සහස් සිටියේ සතුටින් නොවේ. කිසිම සතුටකින් නොවේ. අඩුම තරමේ ඇයට මේ තරමට ලොකු කතන්දර නොකියා ඉඳින්නට තිබිණ.
“මං අසනීපෙන් ඉද්දී බලන්න ආවට බොහොම ස්තූතියි! ඒත් මල් අරන් එන්න එපා ආයේ එනකොට. ගෙදර අය වැරදියට හිතනවනෙ.”
එවැනි ලොකු කතා ඔහුට කිසිම කෙල්ලක කියා නැත. කමල් විජේවර්ධනගේ ලේලිය වන්නට කෙල්ලන් කොහොමත් පොර කෑ අතර එතැනින් වඩා සුන්දර රූපයත් බුද්ධියත් හිමි සහස්ට ලැබුණේ වැඩි තැනකි. විහස්ව ඕනෑ වූයේ ආදරයම සොයන කෙල්ලකට පමණි. ජීවිතයේ වටිනාකම් සොයන කෙල්ලන් සහස්ගේ වන්නට සිහින දැකී ය.
“ඔයා සඳරැස්ගෙ නෙවෙයිනෙ. මොකටද එයාට බය වෙන්නේ?”
සහස් වහා ලියා යැවී ය.
“මං සඳරැස් අයියගෙ තමයි. මං එයාගේ මිසක් වෙන කාගෙවත්ම වෙන්නේ නෑ. ඒ නිසා මං ගැන බලාපොරොත්තු තියාගන්න එපා. මං ගැන එහෙම බලාපොරොත්තු තියාගන්න එක ඇත්තටම මටත් මානසික පීඩාවක්”
සහස්ට දුලන්‍යාගේ බෙල්ල ගැලවෙන්නට දෙකක් දෙන්නට සිතේ. ඔහු අන්කවරදාකවත් කරන්නට නොසිටි දෙයක් කරන්නට සිතුවේ එනිසා ය.
“මං එන්නද?”
ගිටාරයක් වයමින් මත් දුමාරයක ගිලී සිටී විහස්ට සහෝදරයාගේ හඬ ඇසුණේ කිහිප වතාවක් දොරට සන් කිරීමෙන් පසුව ය. ඔහු කාමරයේ දොර ඇරියේම පුදුමයෙනි. දොස්තර මහත්තයා කුණු නර පණුවෙක් සොයා ඒම පුදුමයකි. විහස් අතෙහි වූ මත් වීමේ රහස සහෝදරයාට දිගු කළේ ය.
“තමුසෙගෙ මූණ සොහොන් පිට්ටනියක් වගේ ඕයි. එනවා හඳට ගිහිං එන්න.”
මේ වැඩකට නැති ගංජාකාරයා සමඟ ප්‍රශ්න කතා කරන්නට තමන්ට පිස්සුදැයි සහස් තමන්ගෙන් ම අසා ගත්තේ ය. නමුත් සතුරාට එරෙහිව පිරිස සංවිධානය කළ යුතු වේ. දුලන්‍යාගේ කතාව අසා සිටි විහස් හිනැහුණේ දුම් වළලු පාවෙන්නට ඉඩ හරිමිනි.
“අකමැති කෙල්ලක්ගෙ පස්සෙන් යන්නේ පිස්සුද ඕයි. ඒකි අර මල් බොකේ එක වට්ස් ඇප් ගෘප් වල ශෙයා කර කර තමුසෙට පස්ස පැත්තෙනුත් හිනා වෙන්න ඇති. අනික කැම්පස් එකටම ඉන්න එකම ගෑනි ඒකිද?”
නමුත් හිත ගිය එකම යුවතිය ඇය ය. කතාව අවසන් වී නැත. සහස් ඉතිරි හරිය ද කියන්නට සිතුවේ ය. සඳරැස් මල්වැන්නගේ කතාව විහස් අසා සිටියේ දුම් වළලු පා කරමිනි.
“තමුසෙ එක්ක කතා කරන්නත් බයයිනෙ හලෝ.”
විහස් එසේ කියන්නේ උස් හඬින් හිනැහෙමිනි. ඔහු හඳ අල්ලන්නට යන ගමනක ඉන්නා නිසා හිනැහෙන බව සිතීම සහස්ට පහසු ය. නමුත් ඔහු මවාගත් ඉවසීමෙන් සහෝදරයා දෙස බලා සිටියේ ය
“සඳරැස් මල්වැන්න කියන්නේ අම්මගෙ පළවෙනි කසාදෙ ළමයෙක්නම් ඒ උඹෙයි මගෙයි අයියනෙ. අපි නිසා ඌට අම්මා නැති වුණා. ඌ පොඩි එකෙක් කාලේ ඉඳන් තනියම හැදුණු කොල්ලා. අපි එක්ක ඌ ඇරියස් වෙනවා මිසක් අපි ඇයි ඌත් එක්ක ඇරියස් වෙන්නේ?”
