කුණාටු සයුරක අසරණ වූ ඔරුවක් සේ රාජිකා මැණිකේ කැළඹී සිටියා ය. මේ මැදියම් රැයේ අතර මගක කාමර වලින් පිටතට විත් කවීශ්වර හා ආරාධනා ආලින්දයේ හුදෙකලාව කතා කරමින් සිටීම ඇගේ හදවතේ අකුණු පුපුරුවන්නට සමත් විය. එසේ ම ඕ තොමෝ දෙගිඩියාවට ලක් වූවා ය. හිතේ ගින්දරක් තියාගෙන නිදි යහනට වැටුණ නිසාදෝ නින්දෙනුත් හිත වූයේ ගිනි මැලයකි. ඇය තිගැස්සී නින්දෙන් අවදි වූයේත් ඒ සැක මුසු බියෙන් ම ය.
“මං බැලුව කවුද කතා කරනව ඇහෙන්නෙ කියල”
ඒ අවේලාවේ කාමරයේ දොර හරින්නට හේතුව ලෙස ඇය දැක්වූයේ එහෙම කාරණයකි.
“මාත් එළියට ආවෙ දොරක් ඇරෙන සද්දයක් ආපු නිසා. බලනකොට ආරාධනා මෙතන”
රාජිකා මැණිකේ ගේ තියුණු රාජාලි දෑස් ආරාධනා මත නතර විය. ඒ බැල්ම දරා ගත නො හැකිව ඇය බිම බැලුවා ය.
“අයිය කෝල් කරල”
“දැන්…”
“හ්ම්”
“ඇයි දුව…මොනාද ලොකු පුතා කියන්නෙ…ඇරත් මේ අවේලාවෙ කතා කරන්න ඕනද…”
“කාශ්‍යප හොඳටම බීලද කොහෙද අම්මෙ”
ආරාධනා ලොකු හුස්මක් ගෙන අතර මගක දී එය අතැර දැමුවා ය. කවීශ්වර ඇදෙස බලා ඉවත බලා ගත්තේ ය.
“ඊට පස්සෙ මට නින්ද ගියෙම නෑ. ඒක නිසා දොර ඇරගෙන එළියට ආව”
“මං දුවට තේ එකක් හදල දෙන්නද එහෙනං”
“අනේ එපා අම්මෙ..”
“එපා නෙවෙයි ඒක හොඳ අදහසක් මැණිකෙ. මටත් මේ වෙනකල් ඇස් දෙක පියවුණේ නෑ”
ගජධීර ද කාමරයෙන් පිටතට එමින් කීවේ ය. ඔහු පමණක් නොව රාජිකා මැණිකේ ද හිටියේ අවදියෙනි. හවස පන්සලේදී නන්දනී පෙරේරා හමු වූ සිදුවීමත්, ඉන් පසු ආරාධනා හා කවීශ්වර සම්බන්ධයෙන් දෙමහල්ලන් අතරේ ඇති වූ කතා බහත් නිසා දෙදෙනා ගේ ම හදවත් මත බරක් පැටවී තිබිණි. උනුන් හූල්ලන හා සුසුම් හෙළනා හඬ දෙදෙනාට ම ඇසිණ. නමුත් නින්ද නො යන බව කියන්නට දෙදෙනාගෙන් කෙනෙකු හෝ මුව විවර කළේ නැත.
මුලින් ම දොරගුලු ඇරෙනා හඬක් ඇසෙත්දී රාජිකා මැණිකේ හිතුවේ කවීශ්වර වෙන්නට ඇති කියා ය. නමුත් කතා බහක් ඇසෙත්දී ඇගේ පපුව වේගවත් ව ගැහෙන්නට ගත්තේ ය. දොර ඇර ගෙන පිටතට එන එක හොඳ ද නරක ද කියන දෙගිඩියාවේ ඈ මඳ වෙලාවක් දෝලනය වූවා ය. තව දුරටත් තමන් පාලනය කර ගෙන ඉන්නට බැරි තැන කාමරයේ දොර විවර කළා ය.
රජිකා මැණිකේ වතුර කේතලය ළිප මත තැබුවා ය. දැන් ඇයට ටික ටික වැඩ පල කර ගන්නට පිළිවන. නමුත් ආරාධනා ඇවිත් “මං හදන්නං අම්මෙ” කියා ඒ කාරිය ද ඈ මත ම පටවා ගත්තා ය.
