සම පිරිසිදු කර හිසකෙස්වලට ප්‍රතිකාර කරන උලුහාල්වල ගුණ

උලුහාල් කියන්නේ ඕනෑම නිවසක මුළුතැන්ගෙයි දක්නට ලැබෙන දෙයක්. නමුත් ඔබ නොදන්න තවත් ප්‍රයෝජන රැසක් මේ උළුහාල් කුඩු වලින් ලබාගන්න පුළුවන්. ඒ ගැන ඔබව දැනුවත් කරන්නයි මේ සූදානම.

උලුහාල් වල විටමින් A,C,K,B6 වැනි විටමින් බහුල වන අතර පොටෑසියම්, ෆෝලිම් අම්ලය , තයමින්, තඹ සහ සින්ක් වැනි ඛනිජ ලවණ පවා අඩංගු වෙනවා. මේ නිසා උළුහාල් කුඩු වලින් ඔබේ සමට , හිසකෙස් වලට සහ සෞඛ්‍යයට ප්‍රතිලාභ රැසක් ලබාගන්න පුළුවන්.

සම දීප්තිමත් කරයි 

උළු හාල් වල විටමින් සී අඩංගු වන නිසා එය සම දීප්තිමත් කරනවා. ඒ වගේම එහි අඩංගු වන විශිෂ්ට ප්‍රතිඔක්සිකාරක ගුණය ඔබේ සමේ පටක මත කාලයත් සමඟ එකතු වී ඇති මැරුණු සෛල ඉවත් කිරීමට උපකාරී වනවා. කුඩු කර ගත් උළුහාල් වලට කිරි ස්වල්පයක් එකතු කර පැක් එකක් ලෙස සකස් කර ගෙන පිරිසිදු කරගත් මුහුණේ ආලේප කරන්න. විනාඩි පහළොවක් විස්සක් පමණ එය මුහුණේ වියලෙන්නට හැර සෝදා හැර ටෝනර් එකක් ආලේප කරන්න

සම පිරිසිදු කරයි 

උලුහාල් එක රැයක් වතුරේ පොඟවා පැක් එකක් ලෙස සකස්කර මුහුණට යෙදීමෙන් සම ගැඹුරින් පිරිසිදු කරගත හැකියි. ඊට අමතරව උළුහාල් පොගවා ගත් වතුර කපු පුළුන් කැබැල්ලකට ගෙන මුහුණ පිස දා ගැනීමෙන් මුහුණේ ඇති අතිරික්ත තෙල් ,කුණු සහ දුහුවිලි   ගැඹුරින් ඉවත් කර ගැනීමට හැකි වෙනවා.

සමේ ආසාදන වලට ප්‍රතිකාර කරයි 

උලුහාල් ප්‍රතිඔක්සිකාරක සහ ප්‍රතිබැක්ටීරීය සංයෝග වලින් පොහොසත් ප්‍රභවයකි. උලුහාල් පොඟවා පේස්ට් එකක් ලෙස සකස් කරගෙන පිළිස්සුම්,ආසාදන තත්ව, රතු පැහැ ලප හෝ දද වැනි සමේ ගැටළු වලට ප්‍රතිකාර කිරීමට භාවිතා කල හැකියි. 

ටෝනර් එකක් ලෙස ක්‍රියා කරයි 

උළුහාල් පොගවා ගත් වතුර ඉසින බෝතලයකට පුරවා ගබඩා කර ගෙන ටෝනර් එකක් ලෙස භාවිතා කළ හැකියි. ස්ක්‍රබ් කිරීමෙන් පසුව හෝ ආලේපන ගැල්වීමට පෙර මෙම ටෝනර් එක භාවිතා කරන්න ඔබට පුළුවන්. 

කුරුලෑ සුව කරයි

උලුහාල් වල ප්‍රතිබැක්ටීරීය සහ ප්‍රති-ගිනි අවුලුවන ගුණ ඇති Diosgenin අඩංගු වනවා. මෙම ගුණාංග සමේ ඇති කුරුලෑ වලට එරෙහිව සටන් කිරීමට සහය දෙනවා. සම රැලි වැටීම, අඳුරු ලප සහ ආසාදන සඳහා ප්‍රතිකාර කිරීමටත් උලුහාල් වලට හැකියාව තිබෙනවා.

හිසකෙස් ගැලවී යාම වළක්වයි 

මහදුරු වල ලෙසිතින් අඩංගු වනවා. එය ස්වභාවික මෘදුකාරකයක් ලෙස ක්‍රියා කරන අතර එය ඔබේ හිස්කබල සහ හිසකෙස් ගැඹුරින් පෝෂණය කරනවා. ඊට අමතරව එය ඔබේ හිසකෙස් වල මුල් ශක්තිමත් කරමින් ,  හිසකෙස් ගැලවී යාම කාර්යක්ෂමව පාලනය කරනවා.

