නිම් නැති නිම්නය 37

කාශ්‍යප ගජධීර හදවතින් ඔත්පල මිනිසෙකු බවට පත් වෙමින් සිටියේ ය. එය ගැඹුරු දියකට වැටීම හා සමාන තත්වයකි. ගිලෙනවාට වැඩිය පිහිනීම පහසුයි කියා  ගිලෙන්නට යන විට හිතේ. නාසය තෙක් ම දියෙහි ගිළුණ විට මරණ බිය දැනී පිහිනන්නට ඉබේ ම දෑත් දෙපා දිගු වේ. 

ආරාධනා එක අවස්ථාවක් ලබා නොදීම ගැන ඔහු හදවතින් තැවුණේ ය. එය එක්තරා ආකාරයක උමතු තත්වයකි. ඔහු කතා කළ යුතු වූයේ තමන් සමග ම ය. ඔහු සටන් කළ යුතු වූයේ තමන් සමග ම ය. තමන් එක්ක පමණක් දුරට දිගට කතා කරමින් සිටිනට වත්දී එය උමතු බවක් කරා ගමන් කරනා එක අරුමයක් නොවේ.

සෞභාග්‍යා ඔහු ගේ හඬට සවන් දෙන්නට සූදානම් වූ ස්ත්‍රියක නොවූවා ය. ඇයට කාටවත් සවන් දෙන්නට ඕනෑකමක් නැත. කවුරුන් වෙනුවෙන්වත් නතර වෙන්නට ඕනෑකමක් නැත. පෙර විවාහයේ දී ද ඇය එබඳු ම මුරණ්ඩු බවක් පෑවා ය. එනිසාවෙන් හිතේ පැසවන දුක ඇයත් එක්ක කියා ගන්නට ඔහු ට අවස්ථාවක් ලැබුණේ නැත. වෙන කියන්නට කෙනෙකු ද නොවූයෙන් කාශ්‍යප කළේ වැඩි වැඩියෙන් මීවිතට ලං වෙනා එක ය. ටික වෙලාවකට හෝ එය ඔහුට මිතුරු ඇසුරක් වූයේ ය. හිත් බර හෑල්ලු කරනා මිතුරු ඇසුරක් වූයේ ය. එසේ දැනෙත්දී තව තවත් ඔහු ඊට ම බැඳිණි. එතකොට දුරස් වූයේ සෞභාග්‍යා ය. බමන මතින් ගෙදර එන කාශ්‍යප ඇයට පිළිකුල් සහගත දසුනක් විය. ඇය ඔහු ට වෛර කරන්නට වූවා ය. ක්‍රෝධ කරන්නට වූවා ය. ද්වේශ කරන්නට වූවා ය. වරක් නොව දෙවරක් ම ඔහු නිසා සිය ජීවිතය විනාශ මුඛයට ඇදුණායි ශාප කරන්නට වූවා ය. එතකොට ඔහුට ඇය තවත් එපා විය. වදයක් විය. 

නමුත් එසේ පිළිකුල් වඩමින් උනුන්ට රැඳී ඉන්නට වූයේ එක වහලක් යට ය. ඒ මොහොතේ වෙනත් මාර්ගයක් ඔවුන් ඉදිරියේ විවර වී තිබුණේ නැත. 

“මේ මිනිහට ඕන වෙලා තියෙන්නෙ ආයෙ අර ගෑනි ළඟට යන්න. නැත්තං මොන මගු ලටද මේ කණමදය වගේ බීගෙන එන්නෙ…”

සෞභාග්‍යා රාත්‍රියට අපාට්මන්ට් එකේ දොර ඇරියේ එහෙම බැණ වදිමිනි. 

“මට ඕනෙ තමයි ය කූ…ඒත් ඒ ගෑනි ආයෙ මාව වද්ද ගන්නෑ. ඒක නිසා මට මේ අපායෙම ලගින්න වෙලා තියනව”

“ඒකි දිව්‍ය ලෝකෙ දිව්‍යාංගනාව නිසානෙ දාල ආවෙ”

සෞභාග්‍යා සමච්චලයට කට ඇද කරයි. නමුත් ඇගේ හිත ඊර්ෂ්‍යාවේ ගින්දරෙන් දැවේ. කාශ්‍යප ගෙන් පලි දැරීමේ චේතනාව වැඩි වර්ධනය වේ. 

කාශ්‍යප ට දැන් ඔහු ම පිළිකුල් ය. අප්‍රසන්න ය. ඔහු දැන් පිළිවෙලැති මිනිසෙකු නොවේ. රැකියාවට යන්නේ පමා වී ය. දහවලටත් පෙර දා දේහ ගත කරන ලද මත් පැන් වල දුගඳ වහනය වේ. රැකියාවේ කටයුතු මගහැරේ. සියල්ලට වරදකරුවා මත් පැන් බව දැන සිටියත් හැන්දෑ වන විට ඔහු ට ඒ මගහැර යා නො හැකි වෙයි. 