“අනේ මන්දා දරුවො ලොකු පුතාත් මොනා කර ගන්න හදනවද කියල…මේ ළමයි දුර දිග බලන්නැතුව වැඩ කරල…අන්තිමට ජීවිත කීයක් නං අවුල් වෙලාද දැං…”
ආරාධනා නිහඬව ජෝගුවට පිටි සීනි දැමුවා ය.
“අපිත් දික්කසාදෙකට යන්න ඉක්මං වුණා වැඩිද කියලත් හිතෙනව”
“මන්නං කවදාවත් එහෙම හිතන්නෑ අම්මෙ”
ආරාධනා වහා කීවා ය.
“මං කවදාවත් ඒ ගැන පසුතැවිලි වෙන්නෙත් නෑ. මෙච්චර කාලයක් එයා වෙන කෙනෙක් හිතේ තියාගෙන බොරු මවාපෑමක් කරං මාත් එක්ක ජීවත් වෙලා තියෙනව කියල හිතෙද්දිත් දැං මට ලැජ්ජයි”
රාජිකා මැණිකේ ගේ හිතේ ඉසියුම් නො රිස්සුමක් ඇති නොවූවා ම නොවේ. කාශ්‍යප ආරාධනා හැර ගිය අලුත ඇය හැඬූ වැලපුණ අයුරු දකිත්දී අම්මා වශයෙන් ඇගේ පපුවට උහුලා ගත නො හැකි දුකක් දැනිණි. ආරාධනා සිය ලේලිය වූවාට ඔවුන් අතරේ බැල්මකින් හෝ අමනාපයක් නො හොඳ නෝක්කාඩුවක් සිදු වී නැත්තේ ය. ආරාධනා කාවින්දි තරමට ම ඇයට සමීප ව සිටියා ය. කාශ්‍යප අභිනික්මන් කළ වෙලාවේත් රාජිකා මැණිකේ ගත්තේ පුතා ගේ නොව ලේලිය ගේ පැත්තයි. නමුත් මේ මොහොතේ, කාශ්‍යප බීමතට ඇබ්බැහි වෙමින් සිටිනවායි දැන ගත් මේ මොහොතේ ඇගේ සිතේ ආරාධනා පිළිබඳ ඉසියුම් නො රිස්සුමක් ඇතිව තිබේ. එක අතකට ඇය කාශ්‍යප ගේ ඉල්ලීමට එකඟ වෙන්නට තිබුණායි ඇයට සිතේ. ඇගේ මුරණ්ඩු කම නිසා ලොකු පුතා ගේ ජීවිතය විනාශ මුඛය කරා ඇදී යා හැකි යයි ඇයට සිතේ.
“ලොකු පුතා බීල නරකක් කර ගත්තොත්…ඔයාට කවදාවත් සැනසීමෙන් ඉන්න පුළුවන් වෙයිද..”
තේ එක රාජිකා මැණිකේ අතට දෙන ඒ සුළු මොහොතේ දී ආරාධනා ගේ අත වෙව්ලා ගියේ ය. ඇගේ ඇස් වඩාත් විවර වී ලොකු විණි. සිය නැන්දම්මා ඇගෙන් එහෙම ප්‍රශ්නයක් අසාවියි ආරාධනා කවදාවත් බලාපොරොත්තු වූයේ නැත.
“මොකද්ද මැණිකෙ ඒ අහපු කුණුහබ්බෙ…”
ගජධීර තියුණු හඬකින් ප්‍රශ්න කළේ ය. මුළු ගෙදර ම හ්ම් හඬක් නැති නිශ්ශබ්ධතාවයක කරවටක් ගිලී ගියේ ය. කවීශ්වර අම්මා ගැන නො රිස්සුමකින්, තේ එක ගෙන ඉවතට හැරුණේ ය.
“ඕගොල්ලො කාටවත් ගාණක් නැති වෙලා ලොකු පුතා ගැන. එයා කරපු දේ හරි කියල නෙවෙයි මං කියන්නෙ. ඒත් එයා අපේ දරුව. පොඩි පුතාගෙ අයිය. ආරාධනා ගෙ මහත්තය. එයාගෙ දරුවන්ගෙ තාත්ත. එයා දැන්ම බොන්න ඇබ්බැහි වෙලානං…ඉස්සරහට මොනා කර ගනීද කවුද දන්නෙ…ඒකාට ඉන්නෙ අපි විතරයි. අපිත් අත්ඇරල දැම්මහම..”
