“කිසිම කෙනෙකුට කිසිම දවසක ආදරේ බලෙන් ගන්න බෑ පුතා. තමන් ආදරේ කරන දේවල් තමන්ට නොලැබී තියෙන්නෙත් නෑ.”
කමල් විජේවර්ධන කියයි. නමුත් ඔහු එසේ බලහත්කාරයෙන් ආදරය උදුරා ගත් මිනිසෙක් බව සිතන්නට සඳරැස් කැමති ය. ඔහු කළේ එවැන්නකි.
“ඔය ගෑනු දරුවා ආදරේට ඔයාටනම් සහස් බලෙන් උස්සන් ආවත් එයා සහස් ගාව ඉන්නේ නෑ. සහස් තේරුම් නොගත්තට ඇත්ත ඒකයි.”
කමල් එසේ කියන්නේ ස්ථිරසාරව ය. නමුත් සඳරැස්ට ඒ ගැන විශ්වාසයක් නොවේ.
“මං ඔයාලගෙ ජීවිතේ මැද්දට ආවෙ ඇයි කියලා ඔයාලාට තේරුම් කරන්න ඕන ඔයාලගෙ අම්මා. එයා දවසක ඒක කරා නොකරා මං ඒක තේරුම් කරන් නෑ පුතා. ඒ හන්දා වර්තමානෙත් ඒකම වෙයි හිතන්න එපා. සහස්ගෙන් ඔයාගේ ගෑනු ළමයට කරදර වෙන් නෑ.”
සඳරැස් මොකක්දෝ කාරණාවකට මේ මිනිසාට දමනය වෙමින් සිටියේ ය. ඔහුට ආදරය සිතෙමින් තිබීම වළක්වා ගන්නා සඳරැස්ට ඕනෑ විය.
“ඔයාලා බැඳීම් ගැන හිතන තරමට බැඳීම් සරල නෑ පුතා. ගෑනියෙක් මිනිහෙක්ට බැඳුණොත් ඒ මිනිහට එපා වුණත් එතනින් මිදෙන් නෑ. කාටවත් බලෙන් අයිති කරගන්නත් බෑ.”
ඔහු ඒ කියන්නේ අම්මා ගැනදැයි අසන්නට සිතුණත් සඳරැස් කමල්ගෙන් සමු ගත්තේ ය. සමුගන්නට පෙර කමල් සඳරැස්ට හිනැහුණේ ආදරයෙනි.
“ආයෙ අම්මාගෙන් මල් එන එකක් නෑ. ඒත් ඔයා පෝරුවක ඉන්න හැටි බලන්න අම්මයි මායි දෙන්නම එන්න කැමතියි.”
එවැනි හැඟීම්බර වචනයකට දිය වෙන්නට සඳරැස් අකමැති ය. ඔහු පිටතට ආවේ කමල් දෙස නොබලාම ය. නැවත හැරී බලන්නට ඕනෑ නැත. නැවත හැරෙන්නට ඕනෑ ද නැත.
ගමකට ගහන්නට කතා කියමින් පිටව ගිය සඳරැස් සිතිවිල්ලේ එන අන්දම මලිත් දිටී ය. මේ ගමන නිසා මිතුරා රිදවීමට ලක් වී තියේ. සඳරැස් දෙස බලමින් මලිත් එහෙම සිතුවේ ය.
“ආන්ටිව මුණ ගැහුණද?”
මුණ ගැසෙන්නට ආවේ අම්මා නොවේ. කටට ආ වචනය සඳරැස් ගිල ගත්තේ ය. කමල් විජේවර්ධනට අම්මාගේ හොර මිනිහායැයි අපහාස කළේ තාත්තම්මා ය. නමුත් ඇත්තටම අම්මා දැන් ඔහුගේ නීත්‍යානුකූල බිරිඳ ය. දරුවෙක් කුස දැරීම පහසු කාරණාවක් නොවේ. ඔහු එය දැන ගත්තේ අක්කා නිසා ය. අම්මා පහුගිය කාලයක ඒ අසීරු කාර්යය කර තිබිණ. නමුත් ඇය ඔවුන්ව අත් හැර දැමුවා ය.
“අකමැති තැනක ඉන්න අම්මට අමාරු වෙන්නැති මල්ලි. ආදරයක් නැති තැනක ගෑනියෙක් ඉන්නේ නෑ.”
