මට ආයේ හිතන්න දෙයක් නෑ..මං තීරණයක් ගත්තේ හොඳට හිතලා මතලා ඒ තීරණේ ගැන ආයේ හිත හිතා නාස්ති කරන්න මට කාලයක් නෑ”
යොමාල් එහෙම කියලා ගෙදරින් ගිහින් දැන් සෑහෙන වෙලාව ගත වෙලා. එයා යන්න ඇත්තේ කොහෙද කියලා දැන දැනම මම එයාට දුරකථන ඇමතුම් දහයකටත් වඩා දෙන්න ඇති. ආත්මාභිමානය කියලා දෙයක් මනුස්සයෙකුට තියෙන බව ඇත්ත. ඒත් මං ඒ අභිමානය මේ කාලයේ පුදුම තරම් ඇති කරගත්තා කියලා මම නොදන්නවත් නෙවෙයි. ආදරේ නාමෙන් ගෑනියෙක්ට කරන්න බැරි මොනවද කියල එතකොට මට හිතෙනවා.
ආදරේ නාමෙන් ද? නැත්නම් පුතා වෙනුවෙන් ද? ඇත්තටම මට ඒ ගැනවත් අදහසක් නෑ.
“ඇයි..”
අවසානයේ යොමාල් ඇමතුමට සම්බන්ධ වුණා.එහා පැත්තේ ඉඳලා එයාගේ හඬ ආවේ රළු විදියකට. මං ගොළු වෙලා බලාගෙන හිටියා.
“ඔයාගේ පුතා අඬනවා යොමාල්..”
ඊටත් පස්සේ මම වචන හොයා ගත්තා. යොමාල් කිසිම දෙයක් නොකියා ෆෝන් එක කට් කළා. එයාට කතා කරන්න ඕනෑ නැද්ද, නැත්නම් කතා කරගන්න බැරිද කියලා මට ඇත්තටම තේරෙන්නේ නෑ.
මේ ගෙවෙන්නේ අපේ විවාහයේ පස්වෙනි අවුරුද්ද.අවුරුදු තුනක පුතෙක් එක්ක ලෝකෙම අයිති වෙලා වගේ ජීවත් වුණු මගේ ලෝකේ කුඩුපට්ටම් වෙලා දැන් මාස හය හතකට වැඩි නෑ.
“හොරයිසන් හොටෙල් එකට මේ දැන් එන්න මිස්.මිස්ට යොමාල් ඉන්නේ හොටෙල් එකේ.එයාගෙ ඔෆිස් එකේ පොඩි කෙල්ලක් එක්ක..දැන්ම ආවොත් අතටම අල්ලා ගන්න පුලුවන්.”
එහෙම ආරංචි නම් කාට දෙන්න බැරිද කියලා මුල්ම ඇමතුම ආව දවසේ මම හිතුවේ හිනා වෙන ගමන්. මිනිස්සු සතුටින් ඉන්නකොට ඇස්වල කටු ඇනුණු උදවිය වෙනුවෙන් වෙන් කරන්න මට කාලයක් තිබුණේ නෑ. මං ෆෝන් එක කට් කරලා මගේ පාඩුවේ හිටියේ ඒ නිසා.
“මිස්ට අදවත් මේක විශ්වාස කරන්න බැරිද? නැත්නම් දැන දැනම අමාරුවේ වැටෙන එක මිස්ට සතුටක්ද?
ඊළඟ ඇමතුමට මම දන්න අසභ්‍ය වචන ඔක්කොම ටික පාවිච්චි කරන්න මං වග බලා ගත්තා.හැබැයි මේ මොන ආරංචියක්වත් යොමාල්ට නොකියන්න මම ප්‍රවේසම් වුණා. ඔෆිස් එකේ වැඩ, ගෙදර හැම දෙයක්ම ඔලුවේ පුරවාගෙන ඉන්න එයාව නිර්නාමික ඇමතුම් ගැන කියලා අවුල් කරන්න මට කිසිම උවමනාවක් නෑ.
ඔෆිස් එකේ නැහිලා නැහිලා ගෙදර එන මනුස්සයාගේ ඔලුවට මෙහෙම දේවල් දාලා ඔලුව නරක් කරන එක ගෑනියෙකුට වටින්නේ නෑ. මං හිතුවේ එහෙමයි.
