“ආදරේ කියන්නෙ සතුටට කියන තවත් නමක්. අපිට මුලු ජීවිත කාලය පුරාවටම කොච්චර සම්බන්ධකම් තිබුණත් අපිට කෙනෙක් එක්ක හදවතින්ම ආදරයෙන් බැඳෙන්න පුලුවන් මුලු ජීවිත කාලෙටම එකම එක පාරක් විතරයි.
අපි සමහර වෙලාවට කියනවනෙ “එයාව ගැළපෙන්නෙ නැත්තම් වෙන් වෙන්න” කියල. ආදරේදි වුණත් “රැඩිකල් වෙන්න ඕන” කියල. ආදරේදි අපිට කවදාවත් රැඩිකල් වෙන්න බෑ.
ඇත්තටම අපි කෙනෙක්ට ළං වෙන්නෙ, එයාගේ පාට්නර් වෙන්නෙ ආදරේ හේතු කර ගෙන නම්, කාලයක් ගියාට පස්සෙ එයාව මට ගැළපෙන්නෙ නෑ කියල හිතෙන්නෙ කොහොමද?
එහෙම පස්සෙ කාලෙක වෙන් වෙන්න හිතනවනම් එතන තිබිල තියෙන්නෙ ආකර්ෂණයක් මිසක් ආදරයක් නෙවෙයි.
සැබෑ ආදරය අපිට දුටු මොහොතින්ම හිතට දැනෙනව. එහෙම ආදර කතා මරණයෙන්වත් අවසාන වෙන්නෙ නෑ
ඒ නිසා ආකර්ෂණය ආදරය කියල වරදවා වටහාගන්න එපා”
-චරිත්‍රා-
නුගේගොඩට විදුලිය නැත. අඳුරින් පිරී ඇති නිදන කාමරයේ ඇඳ මතට වී සියොළඟින් දහදිය වගුරුවාලමින් දුරකතනයට එබී එසේ ලියා තැබුවේ චරිත්‍රා ය.
චරිත්‍රා මිහිසුරණි විජේබණ්ඩාර
චරිත්‍රා විසි හත් වියැතිය.
සුන්දරය.
දිගු කැරළි කෙහෙ රැළි ඇති සුන්දර තරුණියකි.
ආදරය සහ ජීවිතය ගැන ඉතාම සුන්දර වදන් මුහුණු පොතේ ලියන බැවින්, දහස් ගාණක් මිනිසුන්ගේ සිත් තුල “මාරම සුපිරි චරිතයක්” වී ජීවිත් වන්නියකි.
ජීවිතය අවංක අදහස් සහ සිතුවිලි වලින් පිරී තිබිය යුතුයැයි මුහුණු පොත තුළ කොතෙක් වචන හරඹ කරද චරිත්‍රා සැබෑ ජීවිතය ගෙවන්නේ එවදන් වලට වඩා සහමුලින්ම වෙනස්වය.
“ජීවිතේ තියෙන්නෙ එන්ජෝයි කරන්න. ඒකෙනුත් හැමදේම ට්‍රයි කරල බලන්න අපිට චාන්ස් එක හම්බෙන්නෙ මේ තරුන කාලෙ විතරයිනෙ”
පෙරදා රැයේ නොනිදා කේෂිත සමගින් ඕෂන් බ්‍රීස් හෝටලයේ රැය පහන් කරන අතරතුර මදකට කතා බස් කරද්දී කේෂිත පැවසුවේ කෙතරම් නම් ඇත්තක්දයි චරිත්‍රාට නිරතුරුවම සිතේ.
දුටුවන් මන බන්දවන රූ සපුවක්, හොඳින් මුදල් අතපත ගාන්නට ලැබෙන රැකියාවක්, මුහුණු පොතේ ඉහළ පිළිගැනීමක්, දෙමව්පියන් කොළඹින් දුර බැහැර දෙණියායේ වෙසෙන බැවින් ලැබුණු නිදහසත් ප්‍රයෝජනයට නොගෙන හිඳීම තරම් තවත් මෝඩකමක් තිබේද?
