ජීවිතය ගැන වෙනස් කතාවක් සහිත සත්‍ය සිදුවීමක් පදනම් වූ “Miracles from Heaven”

ආශ්චර්‍යයන් පැමිණෙන්නේ දෙව් ලොව සිට ය. කෙතරම් අසීරු මොහොතක වුවත් ඔබ අදහන දෙවියන් හෝ ඔබේ ආගම අතැර දමන්නට එපා.”

Miracles from Heavan චිත්‍රපටිය 2016 මාර්තු දහසය වැනිදා නිකුත් වූ චිත්‍රපටියක්.Patricia Riggen විසින් අධ්‍යක්ෂණය කරන එය රචනා කරන්නේ Randy Brown විසින්.  Jennifer Garner, Kylie Rogers, Martin Henderson, John Carroll Lynch, Eugenio Derbez,Queen Latifah වැනි නළු නිළි පිරිසක් රංගනයෙන් දායක වූ මේ චිත්‍රපටිය ආදායම් වාර්තා තබන්නට සමත් වූ අපූර්ව චිත්‍රපටයක්. එය ඉතා සංවේදි කතාන්දරයක් වන්නට හේතුවක් තිබුණා. එය බොක්ස් ඔෆිස් වාර්තා තබන්නට හේතුවක් තිබුණා. ඒ එම චිත්‍රපටිය සත්‍යය කතාන්දරයකට පදනම් වූ නිසා. Christy Beam නම් අම්මා විසින් ඈ සහ ඇගේ පවුල ගත කළ අතිශය තීරණාත්මක දවස් කිහිපය ගැන ලියා තැබූ Miracles from Heaven කෘතිය ඇසුරෙන් නිමවීම නිසා.

සැබෑ ඇනා ඇගේ මව ක්‍රිස්ටි සහ චිත්‍රපටියේ මව වූ Jennifer Garner

බීම් පවුල ජීවත් වූයේ එක්සත් ජනපදයේ ටෙක්සාස් හි ගම්බද පළාතක යි. කෙවින් බීම් එහි ගොවිපොළක් සහ සත්ව සායනයක් පවත්වාගෙන ගියා. ඇබී, ඇනා සහ ඇඩී ඔහුගේ ආදරණීය දියණියන් තිදෙනා වූවා. ක්‍රිස්ටි බීම් මේ පවුලේ ආදරණීය අම්මාට තාත්තාත් දූලාත් කෙළවරක් නැතිව රැස් කරන බලු සුරතලුන් ගැන හැරුණු විට වද වෙන්නට කිසිදු හේතුවක් තිබුණේ නැහැ.

ගොවිපොලෙහි උසැති තුරු මතට වී ගී ගයන කුරුල්ලන්ගේ ජීවිත තරමට ම ඒ ජීවිත සැහැල්ලුවෙන් පිරී තිබුණා.

නගර වැසියන්ගේ මාසික සාදය එවර පැවැත්වූයේ බීම් ගොවිපොලේ දී. සාදය පැවැත්වූ රාත්‍රියේ බීම් පවුලේ මද්දුමිය වූ ඇනබෙල් හෙවත් ඇනා අවදි වන්නේ උදරයේ වේදනාවකින්. ආහාර විෂවීමක් ලෙස අනුමාන කරමින් වෛද්‍ය ප්‍රතිකාර ලැබුණත් ඇනාට කිසිදු සුවයක් ලැබුණේ නැහැ. අසාමාන්‍ය ලෙස වැළපෙන දැරියට උදරයේ ආම්ලිකතාවයක් විය යුතු යැයි අනතුරුව වෛද්‍යවරුන් තීරණය කළා නමුත් අම්මා, ක්‍රිස්ටි බීම් එය පිළි ගත්තේ නැහැ. දියණිය කුමන හෝ බරපතල රෝග තත්වයක් ඇතැයි ඇය රෝහල තුළ පෙරළි කරනවා. ඒ පෙරළිය අවසන් වන්නේ වෛද්‍යවරුන් විසින් ඇනාව ප්‍රාන්තය තුළ සිටින හොඳම ළමා රෝග විශේෂඥවරයා වෙත ගෙන ඒමෙන්.