අන්තිම හරියේ දී රාජිකා මැණිකේ හැඬුම්බර වූවා ය.
“ඔහේ කතා කරන්නෙ නිකං මැරිල ඉපදිලා වගේනෙ. අපිද කිව්වෙ ඌට වෙන ගෑනියෙක් එක්ක යන්න කියල. එතකොට අපිද කිව්වෙ ඌට…දික්කසාද නඩු දාන්න කියල මේ කෙල්ලට පණිවිඩ එවන්නයි කියල. ඌ දැං බබා. අල්ලපු අත්තයි පය ගහපු අත්තයි දෙකම නැති වුණාට පස්සෙ කොන්ද පණ නැති එකෙක් වගේ බිව්වහම හැමෝම ඌට අනුකම්පා කරන්න ඕන කියල හිතං ඇති. අනේ මේ මැණිකෙ. මගෙං හොඳවැයිං දෙකක් අහ ගන්නෙ නැතුව ඉන්නවද..”
තාත්තා ගේ කතාවට කවීශ්වර ගේ කට කොනකට සිනහවක් ආවේ ය. රාජිකා මැණිකේ නාසය උඩට ඇද්දා ය.
“පස්ස බිම ඇනෙනකොට හුඟක් එවුං අවදානෙ ගන්න කරන දේ තමයි ඔය කනමදය වගේ බොන එක. හරියට අපි ඔක්කොම එකතු වෙලා ඒ මගුල කරල දුන්න වගේනෙ..”
“අම්ම කියන දේ මට තේරෙනව අම්මෙ. දරුවෙක් මොනා කළත් අම්ම කෙනෙක් ළඟ අසීමිත සමාවක් තියනව. අසීමිත ආදරයක් තියනව. අම්ම වුණත් කාශ්‍යපට එහෙම තමයි”
ආරාධනා රාජිකා මැණිකේ වෙත සමීප වී ඇගේ හිස් මුදුන පිරිමැද්දා ය.
“මට වාවන්නෑ පුතේ. කොහොම හිටිය කොල්ලෙක්ද…දැං රෑ ජාමයක් වෙනකල් බීල කොතන ගුබ්බෑයමක වැටිල නිදියනවද කවුද දන්නෙ…”
“මට එයා ගැන දුකයි. මං කවදාවත් කියන්නෑ එයාට එහෙම වුණාට හොඳ වැඩේ කියල. දරුවො දෙන්නෙක් එක්ක මාව දාල ගියත් මං එයාට සාප කළේ නෑ කියල අම්මල දන්නව. මං කළේ දරුවො දෙන්න හදා ගන්න මගෙ හිත හයිය කර ගත්ත එක විතරයි. හැබැයි එයා මොන දේ කියා ගෙන ආවත් මට ආයෙ එයාව මගෙ ජීවිතේ හතර මායිමට වද්ද ගන්න බෑ අම්මෙ. ඒක එහෙම එපා වීමක්…ඇති වීමක්…පුළුවන්නං අම්ම මාව තේරුං ගන්න”
රාත්‍රී නිශ්චලත්වය සමග ආරාධනා ගේ තැන්පත් නිවුණු හඬ රන් රස සේ මුහු වූයේ ය. රාජිකා මැණිකේ පහළට නැවී නිදි ඇඳුමේ වාටියෙන් දෑස් මුල් පිස දා ගත්තා ය.
“මං දුවත් එක්ක අහිතකට කිව්ව නෙවෙයි. අම්ම කෙනෙක් විදිහට මගෙ පපුවෙ ඇවිළෙන ගින්දර…”
“මං හෙට ගිහිං අයියව හම්බ වෙලා කතා කරන්නං”
කවීශ්වර එහෙම කිව් පසු රාජිකා මැණිකේ ගේ මුහුණට එළියක් වැටිණ. උදේ බිඟුනි ව පාසලට දමන්නට ගිය ගමන් කාශ්‍යප හමු වන බවට කවීශ්වර අම්මා ට පොරොන්දු වූයේ ය.