සෞභාග්‍යා සමග සාමයෙන් ජීවත් විය යුතු යයි ඔහු විටෙක සිතයි. නමුත් ඇය යක්ෂණියක වාගේ කඩන් පනිත්දී ඒ බලාපොරොත්තු සුන් වී යයි. නැවත ද විසඳුම මත් පැන් ය!

එසේ මත් වූ එක රාත්‍රියක, නොව මධ්‍යම රාත්‍රිය ද ඉක්මවූ රාත්‍රියක ඔහු ආරාධනා ගේ දුරකතනය අංකනය කළේ ය. ඇය සිටියේ සුව නින්දක ය. ටික කලක් තිස්සේ ඇයට සුව නින්දක් වූයේ ම නැත. කඩින් කඩ අවදි වූවා ය. ඇස් පියවීගෙන එත්දී ගැස්සී අවදි වූවා ය. ඇතැම් විට මුළු රැයේ ම ඇහැ පියවුණේ නැත. ඒ ඍතුව ද ගෙවී අවසාන විය. පසුව ඇයට හොඳින් නින්ද යන කාලය උදා විය. අවට මොනවා සිදු වී ද හිත හදා ගත් විට සැනසිල්ලේ නිදා ගන්නට පිළිවන.

ආරාධනා නින්දෙන් අවදි වූයේ ඈතකින් ඇසෙනවා සේ දැනුණු මොකක්දෝ හඬකට ය. ඇස් පියවී තිබියදී මුලින් ම ද පසුව ඇස් හැර බලා ද ඇය ඒ නො නවතින හඬට කන් දී ගෙන සිටියා ය. ඒ හඬ එන්නේ දුරකතනයෙන් බව අවබෝධ වූයේ මඳ වෙලාවකට පස්සේ ය. ඇය එය සවනට ගත්තේ ද නින්දෙන් හරි හැටි පිබිදී නොවේ.

“හෙලෝ”

“ඔයා නිදාගෙනද හිටියෙ…”

ආරාධනා තිගැස්සී නින්දෙන් පිබිදුණේ එතකොට ය. පපුව ගැහෙන්නට ගන්නා හැටි ඇය නිහඬව බලා සිටියා ය. කාශ්‍යප!

“ක්..කාශ්..ය..ප…”

“මට සමාවෙන්න ආරාධනා. මං ඔයාට ලොකූ වරදක් කළා. මං..මං ඔයාට…හොඳටම දුක් දුන්න. දැන් මං ඒවට විඳෝනව. මට පළ දෙනව. ඔයා මට සමාව දෙනව නේද…ආ…”

“ඔයා ඩ්‍රිංක්ස් අරංද කාශ්‍යප…”

ඇය වෙව්ලා ගියා ය.

“මං බොනව…මං…බීල මැරෙනව. එතකොට ඔයාට වදයක් නෑ. සන්තෝසෙන් වෙන කෙනෙක් බැඳගන්න පුළුවන්. මට ඔයා නැති වුණා. මට මගෙ දරුවො නැති වුණා”

“නැති වුණා නෙවෙයි කාශ්‍යප ඔයා නැති කර ගත්ත” කියා කියන්නට ඕනා වුණත්, එහෙම කියා තව දුරටත් කාශ්‍යප රිදවන්නට ඕනේ නැතැයි ඇය ක්ෂණික ව හිත වෙනස් කර ගත්තා ය.  එරමිණියා ගොතා ගෙන යහන මත හරි බරි ගැහුණ ඕ කොට්ටයක් උකුල මතට ගෙන බිත්තියට හේත්තු වූවා ය.

“දැං ඒ හැම දෙයක්ම වෙලා ඉවරයි කාශ්‍යප. වෙන්න ඕන හොඳම විදිහ කියල ඔයා බලාපොරොත්තු වුණ විදිහනෙ ඒ. මේ තරං ඩ්‍රිංක්ස් අරං ඉද්දි මං ඔයාට බණ කියල වැඩක් නෑ කියල දන්නව. ඒත්…දැංවත් කරන දෙයක් කල්පනා කරල කරන්න බලන්න”

කාශ්‍යප ඇමතුම ගනිත්දී සෞභාග්‍යා හිටියේ නින්දේ ය. නමුත් කාශ්‍යප ගේ හඬට ඇය අවදි වූවා ය. ඔහු කතා කරමින් සිටිනුයේ ආරාධනා සමගින් බව වැටහෙත්දී හොඳින් ම අවදි වූවා ය. කාශ්‍යප ට සිතා ගත නො හැකි මොහොතක ඇය ඔහු ගේ අතින් දුරකතනය උදුරා ගත්තා ය.