පරීක්ෂණ ගණනාවක ට පසු ලැබෙන ආරංචිය කිසිසේත්ම සුබදායක එකක් වන්නේ නැහැ. කුඩා ඇනා බඩවැල් ඇඹරීමේ රෝග තත්ත්වයකට ලක් වී සිටිනවා. එය ප්‍රකෘති තත්වයට පත් නොකරහොත් මේ දස හැවිරිදි සිඟිත්තියට බොහෝ කල් ජීවත් වෙන්නට හැකියාවක් නැහැ. අසීරු පරීක්ෂණ හා සැත්කම් ඇරඹෙන්නේ කුඩා ඇනා බොහෝ වේදනාවන්ට ලක් කරමින්. ඇගේ උදරය අසාමාන්‍ය ලෙස ඉදිමෙමින් පවතිනවා. සියල්ල අවසානයේ ඇනාගේ කුඩා බඩවැල් ද ඉදිමෙමින් පවතින නිසා ඇයට ආහාර ගැනීම සිදු කළ හැක්කේ බටයකින් පමණක් බව වෛද්‍යවරුන් තීරණය කරනවා. ඇනාගේ ජීවිතය අවසන් වී යන බවට රතු එළි වැටෙද්දී වෛද්‍යවරයෙක් ඔවුන්ට අවසාන තරු එළිය පෙන්වා සිටිනවා.

ඒ බොස්ටන් වල සිටින සැමුවෙල් නර්කෝ නම් ළමා රෝග වෛද්‍යවරයා යි.ඔහු එවකට එක්සත් ජනපදයේ සිටින හොඳම ළමා රෝග වෛද්‍යවරයා වනවා. නමුත් අවසන් පිදුරු ගසේ එල්ලීම පහසු වන්නේ නැහැ. නර්කෝගේ Waiting list එක ඉතා දිගු බැවින් ඇමතුම්, ඊ මේල් කිසිවකට නිවැරදි ප්‍රතිචාරයක් ලැබෙන්නේ නැහැ. ඇනා දිනෙන් දින විශාල වන උදරය සමඟ ඔහේ වැතිර සිටිද්දී ඇයට බොහෝ බෙහෙත් වර්ග ලබා ගන්නට සිදු වෙනවා. සොයුරියට කන්නට නොහැකි කෑම සියල්ල අක්කාත් නංගිත් ප්‍රතික්ෂේප කරනවා.

මේ සියල්ල අතරේ අම්මා, ක්‍රිස්ටි දෙවියන් යනුවෙන් කිසිවෙකු නොමැති බව තීරණය කරමින් දේවස්ථානය අතැර දමනවා. ඇගේ සිඟිත්තියට වේදනා විඳිමින් මියයන්නට හරින දෙවියන්ට ඈ චෝදනා කරනවා. නමුත් ඈ සටන් කිරීම අත් හරින්නේ නැහැ. අනාරාධිතවම රෝහලට කඩා වැදී වෛද්‍ය නර්කෝ හමු වන ඇගේ ප්‍රාර්ථනාව ඉටු වන්නේ අවසන් බලාපොරොත්තු වෙත බීම් පවුල කැඳවාගෙන එමින්.

පරීක්ෂණ බොහොමයකට පසු ඇගේ උදරයේ සහ ආහාර මාර්ගයේ බොහෝ සංකූලතා වෛද්‍ය නර්කෝ හෙළි කර ගනු ලබනවා. වේදනා නාශක මිස කුඩා ඇනාට දෙන්නට කිසිදු ප්‍රතිකාරයක් නැහැ. නොනවත්වා වැඩෙහි යෙදෙමින් රෝහල් ගාස්තු සොයන කෙවින් බීම්, සහෝදරිය වෙනුවෙන් සහමුලින්ම අම්මාගේ කාලය වැයවීම නිසා තනිකමෙන් පීඩා විඳින ඇබී සහ ඇඩී සියල්ල දරා ගන්නේ ඇනා වෙනුවෙන්. ඇනා දෙවියන් වහන්සේව අතැර දමන්නේ නැහැ. අය දිගින් දිගටම යාඥා කරනවා.

අන්තිමේ දී වෛද්‍ය නර්කො අසීරුම තීරණය ගනු ලබනවා. ඒ ඇනාව නිවසට පිටත් කර යැවීම යි.

නිවසට ආ ඇනාගේ ප්‍රීතිමත් බව නිතරම පවත්වා ගන්නට උනන්දු වන්නේ පවුලේ වැඩිමලිය ඇබී. ඈ නිතරම නැගණිය සෙල්ලමට පොළඹවා ගන්නවා. දිනක් අවදානම් නමුත් අපූරු ක්‍රියාවක නිරත වන්නට ඔවුන් තීරණය කරනවා.ඒ සියවසක් වත් පැරණි බවට ගම් වැසියන් පවසන ගොවිපොළ කෙළවර ඇති මහ ගස තරණය කිරීමයි.

