කැපිල්ල

සමන්ති ගුරු විවේකාගාරයේ හිටියේ ප්‍රශ්න පත්තර ගොඩකට මැදි වෙලා. අපිලිවෙලට සකස් කරපු සාරි පොටෙන් සැරින් සැරේ පවන් ගහන ගමන් ඇය ප්‍රශ්න පත්තර ලකුණු කරා. රෝෂිණී ගුරු විවේකාගාරයට එනකොට ඇයට වඩා ඉස්සර උනේ ඇගේ විලවුන් සුවඳ. අත් බෑගය කබඩ් එකට දාපු රෝශිනි පොත් කීපයකුත් අරගෙන ගුරු විවේකාගාරයෙන් පිට වුණා.

” කවුද අර ? ” 

සමන්ති තමන් කර කර හිටපු වැඩේ පැත්තක දාලා හේමලතා දිහාවට හැරුණා.

” රෝශිනි. අලුතෙන් ආපු ඉංග්‍රීසි ටීචර්. හරි  හුරුබුහුටි කෙල්ලෙක් ” 

හේමලතා කිව්වේ මූණෙ හිනාවක් පුරෝගෙන.

” සුවඳ ගහගෙන පිස්සුද මං දන්නෑ. නහය කඩාගෙන යනවා ” 

සමන්ති නොරිස්සුමෙන් ආයෙමත් ප්‍රශ්න පත්තරයක් අතට ගත්තා.

අවුරුදු විසිගණන්වල පහු වුණු රෝශිනි සාමාන්‍ය පෙළ පන්ති වල ඉංග්‍රීසි උගන්වන කොට ඒ පන්ති වල දරුවන්ගේ ප්‍රියතම ගුරුතුමිය උනේ රෝශිනි. ඇයටම ආවේණික රටාවකට උගන්වපු නිසාත් , කා එක්කත් හිනාවෙලා කතාබහ කරලා සුහදශීලී විදිහට වැඩ කරපු නිසාත් රෝෂිණී හරි ඉක්මනින් හැමෝගෙම හිත දිනා ගත්තා.

” මේ පාර තෑගි උත්සවයේ වැඩකටයුතු හොඳටම කරන්න ඕනේ. මං ඇමතිතුමාට ආරාධනා කරන්න තමයි හිතාගෙන ඉන්නේ . ඒ නිසා කිසිම අඩුපාඩුවක් වෙන්න බැහැ ” 

ගුරු රැස්වීමෙදි විදුහල්පතිතුමා මතක් කලා

” නැටුම් ගැයුම් ටික මම රෝෂිනිට බාර දෙන්න හිතාගෙන ඉන්නේ. තරුණ ළමයෙක් නිසා ඔයා ඒ වැඩ ටික හොඳින් කරයි කියලා මම හිතනවා. “

විදුහල්පති තුමා කිව්වේ බලාපොරොත්තු සහගතව.

” මට පුළුවන් සර්. මම හැමදේම ප්ලෑන් කරලා සර් එක්ක කතා කරන්නම් “

” මතක තියාගන්න ඕනේ , මේ කිසිම වැඩක් ළමයින්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් කර ගන්න බැහැ ” 

ගුරු රැස්වීම අවසානයේ දී ගුරුවරුන් එකිනෙකා විදුහල්පති කාමරයෙන් පිටත් වෙලා යද්දි සමන්ති බලාගෙන හිටියේ රෝෂිණී පිට  වෙනකන්. රෝෂිනි ඊළඟට තියෙන පන්තියට පිටත් වෙලා ගියාට පස්සෙ සමන්ති විදුහල්පතිතුමා ඉදිරියේ වාඩි වුණා

” සර්. ටිකක් කතා කරන්න ඕනේ මට ” 

” කියන්න සමන්ති. මට විනාඩි දහයක් විතර ඔයාට දෙන්න පුළුවන් ” 

” නෑ මං මේ කියන්න ගියේ, අලුතෙන් ආපු ටීචර් කෙනෙකුට අර වගේ ලොකු වගකීමක් භාර දෙන එක හොඳ නෑ නේද ? ඔය තරුණ ළමයි මොනව දන්නවද ? ” 

සමන්තී කිව්වේ සැරෙන් සැරේ විදුහල්පති කාමරයේ දොර දිහා බලන ගමන්. තප්පර කිහිපයක් කල්පනා කර විදුහල්පතිතුමා සන්සුන් බැල්මකින් සමන්ති දිහා බැලුවා 

” සමන්ත හිතනවද රෝෂනීට ඔය වගකීම ඉටු කරන්න බැහැ කියලා ? “

” නැත්තං සර් ? එයා ආවේ මේ ඊයේ පෙරේදා. තාම ළමයින්ව වත් එයා අඳුරන්නේ නැහැ. මීට කලින් ඔය වගේ අත්දැකීමකුත් නැහැ. ඉතින් කොහොමද තෑගි උත්සවේ items ඔක්කොම එයාට භාර දෙන්නේ ? ඇමතිතුමාත් එනවනං ඒවා හොඳට තියෙන්න එපැයි? ” 