“ලැජ්ජ නැද්ද ආ…ඩිවෝස් වෙලා නේද ඉන්නෙ දැං..එහෙම එකේ රෑට රෑට මේ මනුස්සයට කෝල් කරන්නෙ… රවට්ටගෙන මොනාද කඩා ගන්න හදන්නෙ…”

ආරාධනා වික්ෂිප්ත වූවා ය. ඒ සෞභාග්‍යා බව සිහි එලවා ගත් විට ඇය සන්සුන්ව ඒ මොහොතට මුහුණ දුන්නා ය.

“මීට පස්සෙ කාශ්‍යප ට කතා කරල මට අහු වෙන්න එපා හරිද…අනුංගෙ පිරිමින්ට රෑ ජාමෙ කතා කරන ජරා ගෑනු”

ආරාධනා ගේ මුව සමච්චල් සිනහවකට ඇද විය. නමුත් ඕ සිය මුවින් පාපයක් සිදු නොවන තැනට වග බලා ගත්තා ය.

“එයාව හොඳට බලා ගන්න…එතකොට එයා මට කතා කරන එකක් නෑ”

සෞභාග්‍යා සිතුවේ ලුණු ඇඹුල් ඇතිව යමක් කියන්නට ය. නමුත් ඊට පෙර ආරාධනා දුරකතන සම්බන්ධය බිඳ දමා තිබිණ. කාශ්‍යප දෙසට ගිනි පිට වෙන බැල්මක් හෙලූ සෞභාග්‍යා ඔහුව අතින් තල්ලු කොට දැමුවා ය..කාශ්‍යප ඇඳෙහි පෙරළිණ. තවත් විනාඩි ගණනකදී ඔහු සිටියේ ගැඹුරු නිද්‍රාවකට අවතීර්ණ වෙමිනි.

යහන මත හිඳ ගත් වන ආරාධනා කල්පනා කළා ය. කාශ්‍යප බීමතට ඇබ්බැහි වෙමින් සිටිනා බවක් ඇයට දැනේ. සිය අලුත් සම්බන්ධතාවය ඇතුළේ දැන් ඔහු අතෘප්තිමත් බව ද සිදු වූ දේ ගැන ඔහු පසුතැවෙනා බව ද ඇයට දැනේ. නමුත් ඔහු ගිය අලුත සාගරයක් තරම් හැඬූ ඇස් වලට ඒ කතා බහේදී එක කඳුළක් හෝ ඉනුවේ නැත. කාලය බොහෝ දේ වෙනස් කරයි! කාලය හුඟක් තුවාල සුවපත් කරයි!

යළි නිදිමතක සලකුණක් හෝ පේන මානයක නො වූයෙන් ආරාධනා කාමරයේ දොර හැර ගෙන පිටතට ආවා ය. කිසියම් නො සන්සුන් බවක් ඈ තුළ වූයේ ය. සන්සුන් වීමේ අවශ්‍යතාවයක් ඇයට දැනෙමින් තිබිණ. ඇගේ කාමරයේ දොරගුලු හැරෙනා හඬින් ම කවීශ්වර අවදි වූයේ ය. වහා යහනෙන් බිමට බට හෙතෙම දොර හැරියේ ය. ආරාධනා උවැසියක තරම් සන්සුන් බවකින් බිම බලා ගෙන ආලින්දයේ සක්මනෙහි සිටියා ය.

“ආරාධනා…ඇයි…”

එහෙම ම නතර වූ ඕ නෙතු ඔසවා බැලුවා ය. ඇගේ ඇස් වල කල්පනා බර බවක් තිබිණි. 

“කාශ්‍යප කතා කළා”

ඇය එසේ මිමිණුවේ මඳ වෙලාවක් බිම බලා ගෙන සිටීමෙන් පස්සේ ය.

“දැන්…”

“හ්ම්..”

යටි තොල සපා ගත් ඕ තව දුරටත් සිය කල්පනාවේ ගැඹුරට කිමිද ගියා ය. ඇසට කඳුළක් නාවාට හිතට දුකක් නො දැනෙනවා කිව නො හැකි ය. ඒ දුක ඔහු අනාථ වීම ගැන ය. මෙහෙම මැදියම් රැයක බීමතින් හිටපු බිරිඳට කතා කරන්නට තරමට ඔහු අසරණ වී හිඳීම ගැන ය. කාශ්‍යප ගේ ජීවිතය කොතැනක නතර වේවිද, ඔහු ගේ ගමන කවර දිශාවකට යොමු වේවිද කියා සිතා ගත නො හැකි ය. හිතට වේදනා දෙන්නේ ඔහු සතුටෙන් නොවෙනා බව දැන ගැනීම ය. ඇයත් එක්ක ඔහු සුවයෙන් තුටින් නම් ආරාධනා ට කිසිදු දුකක් නැත.

