ඔබේ උස වැඩිකර පෙන්වන විලාසිතා

තව චුට්ටක් උසට පෙනුනනම් කියල ඔබට කවද හරි හිතිල තියෙනවද ?

ඔන්න එහෙනම් අද මේ ලිපිය ඔබ වෙනුවෙන්මයි.

උස අඩු ඔබේ උස වැඩි කරල පෙන්වන්න ඔබ නිවැරදිව තෝරගන්න විලාසිතා වලට පුළුවන්. ඉතිං අද අපේ සූදානම ඒ විලාසිතා ගැන ඉඟි කීපයක් ඔබට ලබාදෙන්නයි. 

ඇඳුම් තෝරාගැනීමේදී  ඔබ සැළකිලිමත් විය යුතු කරුණු

කොට ඇඳුම්

කොට ඇඳුම් ඔබේ කකුල් වල දිග වැඩිකර පෙන්වනවා.

ඒ නිසා ඔබේ දණිස්සට ඉහළින් අවසන් වෙන කොට ඇඳුම් තෝරගන්න ඔබට පුළුවන්. දණිස්සේ සිට අඟල් 03 ක් පමණ ඉහලට නම් වඩා සුදුසු බවයි පිළිගැනීම.

කොට කලිසම් වලින් ඔබේ ඉණ වෙන්වන තැන පහසුවෙන් හඳුනාගත හැකිවීම නිසා කොට කලිසම් වලට වඩා කොට සායවල් හා කොට ගවුම් තමයි ඔබට ගැළපෙන්නෙ. 

මීට අමතරව crop top හා short blouse (කොට ටී ෂර්ට් හා කොට බ්ලවුස්) ඇඟේ ඉණෙන් උඩ කොටසේ දිග අඩුකර පෙන්වීම නිසා කකුල් වල දිග වැඩි වී පෙනීමත් ඔබට වාසිදායක වෙනව. 

දිග ඇඳුම්

දිග ගවුම් (maxi dress), jumpsuits, දිග කලිසම් වගේම දිග සායවල් වලට ඔබේ සිරුරේ උස වැඩිකර පෙන්වන්න පුළුවන්.

මෙහිදී ඔබේ යටි පතුල් දක්වාම දිග ඇඳුම් තෝරාගැනීමට සැළැකිලිමත් වීම අනිවාර්යයි. 

ඔබේ වළලුකර දක්වා දිග සහ දණිස්සෙන් මඳක් පහලට දිග ඇඳුම් ඔබට ගැළපෙන්නෙ නෑ. 

ඒවාගෙන් ඔබේ කකුල් පිටතට නිරාවරණය වීමෙන් කකුල් වල සැබෑ උස පෙනෙන නිසා යටිපතුල් දක්වාම දිග ඇඳුම් තෝරාගැනීම තමයි ඔබට වඩා සුදුසු වෙන්නෙ. 

එකම මෝස්තරය හා පාට උරහිසේ සිට යටි පතුල් දක්වාම තිබෙන නිසා  ඔබේ සිරුරේ උස වැඩිකර පෙන්වන්න දිග ගවුම් කියන්නෙ ඉතාම හොඳ තේරීමක්. 

සායවල් හා කලිසම් තෝරගැනීමේදීත් යටි පතුල් දක්වාම දිගට තෝරගැනීම වැදගත්.

කලිසම් තොරාගැනීමේදී දණිහිසෙන් පහලට විහිදී යන flare leg pants තෝරා ගැනීම වඩා සුදුසුයි. 

මීට අමතරව straight, boot cut, wide leg pants ඔබේ සිරුරේ හැඩය වැඩිකර කකුල් දිගු කර පෙන්වනවා. 

මෙහිදී high rise ඒමත් නැත්නම් ඔබේ ඉණෙන් උඩට ඇඳිය හැකි කලිසම් හා සායවල් තෝරා ගැනීමත් ඉතා වැදගත්. 

ඒවාට ඔබේ කකුල් වල දිග වැඩිකර පෙන්වන්න වගේම ඉණ උස්කර පෙන්වන නිසා සිරුරේ හැඩය ඉස්මතු කරල පෙන්වන්නත් පුළුවන්. 