ජීවිතයේ මෙතරම් දුර එන්නට තමා කොපමණ කැපකිරීම් කර තිබේදැයි පවසමින් මුහුණු පොතේ සිටින අක්කලා නංගිලා දිරිගන්වන චරිත්‍රා ඔය කියනා තරම් කැපකිරීම් කර නොමැති බව දන්නේද ඇයම පමණකි.
කැමති දේ කමින් බොමින්, කමින් තැනක යමින් එමින් ගෙවන ජීවිතය කුරුළු පිහාටුවකටත් වඩා සැහැල්ලු ය.
අවිහිංසක ගැමියන් වන අම්මා සහ තාත්තා වාසය කරන්නේ දෙණියායේ බැවින් ඇය ගෙන සොයන්නට කිසිවෙකුත් නැති බැවින් ජීවිතය සැහැල්ලුය.
“කොළඹ ගියා වගේ නෙමෙයි පුතේ ගෑණු ළමේක් හන්දා පරිස්සමෙන් ඉන්න ඕන.ඔය නොදන්න දේසෙක මිනිස්සු අස්සෙ පුතා ගැන හොයන්නවත් කවුරුවත් නෑ නෙව” යැයි චරිත්‍රා විශ්ව විද්‍යාලයට එන්නට පෙර දින ගෙන යන්නට අවශ්‍ය දෑ පිළියෙල කරද්දී ළඟම හිඳ පැවසුවේ අම්මා ය.
දියණිය තරමටම උගත් නොවුවද මිනිසුන්ගේ සැබෑ සිතුම් පැතුම් ගැන දැන් හුන් අම්මා ය.
එනමුත් ජීවිතයේ නිදහස් නිස්කලංක බවම විටෙක කෙතරම් නම් කම්මැලි සහගත ද?
එවන් මොහොතක යමින් සිටින මගින් මදක් එපිටට ගොස් පැමිණීම යමෙකු වරදක් බව කියන්නේ නම් එය චරිත්‍රාට ගැටළුවක් නොවේ.
ජීවිතය ඇත්තේ විඳින්නටය. සමාජයට හෝ වෙනයම් කිසිවෙකුට බයේ ජීවිතය නොවිඳ සිටීමේ අයිතිය ඕනෑම අයෙකුට ඇතත්, එය මෝඩකමකි.
එනමුත් ජීවිතයේ සැබෑ තතු මුහුණු පොත හරහා කිසිවෙකුට කියන්නට උවමනා නොවේ.
ආදරය සුන්දර බවටත්, තම ජීවිතයේ එකම අරමුණ කෙදිනක හෝ වන ගැබක් අසල, කලබලකාරී නාගරික ශබ්දයන් නොඇසෙන ඉමක, නිහඬ, නිස්කලංක ජීවිතයක් ගෙවීම බව චරිත්‍රා මුහුණු පොතේ නිරත්තරයෙන් ලියා තබයි.
“අක්කා වගේ ජීවිතේ ගැන හොඳටම තේරුම් ගත්ත කෙනෙක්ට ඒ වගේ නිස්කලංක ජීවිතයක් ගෙවන එක මහ දෙයක් නෙවි”
“ලස්සන සූරියකාන්ත කෙල්ලට බලාපොරොත්තු වෙන ජීවිතේම ලැබෙන්න ඕන”
ලියා තබන්නා වූ එකම එක වදනක් වෙනුවෙන් වුවත් ඇයව දිරි ගන්වමින් පිළිතුරු එවන මුහුණු පොතේ මිතුරන් චරිත්‍රාට ඇති විශාලතම සම්පතකි.
ඔවුන්ට අනුව මුහුණු පොතේ පෙන්වන “යහපත්, ගුණගරුක, දුර දක්නා චරිත්‍රා” යනු ස්ත්රීත්වයේ ප්‍රතිමූර්තියයි.
