ශරීරයේ උෂ්ණාධික බව අවම කර සිරුර සිසිල් කරන පාන වර්ග.

එකිනෙකාගේ ශරීර උෂ්ණත්වය විවිධාකාරයි. ශරීර උෂ්ණත්වය වැඩි අයට විවිධ ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙනවා. විශේෂයෙන් දේශගුණය ද උෂ්ණාධික කාලවලදී ඔවුන් දැඩි අපහසුවට පත් වෙනවා. අපි අද කතා කරන්නට යන්නේ එවන් අයට විශේෂයෙන් සුදුසු  උදෑසන පානය කළ හැකි සිසිල්කාරක ගුණයෙන් යුතු පාන වර්ග කිහිපයක් ගැනයි.

ශරීරය උෂ්ණත්වය නිසා ඔබට විඳින්නට වෙන කරදර බොහොමයි. ඒවා අතර 

  • නිතර දහඩිය දැමීම
  • සිරුරේ දැවිල්ල ගතිය
  • දෑස්වල දැවිල්ල
  • දහඩිය දුගඳ වීම
  • සම වියළීම
  • යටිපතුල් පැලීම
  • මුත්‍රා දැවිල්ල ඇති වීම

ප්‍රධාන තැනක් ගන්නවා. මේවා මග හරවා ගෙන සුවදායී ජීවිතයක් ගෙවන්නට උදෑසනට මෙම පාන වර්ග ගැනීමෙන් ඔබට හැකි වෙනවා.

බාර්ලි පානය

  •  
  • බාර්ලි කෝප්ප බාගයක් 
  • වතුර කෝප්ප දෙකක්

වතුර කෝප්ප දෙක එකකට හිඳෙන සේ බාර්ලි වතුරේ දමා තම්බා ගන්න. රස අනුව සීනි සහ ලුණු ස්වල්පයක් එක් කර බීමට ගන්න.

ඔබට මෙය කරන්නට අපහසු නම් බාර්ලි පිටි වන සේ කොටා සුළං නොවදින සේ අසුරා තබා ගෙන කිරිපිටි සාදන්නාක් මෙන් සාදා පානය කරන්න.

සව් කැඳ

  • සව් කෝප්ප බාගයක්
  • මුද්දිරප්පලම් තේ හැඳි දෙකක්
  • පොල්කිරි කෝප්ප දෙකක්

සව් ජලයේ විනාඩි 10ක් පොඟවා ගන්න. ඉන්පසු සියල්ල එකට දමා නටන තෙක් හිඳ අවශ්‍ය ඝනකම ආ විට බාගන්න. රස අනුව සීනි සහ ලුණු ස්වල්පයක් එක් කර බීමට ගන්න.

මුංඇට කැඳ

  • තැම්බූ මුංඇට කෝප්ප කාලක්
  • රතු කැකුලු බත් කෝප්ප කාලක්
  • පොල්කිරි කෝප්ප දෙකක් 
  • හකුරු ටිකක්

සියල්ල එකට දමා නටවා ගෙන පානය කරන්න. අවශ්‍ය නම් ලුණු ස්වල්පයක් එකතු කරන්න. 

නෙල්ලි රසකිඳ පානය

  • වියළි නෙල්ලි ගෙඩි කිහිපයක්
  • රසකිඳ ටිකක් 
  • උක් හකුරු

නෙල්ලි හා රසකිඳ එකට තම්බා උක් හකුරු සමග පානය කරන්න. 

බෙලිමල් / බෙලි ගැට පානය

  • වියළි බෙලිමල් හෝ බෙලිගැට කිහිපයක්
  • කිතුල් හකුරු කැබැල්ලක්

බෙලිමල් හෝ බෙලිගැට ජලයේ පැහැය තද වන තුරු තම්බා ගන්න. කිතුල් හකුරු සමඟ පානය කරන්න. 

කුරුම්බා පානය

  • කුරුම්බා ගෙඩියක වතුර
  • එහි මදය

මේ ද්‍රව්‍ය දෙක බ්ලෙන්ඩරයක් මගින් හොඳින් බ්ලෙන්ඩ් කරන්න. රස අනුව සීනි සහ ලුණු ස්වල්පයක් එක් කර බීමට ගන්න.

රෝස් මිල්ක් පානය

  • රෝස් සිරප් තේ හැඳි දෙකක්
  • කස කසා ඇට තේ හැන්දක්
  • නැවුම් එළකිරි කෝප්පයක්
  • අවශ්‍ය නම් සීනි සහ අයිස් කැට කිහිපයක් 

සියල්ල හොඳින් කලවම් කර පානය කරන්න. ඉතා රසවත් සහ සුවඳවත් පානයකි. 

පිපිඥ්ඥා සහ කොමඩු පානය

  • ළපටි පිපිඥ්ඥා ගෙඩියක් 
  • කොමඩු පලුවක්
  • ලුණු හා සීනි අවශ්‍ය පමණ

සියල්ල හොඳින් බ්ලෙන්ඩ් කර ජලය ස්වල්පයක් එක් කර පානය කරන්න. 

සුදුලූනු උලුහාල් පානය

  • උලුහාල් මේස හැන්දක්
  • සුදුලූණු බික් දෙකක්
  • වතුර කෝප්ප දෙකක්

සියල්ල එකට දමා වතුර කෝප්ප එකක් වන තුරු තම්බා පානය කරන්න. 

මෝරු

  • මුදවපු කිරි මේස හැඳි දෙකක්
  • රතුලූණු ගෙඩි දෙකක්
  • අමුමිරිස් කරලක්
  • ලුණු ටිකක්
  • සූදුරු ටිකක්

රතුලූණු සහ අමු මිරිස් සිහින්ව ලියා ගන්න. ජලය කෝප්ප එක හමාරක කිරි දිය කරගන්න. සියල්ල හොඳින් කලවම් කර පානය කරන්න. 

බෙලි පානය

  • හොඳින් ඉදුණු බෙලි ගෙඩියක්
  • සීනි සහ ලුණු

ජලය සමග ඉහත සියල්ල මිශ්‍ර කරන්න. අවශ්‍ය නම් අයිස් කැට කිහිපයක් එක් කර පානය කරන්න. 

දෙලුම් පානය

  • දෙලුම් ඇට කෝප්ප බාගයක් 
  • කිරි කෝප්පයක් 
  • සීනි සහ ලුණු

ඉහත සියල්ල හොඳින් බ්ලෙන්ඩ් කර පානය කරන්න. 

කොත්තමල්ලි පානය

  • කොත්තමල්ලි මේස හැන්දක්
  • ඉඟුරු පෙත්තක්
  • සූදුරු ඉතා ස්වල්පයක් 

සියල්ල එකට තම්බා පානය කරන්න.

හාතාවාරිය කැඳ

  • හාතාවාරිය කොළ ටිකක්
  • පොල් කෝප්පයක්
  • බත් කෝප්ප කාලක්
  • සුදුළූනු බික් දෙකක්
  • ඉඟුරු පෙත්තක්
  • ලුණු ස්වල්පයක් 

හාතාවාරිය කොළ සහ පොල් එකට කොටා වතුර කෝප්පයක් දමා යුෂ ලබා ගන්න. ඉතිරි සියල්ල මෙයට මිශ්‍ර කර ලිප තබා නටවා පානය කරන්න.

Related Articles

Don't Miss


Latest Articles