මත් වී දොඩවන විහස්ගේ හොම්බ කඩා දමන්නට සහස්ට සිතේ. නමුත් විහස් ගිටාරය අපිළිවෙලකට වාදනය කර සහස් දෙස බලා සිටියේ සෝපහාසයට බරව ය.
“සහකම්පනේ, මනුස්සකම වැඩිපුරම තියෙන්න ඕන රස්සාවක් නේද බං උඹ කරන්න හදන්නේ? උඹට ජීවිතේට වැරැද්දක් නොකරපු අහිංසකයෙක්ගෙන් පලි ගන්න හදන්නේ කොහොමද? ලැජ්ජා නැද්ද?”
එසේ පැවසූ විහස් තම නිවුන් සහෝදරයා ඉදිරිපිට සිට ගත්තේ තිර බැල්මකිනි. කාලයක් කියන්නට තිබූ කතාවක් කියන්නට තිබේ.
“අම්මගෙ බඩේ එක කාලයක් එකට හිටියට ඊට පස්සෙ තමුසෙවත් මංවත් එකට හිටියෙම නෑ. හොඳ පුතා කියලා උඹ අවුරුදු විසි ගාණක් රඟපෑවා. මං මං විදියට ජීවත් වුණා. හැමදාම දිනන්න ඕන උඹ කියලා උඹ හිතනකොටත් මං උඹට දිනුම දීලා මගෙ විදියට ජීවත් වුණා. මේ වතාවේ මං ප්‍රසිද්ධියේ ම උඹට විරුද්ධව සටන් කරනවා. මං සඳරැස් අයියට කරන්න පුලුවන් උපරිම සපෝට් එක දෙනවා. ඌට උගෙ කෙල්ල නැති කරගන්න මං ඉඩ තියන් නෑ.”
සහස් පුදුමයෙන් විහස් දෙස බලා සිටියේ ය.මේ අරුම පුදුම සහෝදරකම ඔහුට ගැටලුවකි.
“සඳරැස් අයියා?”
ඔහු ඇසුවේ අපහාසයෙනි.
“අපේ අම්මගෙම බඩෙන් උඹටයි මටයි කලින් ඉපදුණානම් ඒ අපේ අයියා මිසක් මාමා නෙවෙයිනෙ. අපේ පවුලෙන් අන්ත අසාධාරණයකට ලක් වෙලා ඉන්නේ අක්කයි ඌයි. මං සඳරැස් අයියට හර්ට් වෙන්න දෙන්නේ නැහැ.”
එසේ පැවසූ විහස් අයියාට පිටතට යන්නට කාමරයේ දොර විවෘත කළේ ය. ඔහුව මෙතැන තබා ගන්නට ඕනෑ නැත.
“විහස් කියන්නේ ඉස්කෝලෙ හිටිය නසරානියා. තාත්තගෙ බිස්නස්වලත් සමහර අවුල් තැන් ලිහන්නේ පොඩි විජේවර්ධන.අන්න ඒක මතක තියාගෙන අනිත් මිනිස්සුන්ගේ ජීවිත උඩ නටන්න ලෑස්ති වෙයං අයියේ.”
විහස් විජේවර්ධනට මේ මොහොතේ ඕනෑ වී තිබුණේ එක දෙයකි. ඒ සඳරැස් මල්වැන්න මුණ ගැසෙන්නට ය. විජේවර්ධන කෙනෙකු සහ මල්වැන්න කෙනෙකු වීම සහෝදර රැහැනට හසු වන්නට බාධාවක් නොවන බව කියා සඳරැස්ව තරයේ වැළඳ ගන්නට ය. සහස්ගේ ආඩම්බරකාරකම හන්දා කිසිම දවසක විඳින්නට නොලැබුණු සහෝදර ස්නේහය විඳ ගන්නට ය.
(වැඩිය ලස්සනටත් දිගටත් නොලියවෙන කාලයකත් ආදරය නොකඩවා දෙනවට ස්තූතියි. අදහස් ලියා යන්න. මට වැඩියෙන්ම වටින්නේ ඒ අදහස්)