එහෙත් සැබෑ ජීවිතයේ විවාහක සැමියා ඈත දුරු රටක වෙහෙසී මුදල් ඉපයමින් හිඳිද්දී, එබව අමතක කර මෙන්, විටින් විට ඇති කරගන්නා අනියම් කෙටි සබඳකම් හා බැඳෙන චරිත්‍රාව ඔවුන් හඳුනන්නේ නැත.
වෙහෙසකාරි දිවියේ ඉඩකඩ ලැබෙන සෑම මොහොතකම ආදර වරුසා හැකි පමණ වස්සවන්නට කටයුතු කරන මිහික චරිත්‍රාගේ සැමියාය.
පාත දුම්බර කුලවත් පවුලක එකම පුතණුවන් වූ මිහික සදෙව් දෑලබණ්ඩාර උගත්, නිරහංකාර, ප්‍රේමණීය චරිතරයකි. චරිත්‍රා යනු ඔහු විසින් ප්‍රේම කරන ලද එකම කෙනා යැයි කීම බොරුවක් නොවේ.
වසර එක හමාරකට පමණ පෙර චරිත්‍රාව විවාහ කරගත් මිහිකට, මෘදුකාංග ඉන්ජිනේරුවකු ලෙස ඈත රටක ඉහළ පඩියකට රැකියාව හිමි ව අවුදින් දැන් වසරකට ආසන්නය. ලැබෙන ඉහළ වැටුප නිසි පරිදි ආයෝජනය කර හිඳින්නට නිවසක් සහ නිවසට අවශ්‍ය අනෙකුත් අංගෝපාංග මිල දී ගත් මිහිකගේ වෑයම හැකි ඉක්මනින් චරිත්‍රාව එරටට ගෙන්වා ගැනීමයි.
පාතරට ගමක කෙල්ලක වූ චරිත්‍රාව මිහිකට හමු වූයේ ද මුහුණු පොත හමුවේ ය.
ඇය ලියූ ලිපියකට වැටුණූ කමෙන්ට් එකක්, මැසෙන්ජර් ඔස්සේ බෙදා හදාගත් කෙටි පණිවිඩ රැසක් අවසානයේ දෙදෙනාව විවාහයෙන් එක් කරන්නට සමත් විය.
“පාතරට එකියකට පය ගහන්න දෙන්න පුලුවන්ද අපෙ මේ වලව්වලට” කියමින් මිහිකගේ හා චරිත්‍රාගේ සබඳතාවය ඉදිරියේ ඩෙඟා නටන්නට පටන් ගත්තේ මිහිකගේ මව් දෙමව්පියන් නොව ලොකු අම්මා, නැන්දම්මා වැනි නෑයන් ය.
“මම ඔයාට ආදරේ කරේ කවුරු මොන දේ කිව්වත් ඔයාව අතාරින්නෙ නෑ කියල හිතාගෙනමයි. අපි දෙන්නගෙ සම්බන්දෙ මැරේජ් එකකින් ඉවර වෙනවද නැද්ද කියන එක තීරණය කරන්නෙ ඔයයි මමයි මිසක් අපේ නෑයො නෙවෙයි මැණික්. ඒ නිසා ලොකු අම්මල කියන ඒව ගැන ඔයා හිතන්නම එපා” යැයි කියාසියලු නෑයන් ඉදිරියේ, පෝරු මස්තකව අත පැන් වක්කර බැඳුණු බව සැබෑවකි.
එහෙත් චරිත්‍රාගේ ඩිජිටල් ලෝකයටද, නිරත්තරයෙන් බැඳෙන කෙටි සබඳකම් වල අයිතිකරුවන්ටද මිහික ආගන්තුකයෙකි.
ආදරය ගැනත්, විරහව ගැනත්, පවිත්‍ර සබඳතා ගැනත්, යහපත් ආකල්ප ගැනත් නිරතුරුවම ලියවෙන වදන් තුල කෙදිනකවත් මිහිකට ඉඩක් නොදෙන්නට චරිත්‍රාට අවැසි වූයේ ඇයි දැයි චරිත්රාවත් දන්නවාදැයි යන්න සැකයකි.