අක්කා මෑතකදී එහෙම කීවා ය. නමුත් ඕවා පිළිගන්නට සඳරැස්ට ඕනෑ නැත. ඔහුට ඊට වඩා කියන්නට දේවල් තිබේ.
“ඔන්නොහෙ අතීතෙ වළ දාපං. ආන්ටි විතරක් නෙවෙයි උඹලත් හොඳින් ඉන්නවනෙ. එහෙව් එකේ මොකටද නිකං”
මලිත් තවමත් හිතන්නේ සඳරැස් බාප්පා සමඟ ගැටුමක පැටලෙන්නට ඇති බව ය.එහි වරදක් ද නොවේ. පාසල් යන කාලයේ ඔහුට ගැටුම් ඇති කර ගන්නට බස් රථයක රිය සහායකයෙකු හෝ ප්‍රමාණවත් ය.මලිත්ව බැංකුවෙන් හැරලවා සඳරැස්ට නිවසට යන්නට සිතිණ. ආදරය ප්‍රකාශ කළ බව දුලන්‍යාට අමතකදැයි ඔහුට සිතේ.ඇය අද සුබ උදෑසනක් හෝ පතා නැත. මේ දැනෙන්නේ තනිකමදැයි සඳරැස් සිතී ය. ගැහැනුන්ට ආදරය බොහෝ සරල කාරණාවක් වග ඔහු සිතා සිටියේ ය. නමුත් දුලන්‍යා ආදරය හන්දා ලෙඩ වී තිබේ.
දුලන්‍යාට යවන්නට රිද්ම වීරවර්ධනගේ ගීත තවත් නොවේ. ඔහු ප්‍රේමයේ ස්වරයෙන් ආදරය අරඹන්නට සිතී ය. කසුන් කල්හාර හැරෙන්නට විකල්ප නොවේ. මීදුම් දුමාරයේ ඇවිද යන්නට දුලන්‍යාට ආරාධනා කළ ඔහු පිළිතුරු නොපිරික්සාම රිය ධාවනය කළේ ය. කාර්යාලයට පැමිණ අහස උසට වැඩ කන්දක හිර වූ සඳරැස්ට දුරකථනය පිරික්සන්නට ඉඩ ලැබුණේ පසුව ය. ඇගෙන් පිළිතුරක් ලෙස ඇත්තේ ෆේස්බුක් සටහනක ලින්ක් එකකි. සඳරැස් එය විවෘත කර බැලුවේ ය. ඇය කියන්නට හදන්නේ මොනවාද?
“ලෝකේ තියන ලස්සනම සින්දුව මොකක් කියලද හිතන්නේ”
“මීදුම් දුමාරයේ. වයසට යන්නේ නැති කසුන්ගෙ කටහඬෙන් ඇහෙනකොට”
ඒ ගීතයට නැවත ප්‍රතිනිර්මාණය කරන්නන් ගැන ද රියැලිටි වල ගයන්නන් ගැන ද තරහ උපදවන කෙල්ලකට එවැනි පිළිතුරක් තිබේ. කසුන්ගේ හඬ කොහොමටත් පෙමාතුර කටහඬකි. ප්‍රේමයෙන් පිරී ගොස් ප්‍රේමයෙන් හුස්ම ගනිමින් සිටියදී ලෝකයේ ඇති ලස්සනම සින්දුව ඇසෙන්නේ කවරදාටත් වඩා ලස්සනට ය.
ආදරේ දැනෙන්න ඕන මීදුම් දුමාරයේ කසුන් ගයන තරමට මිහිරිව. සිහින ඇන්ද සානුවක්, වළාකුළු කූඩාරමක්, නින්ද ඇහැරෙන තැනක් ආදරේ පිරිලා තියෙනකොට මුණ නොගැහී තියේවිද? වෙන කොහෙන්වත් නෙවෙයි! ආදරෙන් බලන බැල්මක පවා ඒ තැන් මැවෙනවා!!
ආදරේ පිරුණු හිනා වෙන ඇස් දෙකක් කියන්නේ හීන අඳින සානුවකට!
නැද්ද?
ඇය එසේ ලියා තිබේ! ඇය ප්‍රේමය ගැන අකුරු කර තිබේ.