“කාශ්‍යප හොඳටම බීල කවීශ්වර…එයා හොඳින් නෙවෙයි. ඒ මදිවට සෞභාග්‍යා ෆෝන් එක උදුරල අරං මටත් බැන්න”

ආරාධනා ද හොඳින් නොවන බව කවීශ්වර ට දැනිණ. නමුත් ඇය සනසනු වස් කුමක් කිව යුතු දැයි ඔහු ට සිතා ගත හැකි වූයේ නැත. දික්කසාදය අභිමුව සිටිය ද කාශ්‍යප ඇගේ හිටපු ස්වාමි පුරුෂයා ය. දැන් ඇයට ඔහු ව කෙසේ දැනෙනවා දැයි කවීශ්වර දන්නේ නැත. ඔහු ඒ තරම් ගැඹුරෙන් ගැහැනු හදවත් කියවා නැත. නිතර ම ඔහු සැරිසැරුවේ අනුරාග කලාපයක ය. එවැනි ස්ත්‍රීන් ට වඩා ආරාධනා හාත්පසින් වෙනස් බව නම් කවීශ්වර දැන සිටියේ ය.

“අනේ…දොරක් ඇරෙන පොඩි සද්දෙටත් ඔයා දැන් ඇහැරෙනව නේද…”

එවර ආරාධනා වහා සිය ස්වභාවය වෙනස් කළා ය. ඒ වත මත පිපුණේ අතීත මතක සිනා කුසුමකි. ඇගේ ඇස් විදුලි පහන් එළියෙහි පවා බැබළුණේ ය. කවීශ්වර ගේ මුවගට අඩ සිනහවක් ආවේ ය. නොහොත් ඔහු ඒ සිනහවට විකසිත වෙන නිසි අවසරයක් නො දුන්නේ ය. 

“එහෙම තමයි…හැදෙන්න පුළුවන් වෙන එකයි මනුස්සයෙක්ට වැදගත්. අතීතේ හිටපු තැන නෙවෙයි…දැන් ඉන්න තැනයි වැදගත්. කවීශ්වර කාශ්‍යප හිටපු කාලෙ වගේ නොවී…ගෙදර ගැන මෙහෙම වගකීම් දරන කෙනෙක් වෙනකොට හරි ශෝක්…”

“ඒත් මිනිහෙක්ට හැදෙන්න මේ සමාජෙ කවදාවත් ඉඩ දෙන්නෑ. පරණ කුණු ඇද ඇද ගඳ ගස්සන්නම තමයි බලන්නෙ”

ආරාධනා ට වහා පන්සලේ දී වූ සිදුවීම සිහි විය. කවීශ්වර ගේ දඩබ්බරකම් ගැන ඇය දන්නේ ඒ කාලේ සිටම ය. ඔහු ට දැන් අවංකව හැදීමේ උවමනාවක් තිබෙනවාද කියා ඇය දන්නේත් නැත. නමුත් ගෙතුළ දී නම් යුතුකම් වගකීම් ඉටු කරමින් වගකීම් සහගත මිනිසෙකු වීමේ උත්සාහයක් දරනා බවක් පෙනෙන්නට තිබේ. අනිත් අතට ස්ත්‍රීන් සම්බන්ධ ඔහු ගේ චර්යාව කෙබඳු වී ද ආරාධනා ට නම් බැල්මකින්වත් වරදක් වන්නට කිසි දා ඔහු ඉඩ තබා නැත්තේ ය. ඒ නිසා කවීශ්වර නරක මිනිසෙකු කියා චෝදනා කරන්නට තරම් කිසිදු සාධාරණ හේතුවක් ඇයට නැත.

“ඔයා ඇත්තටම දන්නවනං ඔයා කවුද කියල…අනිත් අය හිතන විදිහ ගැන වද වෙන්න යන්නෙපා කවීශ්වර. ඒක තමයි ජීවත් වෙන්න පහසු ම විදිහ”

ඇය කෙතරම් වටහා ගන්නා සුළු හා කරුණාවන්ත තැනැත්තියක් ද? නමුත් ඔහු ඇයට පෙම් කළ ඒ අතීතයේ දී කවීශ්වරව වටහා ගන්නට ආරාධනා ට ඕනකමක් තිබුණේ ම නැත. එදා ඇය එසේ කළා නම් ඔහු ගේ ඉතිහාසය මේ තරම් වැරදි වලින් ගහන නොවනු ඇති බව සිතී කවීශ්වර ට සුසුමක් හෙළිණ. ගජධීර යුවළ නිදන කාමරයේ දොර ඇරුණේ ඒ වෙලාවේ ය. රාජිකා මැණිකේ කොණ්ඩ ගෙඩියක් ගෙලට කොට බඳිමින් ම ආලින්දයට එබුණා ය.

More Stories

Don't Miss


Latest Articles