කාගෙ වුණත් ඉවසීම් සහ දරාගැනීම්වලට සීමාවක් ඕනෙ නේද?

0
529

ප්‍රේමවන්තියක් තේරුම් ගන්න ප්‍රේමවන්තයෙකුට ඇත්තටම පුළුවන් ද? බිරිදක් තේරුම් ගන්න සැමියෙකුට ඇත්තටම පුළුවන් ද? එහෙමත් නැත්නම් කෙල්ලෙක් තේරුම් ගන්න කොල්ලෙකුට ඇත්තට ම පුළුවන් වේවිද? දවස ඔහුගේ කරගෙන ඔහුට ඕන ඕන විදියට වැඩ කරන, ඇගේ හැඟීම් ගැන, ඇගේ ආදරය ගැන කිසිම තැකීමක් නැති, කොහොමටත් ඇය ඔහුව අතහරිනෙකක් නෑ කියලා හිතාගෙන කටයුතු කරන ඔහු ගැන ඇයට මොනව ද හිතෙන්නේ? මොනවද නොහිතෙන්නේ? කාගෙ වුණත් ඉවසීම් සහ දරාගැනීම්වලට සීමාවක් ඕනෙ නේද?

ඇමරිකානු ගායිකා බියොන්සේ විසින් ගායනා කර ඇති මේ ගීතයෙන් කියැවෙන්නේ ඒ ඉවසීමේ රතුඉරටම ළඟා වුණ කෙල්ලකගේ හිතිවිලි සමුදායක්. ඇය හිතනවා එකම එක දවසකට හරි ඇයට කොල්ලෙක් වෙන්න ඇත්නම් ඇය හැසිරෙන්නෙ මෙහෙම නෙමෙයි කියලා. යාලුවො එක්ක බියර් බොමින්, කෙල්ලන් පස්සේ යමින්, හිතෙන විදියට රස්තියාදුවෙන්න කොල්ලෙකුට තියෙන නිදහස ඕනෑවටත් වඩා වැඩියි.  මොනවා කළත් ඔහු පිළිගන්න කෙල්ල සැදීපැහැදීඉන්නවා කියලා ඔහු හිතාගෙන ඉන්නඑක කොයිතරම් වැරදිද? ඇයට ඇහුන්කන් නොදෙන එක, ඈ නොතකා හරින එක ඇයට දැන් ඇතිවෙලා. දවසකට හරි ඈ කොල්ලෙක් වෙලා ඔහු කෙල්ලෙක් වුනානම් ඔහුට මේක තෝරලා දෙන්න තිබුණා. නමුත් තවමත් ඔහු කොල්ලා. ඇයට මේ තත්වය තවත් දරාගන්න බැහැ. ආපහු හැරෙන්න බැරිතරම් දුරකට ඔහුගෙන් දැන් ඇය දුරස් වෙලා. ඔහු හිතනවනම් ඒක එහෙම නෙවෙයි කියලා, ඒ ඔහුට වැරදිලා. මේ තමයි ගීතයේ සමස්ත අදහස. Creative You විශේෂාංගයට අපි මේ ගීතය තෝරාගන්න හිතුවේ මේ ගීතයේ කතානායිකාවට හිතෙන දේ බොහෝ කාන්තාවන්ට අත්විඳින්නට සිදුව ඇති නිසාමයි. ඒත් හොඳ සන්නිවේදනයක් දෙන්නා අතරෙ මුල ඉඳලම පවත්වාගෙන යනවනම් කිසිම කාන්තාවකට මේ වගේ පීඩා විඳින්නවෙන්නෙ නැහැ.

– නෙරංජලා –