ඒත් යොමාල් වෙනස් වෙන්න ගත්තේ ඇහිපිය ගහන වේගෙන්.රෑට කන්නවත් ගෙදර එන්න බැරිතරමට ඔෆිස් වැඩ ගොඩ ගැහෙන්න ගත්තා. දවල් කෑම එකට තිබුණු දේවල් ගැන එයාටම අමතක වුණා. රෑ වෙනකම් ඔෆිස් වැඩ කියල ඔෆිස් කාමරේට වෙලා ඉන්න ගත්තා. හැබැයි වෙනදට වඩා ලස්සනට අඳින්න නම් යොමාල්ට අමතක වුණේ නෑ. අලුත් ප්‍රමෝෂන් එකක් ලැබෙන්න නියමිත කතාවක් මට කිව්වෙත් එයාමයි. ඒ නිසා ඊයේ වෙනතුරුම මම හිතුවේ යොමාල් සෑහෙන තරම් කාර්යබහුල වෙලා කියලා විතරයි. සැක කරන්නේ මොකටද? ඒ මගේ යොමාල්!
“යොමාල්, මට ෆෝන් එක දෙනවද?අම්මට කෝල් එකක් ගන්න ඕනෑ.මගෙ ෆෝන් එකේ ක්‍රෙඩිට් නෑ..”
වෙනදා මං එහෙම කියලා එයාගේ ෆෝන් එක අතට ගන්නකොට හැරිලවත් නොබලන යොමාල්මං දිහාට පැනගෙන ආවේ මං මහා වැරැද්දක් කරන ගාණට. ඊටත් පස්සේ මගේ අතේ තිබුණු ෆෝන් එක උදුරලා ගත්තා. හොරෙක් මංකොල්ලකාරයෙකුට කතා කරන කටහඬකින් මට කතා කළා.
“මොකටද මගෙ ෆෝන් එක අල්ලන්නෙ..”
ලෝකේ ඉන්න ලොකුම වැරදිකාරයට කතා කරන කටහඬින් යොමාල් මගෙන් එහෙම අහනකොට මට තිබුණේ අහිංසක උත්තරයක්.
“ඉතින් අනේ අම්මට කෝල් කරන්න ඕනෑ. එයා ටිකක් අසනීපෙන් ඉන්නෙත්”
යොමාල්ගේ ෆෝන් එකේ මං දන්න පාස්වර්ඩ් එක වැරදි බව ඊළඟ මොහොතේ මං දැන ගත්තා.එයාට කෝල් එකක් ආවේ ඒ වෙලාවේ. ඇමතුම ආපු නම සේව් වෙලා තිබුණේ බොහොම ආදරණීය විදියට. හිතට ආපු ආවේගයට මං ඒ ඇමතුම අහගෙන හිටියා.කිසිම වචනයක් කියන්න මට ශක්තියක් තිබුණේ නෑ.මම මොකුත්ම නොකියා අහගෙන හිටියා. ගලාගෙන ආව ප්‍රේමණීය වදන් මට කීවේ මම අහපු හැම නිර්නාමික කතාවක්ම ඇත්තක් බව විතරයි.මාව ගැහෙන්න ගත්තේ අයිස්ලන්තේ අතරමං වෙලා වගේ. යොමාල් මං දිහා නොබලම යන්න ගියා. ෆෝන් එක උදුරගෙන එළියට යන්න ගියා. මං බිම ඉඳගෙන රෑ පුරාම අඬපු බව විතරක් මට මතකයි. යොමාල් ඔෆිස් කාමරේට ගිහින් දොර වහගත්තා.අද උදේ මං ළඟින් හිටගත්තේ මං ආදරේ කරපු යොමාල් නෙවෙයි. සහමුලින්ම වෙනස් මනුස්සයෙක්
“මං මේක හෙමින් කියන්න හිටියේ..ඕපදූප හොයන්න ගිහින් කලින්ම දැනගත්තනෙ..අපි ඩිවෝස් වෙන්න ඕන.. ඒක ඉක්මනින් කරන්න ඕන.”