කාශ්‍යප ගැන දැන් කවීශ්වර තුළ ද මුලින් තිබූ කේන්තිය නැත්තේ ය. ඔහු යළි ආරාධනා සමගින් එකඟතාවයකට එන එක ගැන කවීශ්වර ගේ විරෝධයක් හෝ අකමැත්තක් වූයේ ද නැත. ඔවුන් දෙදෙනා යළි එක්තැන් වෙනවා නම් ඔහු කැමැත්තෙන් සිටියේ ය. ඒ අන් කිසිවක් නොව දරුවන් දෙදෙනා ගැන සිතා ය. නමුත් ආරාධනා එහෙම දෙයකට එකඟ නැති නම් ඒ ගැන ඇයට බලපෑම් කිරීමේ අයිතියක් කිසිවෙකු ට නැති බව ඔහු විශ්වාස කළේ ය.
උදේ කවීශ්වර බිඟුනිව ගෙන ද ගජධීර කඩ වීදියට ද ගිය අතර වාරයේ රාජිකා මැණිකේ ආරාධනා සමග අතිශය රහසිගත කතාවකට සැරසුණා ය.
“දුව මං ගැන වැරදියට හිතන්නෙපා මෙහෙම කියන එක ගැන. කවීශ්වර මගෙ දරුව තමයි. ඒත් එයා කාලයක් තිස්සෙම පටලෝගෙන තියන හුටපට නිසා මට දුවට මේක නොකියා බෑ”
අමුතු ගැස්මක් ආරාධනා ගේ පපුවට දැනිණ. නමුත් ඕ වෙනසක් නො හඟවා නැන්දණිය වෙත රඳවා ගත් නෙතින් සිටියා ය.
“ලොකු පුතාගෙන් නීතියෙන් වෙන් වෙලා ඉන්න එකේ…ඒ කියන්නෙ දුව දැන් තනිකඩයි කියන එකනෙ. පොඩි පුතාගෙ ඉතිහාසෙත් එච්චර හොඳ නැති එකේ…අපි දන්නෑනෙ පිරිමි හිත් ගැන…ඒක නිසා දුව ටිකක් කල්පනාවෙන් ඉන්නවනං මං කැමතියි”
ආරාධනා ගේ බිය සැක පහ වී මුහුණට සිනහවක් ආවේ ඒ වෙලාවේ ය.
“අනේ අම්මෙ…කාට කොහොම වුණත් කවීශ්වර මටනං කවදාවත් නරක අදහසකින් වචනයක් කියල නෑ. විහිළුවක් කරල නෑ. බලලවත් නෑ. අඩු ගානෙ ඇඟිලි තුඩකට අත තියල නෑ. කොහොමත් මං හිතන්නෑ ඒ සෙල්ලක්කාර කොල්ලව එයා සැනසුම් පායෙ ගේට්ටුවෙන් ඇතුළට කවදාවත් ගෙනාවයි කියලනං…”
ඒ වූ කලී විශ්වාසවන්ත ප්‍රකාශයකි. ආරාධනා ගේ මුවෙහි ඇඳුණු සිනහවත් අතිශය සැහැල්ලු වූවකි.
“දුවට එහෙම විශ්වාසයිනං කමක් නෑ. ඒත් ඊයෙ රෑ දුවත් එක්ක පොඩි පුතා සාලෙ කතා කර කර ඉන්නව දැක්කහම මගෙ හිත ගැස්සුණා. මොනා වුණත් දුවගෙ දෙමව්පියො අපි ගැන තියල තියන විශ්වාසෙ අපි රකින්න ඕනනෙ”
“තමන්ගෙ පුතාටත් වඩා අම්ම මං ගැන හිතපු එක මට ලොකු ගෞරවයක් අම්මෙ. මේ ගෙදර හැමදාම මට මගෙ ගෙදර වගේ දැනෙන්නෙ අම්මගෙයි තාත්තගෙයි ඒ ආදරේ නිසාමයි”
පෙර දා සැඳෑවේ සිට ම හදවතට වද දෙමින් පැවති යම් කිසිවකගෙන් නිදහස් වූ බවට හැඟීමකින් රාජිකා මැණිකේ සැනසීමට පත් වූවා ය. සිය දියණිය පමණක් නොව සමස්ථ ස්ත්‍රී වර්ගයා වෙනුවෙන් ම සිය යුතුකම ඉටු කළ බවට හැඟීමෙන් ඕ තොමෝ සැනසීමට පත් වූවා ය.