උපන්දිනයට ලැබෙන වටිනා තෑගිද, මිහික වැනි උගත්, කඩවසම් තරුණයකු හා විවාහය නිසා ලද පිළිගැනීමද, කෙදිනක හෝ දිනෙක යුරෝපීය රටක ඉතාම සුවපහසු දිවියක් ගෙවන්නට ලැබෙන ඉඩකඩද අත නොහැර ගන්නට නම්, ඒ ජීවිතයත් මේ ජීවිතයත් එක හා සමානව සමබරව ගෙන යාමට හැකිවිය යුතු ය.
නුගේගෝඩ හතේ කණුව අසල ඇති ඇඹුල් තියල් අවන්හලෙන් ගත් අඹ මාලුවද, පරිප්පුවද, ගොටු කොල සම්බෝල සහ සෝයා බැඳුම සහිත රතු බත් පාර්සලය කන්නට දැඩි උවමනාවක් තිබුණත් නුගේගොඩට විදුලිය එන්නට තව විනාඩි දහයක පමණ කාලයක් තිබේ.
විදුලිය නොතිබුණත් දුරකතනයේ බැටරි ඇත.
බැටරි බැස්සද පැය ගාණක් වුව චාර්ජ් කරගන්නට හැකියාව දෙන මිහික ගෙන ආ පවර් බෑන්ක් එක ඇති බැවින් බය වන්නට කාරණාවක් නොමැත.
විදුලිය විසන්දි වී ඇති බැවින් අවට පරිසරයේ ඇති නිහඬතාවය දරා ගත නොහැකි තරම් ය. නුගේගොඩ නාලන්දාරාම පාරේ නිවසක උඩු මහල සම්පූර්ණයෙන්ම කුලියට ගෙන දිවි ගෙවන්නට පටන් ගෙන දැන් වසර කිහිපයක් ඉක්ම ගොසිනි. එනමුත් නිරතුරුවම බැල්කනියෙන් එපිට දකින ලෝකයේ වෙනසක් වී නොමැත. ජීවිතය හා සසඳන කල පරිසරය වෙනස් කම් වලට ලක්වන්නේ අඩුවෙන් සහ සෙමෙන් යැයි චරිත්‍රාට සිතේ.
“මිහික වෙනුවෙන් අනිත් අයව අතෑරගන්න මට බෑ. කන්ටැක්ට්ස් නැතුව මේ ලයිෆ් එක මෙච්චර ස්මූත්ලි රන් කරන්නත් බෑ. අනික ඉතින් මිහික ලංකාවට එන්නෙ අවුරුද්දට එකපාරක් නැත්තම් දෙපාරක් නෙ. එහෙම එකේ මේ එයා වෙනුවෙන් මට අනිත් ඉම්පෝටන්ට් කන්ටැක්ට්ස් නැති කරගන්න පුලුවන් කමක් නෑනෙ”
රබර් බෝලයක් වතුර යට ඔබාගෙන සිටින තාක්කල් එය වතුර යටම රැඳේ. අත උඩට ගත් විගස බෝලයද උඩට මතුවේ. එලෙස විටෙන් විට උඩට මතුවන හෘද සාක්ෂිය හමුවේ වගඋත්තර බඳින්නට අවැසි පිළිතුරක්ද චරිත්‍රා සතුව ඇත.
ජීවිතයට සැමවිටම පැති දෙකක් ඇත. එකක් අප පෙන්වන පැත්තය. අනෙක නම් නොපෙන්වන පැත්තය. එනම් හෘද සාක්ෂියයි.එකී හෘද සාක්ෂිය රවටමින් ජීවිතය ගෙවාලන්නට අපිට හැකියාව කෙතරම් තිබුනද කෙදිනක හෝ ඒ පිළිබඳව පසු තැවෙන අවස්තාවක් එනු නැතැයි කිවහැක්කේ කාටද?
- – උදතාරි –