේත් නැහැනේ අනික . ඔෆිස් ඇරුන ගමනුත් එයා දුවගෙන එනවා “

හර්ශණී වියපත් ගුරුවරියට එහෙම කිව්වේ අනෙක් මිතුරියන් තේ පානයට ගිය වෙලාවේ

” එයා එන්නේ මාව බලන්න හර්ශනී. මාව බලාගන්න එන ගෑනු කෙනා හයාමාර වෙද්දි ගෙදර යනවා. ඇත්තටම ඒ මනුස්සයා ඉන්නේ මගෙ තනියට විතරයි . කෑම උයන එකේ ඉදලා ,ගෙවල් අස්කරන වැඩ පවා මලීෂා උදේට කරලයි යන්නේ “

හර්ෂණීට දැනුනේ පුදුමයක් . පුංචි කෙල්ලක් තුළ තියන ධෛර්යය ඇයට හිතාගන්න බැරි වුණා.

” මාව බලාගන්න එන කෙනා හදිස්සියක් වෙලා ගමේ ගියා.ඒ අතරේ පෙරේදා තමයි මට ටිකක් අමාරු වුණේ. මට තියෙන එකම දුක මේ ලෙඩෙන් මං මැරුනොත් මලීශා තනිවෙන එක “

පිළිකාවක් එක්ක සටන් කරන ගුරුවරිය ගැනත් , ඇය වෙනුවෙන් ශක්තිමත්ව ජීවිතයට මුහුණ දෙන දියණිය ගැනත් හර්ශනීට දැනුණේ අමුතුම හැඟීමක්

දෙමව්පියන්ගේ මුදල්වලින් විනෝද වනවා යැයි සිතූ යුවතිය ජීවිතය වෙනුවෙන් මොනතරම් අරගලයක් කරනවාද කියලා හර්ශණීට තේරුම් ගියා . බාහිර ස්වරූපයෙන් කිසිවෙකුවත් මැනීම නොකළ යුතු බවත් තේරුම් ගෙනයි හර්ශනී ආපහු ගෙදර ආවේ.

More Stories

Don't Miss


Latest Articles