දෛවය නැවත කුඩා ඇනාට එරෙහි වන්නේ ඇයව ඒ මහා ගසේ කුහරයකට පතිත කරමින්.

සියල්ල වේගයෙන් සිදු වීම ඇරඹෙනවා. ගිනි නිවන කණ්ඩායම් සහ අදාළ අංශ වේගයෙන් පැමිණ ඇනා ගලවා ගැනීම අරඹද්දී ඕනෑම රටක සිදු වන ලෙසම මාධ්‍ය අංශ සහ අසල්වැසියන් නිවස වෙත ඇදෙන්නේ බීම් පවුල සනසන්නටත් ආරංචි දැන ගන්නටත්.

කලකට පෙර දෙවියන් සහමුලින් අමතක කළ ක්‍රිස්ටි බීම් විසල් ගස බදා දෙවියන්ට යාඥා කරන්නට පටන් ගන්නවා.ඇයට පවුලේ අය මෙන් ම අසල්වැසියන් ද එක් වනවා. පැය පහකටත් පසු ඇනා මුදවාගෙන රෝහල කරා රැගෙන යනවා. සුළු තුවාල පමණක් ඇති ඇනා වෛද්‍යවරුන්ට පුදුමයක්. නමුත් වෙනත් කිසිවක් සිදුව තිබුණේ නැහැ. කම්පන තත්ත්වය මඟ හැරුණු පසු නිවසට එන ඇනා දැඩි උදර වේදනාව වෙනුවෙන් පෙති ඉල්ලීම අතැර දමනවා. සියල්ලන් පුදුමයට පත් කරමින් දිනක් උදෑසන ඈ අවදි වන්නේ සම්පූර්ණයෙන්ම ඉදිමුම පහවූ උදරය සමඟයි.

“මං ගහ ඇතුළට වැටුණාට පස්සේ, සුදු පාට සමනළයෙක් දැක්කා. මං මගේ ඇඟෙන් අයින් වෙලා මං දිහා බලාගෙන හිටියා.. ඊට පස්සෙ මං සමනළයා පස්සෙන් ගියා. එතැන මල් පිරුණු ලස්සන තැනක්. අම්මා දන්නවද මට එතැනදී ජීසස්ව මුණ ගැහුණා. මම එයා ළඟ නවතින්න ආසා කරත් එයා කිව්වා අම්මලට මාව ඕන නිසා ආපහු යන්න කියලා.. මං ආපහු යනවා නම් මාව සනීප කරන්න එයා පොරොන්දු වුණා…”

ඒ ඇනා කියන කතාව ය.

වෛද්‍ය නර්කොට ඇනාට සම්පූර්ණයෙන්ම සුව වීමට නිශ්චිත හේතුවක් නොවැටහෙනවා. ඔහු කියන්නේ “ගස තුළට වැටෙද්දී සිදු වූ කම්පනය ඇයගේ අක්‍රීය වූ ස්නායු යලි ක්‍රියාත්මක වන්නට හේතු විය හැකි බවයි”

මේ ඇනාගේ කතාව. යළි කිසි දිනෙක ඒ අසාමාන්‍ය රෝගයට ඈ ගොදුරු කර ගන්නට හැකි වූයේ නැහැ මේ සත්‍ය ජීවිත අත්දැකීම් අළලා ක්‍රිස්ටි බීම් ලියූ කෘතිය ඇසුරෙන් චිත්‍රපටිය නිර්මාණය වෙනවා.

අසීරු මොහොතක පවා දෙවියන් හෝ අදහන ආගම අමතක කරන්න එපා. ඒ වගේම ඔබ තුළ පවතින ශක්තිය අමතක කරන්නත් එපා. ඒ වටිනා පාඩම් වගේම ඔබට පවුලක බැඳීම සහ මවකට දරුවෙකු වෙනුවෙන් මොනතරම් සටනක් කළ හැකි ද යන්න මේ සංවේදී චිත්‍රපටිය කියා දෙනවා.

ඔබ එය මඟ නොහැර නැරඹිය යුතු ඒ නිසාමයි.

Related Articles

Don't Miss


Latest Articles