එයාව ඔයා අන්තිමට අගය කළේ කවද්ද?

0
694

“ලොවම එපා වී
ලොවම කළකිරී
දැවී තැවී හිඳිනා වේලේ
ඔබේ දයාබර එකම වදනකින්
මගේ ආත්මය සුවපත් වේ..”

ඔබ මේ ගී පදය අහලා ඇතුවාට සැක නෑ.ආදරණීය වදනකට, අගය කිරීමකට ඔබේ සහකරුගේ ආත්මයම සුවපත් කරන්න පුලුවන් කියලා ඔබට කියන්න අපි හිතුවේ ඒකයි.

ඔහු ඔබට උයන්න පිහින්න උදව් කරනවා නම්, ඔබ වැඩ ගොඩක හිරවෙලා ඉන්නකොට බබා බලාගන්න සහ එයාගේ වැඩ කරන්න බාර ගන්නවා නම්,ගේ අස් පස් කරන්න කැමැත්තෙන්ම සහභාගී වෙනවා නම් අගය නොකර ඉන්න එපා.

“ඔයා මොනතරම් මම ගැන හිතනවද ඒකට ස්තූතියි. මට මේ උදව්ව ලොකු සහයෝගයක්” කියලා එයාව අගය කරන්න.

ඇත්තටම ඇයි අපි සහකරුව අගය කරන්න ඕනෑ? මෙන්න මේ හේතු ඔබට ඒ ගැන කියාවි.

ඔහුව සතුටට පත් කරනවා.

අපිට යමක් ලැබෙනකොට පෙරළා ස්තූතියි කියන්න.අගය කරන්න.එය අපිට උදව්වක් කරන කෙනා සතුටට පත් කරනවා.ඔබ වැඩියෙන්ම ආදරය කරන කෙනා සතුටට පත් කිරීම ඇත්තටම මොනතරම් අපූරුද?

ඔබව නැවත අගය කිරීමකට ලක් වෙනවා.

ඔබ ඔහුව අගය කළාම ඔහු අගය කිරීමක වටිනාකම තේරුම් ගන්නවා.ඔබත් ඔහුට උදව්වක් කරන වෙලාවට ඔහු නැවත ඔබව අගය කරාවි. ඔබ බොහොම මහන්සියෙන් නිවසේ වැඩ කිරීම ගැන අන් අය එක්කත් ඔබව වර්ණනා කරාවි.ඇත්තටම ඒක ඔබට සතුටක් නේද?

ඔබ සතුටින් බව ඔහු දැන ගන්නවා.

ඔබ ඔහුගේ ආදරය නිසා සතුටින් බව ඔහු දැන ගැනීම, එය ඔබේ සම්බන්ධය තහවුරු වෙන්න හේතුවක්.ඔබ ඔහුව අගය කරන්නේ ඔහුගේ ක්‍රියාවන් ගැන ඔබ සතුටු වෙන නිසා.ඉතින් ඔහු මුළු ජීවිත කාලයම ඔබව සතුටු නොකර ඉඳීවි ද?

ඔබ ඔහු ගැන ආදරයෙන් බව ඔහු දැන ගන්නවා.

අගය කරන්න පුලුවන් අපිව ආදරේ කරන අයවයි. ඔහු ඔබට උදව් කරන එක, ඔබේ කටයුතු පහසු කරන එක, ඔහුගේ අරමුණු වෙනුවෙන් වෙහෙසෙන එක ඔබ අගය කළ යුතුමයි. එවිට ඔහු දැන ගන්නවා ඔහු ගැන ඔබට ඉතා විශාල ආදරයක් ඇති බව. ඔහු ඒ ආදරය ලබා ගන්න හැමදාමත් උනන්දු වේවි.

ඔබ ඔහුට නැවත සහයෝගය දක්වනවා.

ඔබ ඔහු උයන්න දෙන උදව්වක් ගැන,බබාගේ වැඩ කිරීමක් ගැන ආදරයෙන් අගය කරන්න. ඔහුට නැවත ඒවා කරන්න ආශාවක් එන්නේ එවිටයි. ඔබේ විවාහ ජීවිතය පහසු වෙන්නේ එකිනෙකාට ලැබෙන උදව් තුලින්.සහයෝගය තුළින්.මෙය උපයා ගන්න ඇත්තටම පුලුවන් ඔබේ ක්‍රියාවන්ටම තමයි.

සමාජ ජාලා වල කාන්තාවන් තබන බහුතර සටහන් සැමියාට මඩ ගැසීම් වලින් පිරී ගිහින්. එය විනෝදය සඳහා කදිම ඇති.නමුත් ඔහු ගැන අගය කිරීමේ සටහනක් තබන්න ලැජ්ජා වෙන්න එපා. ඔහු හොඳ තාත්තා කෙනෙක්, සැමියෙකු වෙන අන්දම ඔබ ලියා තැබුවාම ඔහු මොනතරම් සතුටු වේවිද?ඔහුව අගය කරමින් ආදරණීය හාද්දක්,වැලඳ ගැනීමක් ලබා දෙන්න.ඔහුගේ ප්‍රියතම ආහාර පිස දෙන්න.මිතුරන්,ඥාතීන් සමඟ අගය කරන්න.

අගය කිරීම කියන්නේ ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක්.ආදරය පවතින්න,ආදරය රැක ගන්න ඔබේ ආදරණීයයා අගය නොකර ඉන්න එපා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here