හානියට පත් හිසකෙස් වලට ප්‍රතිකාර කරයි 

උලුහාල් ප්‍රෝටීන් සහ ඇමයිනෝ අම්ලවල ඉතා හොඳ ප්‍රභවයක් වන අතර එයට පෝෂණ ඌණතා, හිරු එළිය සහ අධික වියළි බව නිසා හානියට පත් හිසකෙස් වලට ප්‍රතිකාර කිරීමේ හැකියාව තිබෙනවා. එමෙන්ම හිසකෙස් වල මුල් වලට සහ හිස් කබලට පෝෂණය ලබාදීමට, හිස්සොරි පාලනය කිරීමට සහ ඝන හිසකෙස් වර්ධනය කිරීමට උපකාරී වනවා

බර අඩු කර ගැනීමට උපකාරී වෙයි 

උළුහාල් වලට උදරයේ මේදය දහනය කිරීමට හැකියාව තිබෙන අතර ආහාර රුචිය අඩු කිරීමට සහ ඉක්මනින් තෘප්තිමත් බව දැනීම වැඩි කරනවා.ඊට අමතරව පරිවෘත්තීය වේගය වැඩි දියුණු කිරීම ද උලුහාල් මගින් සිදු වෙනවා.විශේෂයෙන්ම උළු හාල් වල අඩංගු වන තන්තු මඟින් ආහාර ජීරණයට සහය වීම සිදුකරන අතර අධික ලෙස ආහාර ගැනීම වළක්වමින් ශරීරයේ බර වැඩිවීම පාලනය කිරීමට සහාය වනවා. 

මල බද්ධය සමනය කරයි 

උලුහාල් මගින් ආහාර ජීරණ ක්‍රියාවලිය වැඩි දියුණු කරන අතර ආමාශයේ විවිධ ආබාධ ඇතිවීම වළක්වනවා. උළුහාල් බීජ වල ශ්ලේෂ්මල බහුල වන අතර ශ්ලේෂ්මල පටල මෘදු කිරීම සහ ඒවායේ සංයුතිය වැඩි දියුණු කිරීම මගින් මලබද්ධය වැළැක්වීමට උපකාරී වනවා.

හෘද රෝග ඇති වීමේ අවදානම අඩු කරයි 

උලුහාල් බීජ යනු ට්‍රයිග්ලිසරයිඩ සහ අඩු ඝනත්ව කොලෙස්ටරෝල් අවශෝෂණය අඩු කරන සැපොනින් පොහොසත් ප්‍රභවයකි. එමගින් ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම සමතුලිතතාවය පවත්වාගෙන යාමට සහය වන අතර එයින් හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු වේ.

රුධිරයේ සීනි මට්ටම පාලනය කරයි 

උලුහාල් ඇටවල අඩංගු රසායනික ද්‍රව්‍ය රුධිරයේ සීනි ගැටළු වලට එරෙහිව සටන් කිරීමට ක්‍රම කිහිපයකින් ක්‍රියා කරනවා.Galactomannan ලෙස හඳුන්වන තන්තු සංරචකය රුධිරයේ සීනි අවශෝෂණය අඩු කරමින් අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ලය, අයිසොලියුසීන්, ඉන්සියුලින් ස්‍රාවය ද ප්‍රවර්ධනය කරනවා. මෙමගින් රුධිරයේ සීනි මට්ටම පාලනය වීම සිදු වෙනවා.

කෙසේ වෙතත් ,

සායනික අධ්‍යයන සහ ප්‍රතිකාර වලදී උලුහාල් විවිධ මාත්‍රා වලින් භාවිතා වේ. මේවා පුද්ගලයාගේ අවශ්‍යතාව මත රඳා පවතී.

අධික කොලෙස්ටරෝල් ඇති පුද්ගලයින්ට දිනකට තුන් වරක් බීජ / කුඩු ග්‍රෑම් 10 සිට 30 දක්වා ආහාර වේල් සමඟ ගත හැකිය.

කිරි නිෂ්පාදනය වැඩි කර ගැනීමට කැමති කිරි දෙන මව්වරුන් දිනකට මහදුරු මිලිග්‍රෑම් 500 සිට 1000 දක්වා ප්‍රමාණයක් ලබා ගත යුතුය.

දෙවන වර්ගයේ දියවැඩියාව ඇති පුද්ගලයින් දිනකට බීජ ග්‍රෑම් 2.5 සිට 15 දක්වා ගැනීම සලකා බැලිය යුතුය

Related Articles

Don't Miss


Latest Articles