මීට අමතරව,

දිග කෝට් සහ දිග scarves (ස්කාෆ්) පලදින්නත් ඔබට පුළුවන්. 

කෝට් වල බොත්තම් විවෘත කර පැළදීම හා scarves කරට මඳක් පහලින් ගැටගසා දිගට පැළදීමෙනුත් ඔබේ සිරුරේ සිරස් හැඩය වැඩිකර පෙන්වනවා. 

ඇඳුම් වල හැඩය

මෙහිදී ඔබට V කර සහිත ඇඳුම් හොඳ තෝරා ගැනීමක් වෙනවා. 

ඊට අමතරව සිරුරේ හැඩය ඉස්මතු වෙන සිරුරේ ගානට ඇති ඇඳුම් තෝරාගැනීමත් වඩා සුදුසුයි.

oversize (සිරුරට වඩා විශාල) ඇඳුම් වලින් ඔබේ සිරුරේ තිරස් පෙනුම ඉස්මතු කිරීම එයට හේතුව ලෙස සඳහන් කරන්න පුළුවන්. 

නිවැරදි සපත්තු හා පාවහන් තෝරාගැනීමත් ඉතා වැදගත්

අඩි උස පාවහන් ඔබේ උස හොඳින් වැඩිකර පෙන්වනවා.

දණහිස් දක්වා දිග බූට්, යටි පතුල් සම්පූර්ණයෙන් ආවරණය කල හෝ භාගයක් ආවරණය කරන coat shoes තෝරා ගැනීමත් වැදගත්. 

වළලුකර දක්වා වැසෙන coat shoes, පටි සහිත පාවහන් තෝරා ගැනීමෙන් ඔබේ කකුල් වල සැබෑ උස පෙන්වා ඔබේ මිටි බව ඉස්මතු කර පෙන්වනවා.

මීට අමතරව ඔබේ කලිසමේ හා සපත්තු වල පාට එකම පාටක් වීමත් ඔබේ කකුල් වල දිග වැඩි කර පෙන්වීමට උපකාරී වෙනව. 

ආභරණ හා පැළදුම් ගැනත් දැනුවත් වෙමු

බෙල්ලට හිර නොවුනු දිග මාල ඔබේ ඉණෙන් උඩ කොටසේ උස වැඩි කර පෙන්වනවා. 

පළල අඩු ඉණ පටි (belt) ඔබේ සිරුරේ උඩ කොටස හා පහල කොටස අතර පරතරය වැඩිකර පෙන්වීම නිසා ඔබේ ගවුමට සායට හා කලිසමට පළල අඩු ඉණ පටියක් එක් කරගන්නත් ඔබට පුළුවන්.

රෙදි වර්ගය හා පාට ගැළපීමත් ඉතා වැදගත්

තිරස් අතට ඉරි තිබෙන රෙදි වලින් මැසූ ඇඳුම් වලට සිහින් හා උස පෙනුමක් ලබා දෙන්න පුළුවන්.

ඊට අමතරව කුඩා මෝස්තර සහිත හෝ ළා වර්ණ වල ඇඳුම් තෝරා ගැනීමත් වැදගත්.

එකම වර්ණ කාණ්ඩයට අයිති වර්ණවල ඇඳුම් ගළපා ඇඳීමත් සුදුසුයි. 

උදාහරණයක් ලෙස ඔබේ දිග සාය තද නිල් පැහැති නම් ඔබේ බ්ලවුස් එක ලා නිල් පාටින් තෝරා ගැනීම කල හැකියි. 

ඉතිං, ඔබේ උස වැඩිකර පෙන්වන්න මේ විලාසිතා උත්සහ කර බලන්න කියල අපි ඔබට ආරාධනා කරනවා.

තවත් මෙවැනි වැදගත් ලිපියකින් ඔබ හමුවෙන බලාපොත්තුවෙන් අපි අද සමුගන්නවා. 

සටහන – දුලානි නවෝද්‍යා

Related Articles

Don't Miss


Latest Articles