ඒ වචන මගේ පපුවේ ඇනිලා ලේ ගලන්න ගත්තා.ඩිවෝස් වෙමු කියන එක අපි එළියට ගිහින් කෑම කමු වගේ සරල හඬකින් කියන්න අවුරුදු ගාණක් ආදරේ කරපු පිරිමියට පුලුවන්ද? දරුවෙක් හදලා උස්මහත් කරපු ස්වාමි පුරුෂයට පුළුවන් ද? මට කෑගහලා අහන්න ඕනෑ වුණා. ඒත් වචන හිර වෙලා මං ඔහේ බලාගෙන හිටියා.එයා වෙන සම්බන්ධයක ඉන්න බව ඇස් පනා පිට පේනකොට පවා මං ඇඬුවේ වැරැද්ද මගේ ගාණට.
“අනේ බෑ..ඩිවෝස් වෙන්න බෑ..පුතාටයි මටයි ඔයාව ඕන.. අනේ අපිව දාලා යන්න එපා”
ඒත් යොමාල් ඒ වචන අහගෙන හිටියෙවත් නෑ. ඒ වෙනුවට වචනවලින් මිනී මරන හැටි ඔප්පු කරමින් හිටියා.
“මං ඔයාට ආදරයක් නැත්නම් ඔයා ඇයි මං ගාව ඉන්නෙ.. මං ආදරේ කරන කෙනා ළඟට යන්න මට ඉඩ දෙන්න.”
විලාප ගහලා අඬන මට මට ලැබුණේ එහෙම උත්තරයක්. මං ඊළඟ තුරුම්පුව, අවසාන තුරුම්පුව පාවිච්චි කරන්න තීරණය කළා.
“පුතාට ඔයාව ඕන..”
එහෙම කියනකොට මට අඬා ගන්නවත් පණ තිබුණේ නෑ. මං ඒ තරමටම දුර්වල වෙලා.
“මං එයාට යුතුකම් නොකර ඉන්නෙ නෑ..එයා සදහටම මගේ ලොකු පුතා. දරුවට මාව නැති වෙන්නේ නෑ.”
ඒ තමයි ඒ තරම් විශාල ප්‍රශ්නයකට එයාට දෙන්න තිබුණු උත්තරේ.”මට ආයේ හිතන්න දෙයක් නෑ..” යන්න කලින් එයාට කියන්න තිබුණේ එච්චරයි.
අගපිපි මල් ටෙලි නාට්‍යයේ සින්දුව මගේ ඔලුව ඇතුළේ වාදනය වෙන්න අරන් සෑහෙන වෙලාවක්.මේ මානසික කම්පනය මැද්දෙන් ඒ සින්දුව මිසක් වෙන කිසිම දෙයක් මට මතක් වෙන්නේ නෑ. මගේ කතාව සහමුලින්ම මට ඇහෙනවා වගේ. මට ඉකි ගැහෙන වාරයක් ගාණේ ඒ ගීතය ඔලුව ඇතුළේ වාදනය වෙනවා.
“කාලයක් නැති තාලයක් නැති
විජිතයේ කටු ඔටුනු හැර යමි
කාලයක් අපි ආදරෙන් සිටි
සොඳුරු මතකය අරන් යන්නෙමි”
මං ගේ පුරාම ඇස් යැව්වා.අවුරුදු ගාණක මතක මොනතරම් ද? ඒත් මගේ හිස මත තිබුණු මැණික් ඔටුන්නේ හිමිකාරිය වෙනත් ගැහැනියක් නම් මට ඒ ආදරය කටු ඔටුන්නක් කර ගන්න උවමනා නෑ.
මං නැගිට්ටේ හිත හදාගෙන.දැන්ම ලෑස්ති වෙලා ගෙදර යන්න ඕනෑ.රෑ වෙන්න කලින් මට මගේ ගමේ ගෙදර යන්න පුලුවන් වන බව මම දැනගෙන හිටියා.
දික්කසාදය!
ඒ වචනයවත් යොමාල් නැති ලෝකයවත් පහසු එකක් නොවන බව මම දන්නවා. මට මාත් එක්කත් අවට ලෝකයත් එක්කත් සටන් කරන්න සිද්ධ වෙන බවත් මම දන්නවා.ආදරය අත් හැරුණට පස්සේ ජීවිතේට මොන කුණාටු ආවත් දරා ගන්නට ගෑනියෙකුට එන ශක්තිය ගැන මට දැනුණේ පුදුමයක්. මං හැම කුණාටුවක්ම දරා ගන්නවා.
කටු ඔටුන්නක් බිම තිබ්බ මට හිනා වෙන්න හයිය කොහොමහරි ලැබෙන බව මට විශ්වාසයි.