” හරි අපි බලමුකෝ සමන්තී. හැමදේකටම පළවෙනි පාරක් කියලා දෙයක් තියෙනවනේ ” 

විදුහල්පතිතුමාගේ පිළිතුරට සෑහීමකට පත් නොවුන සමන්තී විදුහල්පති කාමරයෙන් එලියට ආවේ ඒ තරම් හිත හොඳකින් නෙමෙයි. දැක්ක දැක්ක තැන රෝෂිණී ට රවන්නත් , ඇය නැති තැන ඇයට බනින්නත් සමන්ති අමතක කළේ නැහැ .

” ඕ ලෙවල් ක්ලාස් එකේ ළමයින්ගේ ඩාන්ස් එක දැක්කද ? ළමයි ටික ෂෝක් එකට ප්‍රැක්ටිස් කරලා “

දවල් කෑමට ගුරු විවේකාගාරයට ආපු රමණි කිව්වා. 

” අපරාදෙ කියන්න බෑ රෝෂිණී භාරගත්ත වැඩේ හරියටම කරනවා ” 

” හහ්.. බලං ගිහාම එයා මාර නැට්ටිච්චියෙක් නේ ” 

රමණිගේ කතාවට සමන්ති බලෙන්ම වගේ උත්තර දුන්නා

” මොකක්ද සමන්තී ඒ කතාවෙ තේරුම ? ” 

රමණී බැලුවේ පුදුමයෙන් වගේ 

” ආවෙ උගන්නන්න නං ඒ වැඩේ හරියට කරගෙන පාඩුවේ ඉන්න ඕනේ. ඇයි මොකද මේ ඉස්කෝලේ නැටුම් ටීචර් කෙනෙක් නැතුව ටද ? ” 

” අයියෝ ,නැටුම් උගන්වන්නේ නැටුම් ටීචර් තමයි. හැබැයි ළමයි ටිකට practice කරවන්නේ  රෝශිනි. ඒ ළමයා උනන්දුවෙලා හැමදේම කරනවා.තරුණ ළමයි නේ. අපිට වැඩිය දුවලා පැනලා වැඩ කරන්න පුලුවන්නෙ ” 

සමන්ති හේතුවක් නැතුව තමන්ව මග අරින බවත් , තැන තැන තමන්ට බැණ වදින බවත් රෝෂිණී ට තේරුණා. ඒත් ඇය කිසිවක් නොදන්නවා වගේ තමන්ගෙ වැඩ ටික කරගෙන ගියා. ඉගෙනීම් කටයුතු වගේම තමන්ට බාර දෙන ඕනෑම වගකීමක් නොපිරිහෙලා ඉටුකරන්න රෝෂිණී වග බලාගත්තා.

” මම ආවේ සර්ට complain එකක් කරන්න තියෙනවා “

දවසක් දවල් වරුවේ සමන්ති විදුහල්පති කාමරයට ආවේ එහෙම කියාගෙන.

” ඉඳගන්න සමන්තී. මොකද්ද ප්‍රශ්නෙ ? ” 

” අද මගේ පීරියඩ් එකට 11 B පන්තිය ළමයි ආවෙ විනාඩි දහයක් පහලවක් පරක්කු වෙලා “

” ඉතින් ? ” 

” මං බලනකොට ඒ ළමයි මොකක්ද නාට්‍යයක් පුරුදු වෙන්න ගිහිල්ලා රෝෂිණී එක්ක ” 

සමන්ති කියන්න හදන්නෙ මොකක්ද කියලා විදුහල්පතිතුමාට ඉවෙන් වගේ තේරුනා. 

” සර් කිව්වේ ඔය ඔක්කොම කෙරුවාවල් පන්තිය වැඩවලට බාධාවක් වෙන්නැති වෙන්න කරන්න කියලනේ.මගෙ වෙලාවෙන් විනාඩි දහයක් පහලවක් ගියාම විනාඩි කීයද පීරියඩ් එකට ඉතුරු වෙන්නේ ? ” 

” මේකයි සමන්ති, ඔය පුහුණුවීම් කෙරෙනවා කියලා නම් මම දන්නවා. අනික තෑගි උත්සවය ට වැඩි කාලයක් නැති එකේ අපි මේ හැමදේම සමබරව කරගෙන යන්න ඕනෙ නේ. විනාඩි දහයක් පහලවක් ළමයි ටික පරක්කු වුණා කියලා සමන්ති කලබල වෙන්න ඕනේ නැහැ ” 

විදුහල්පතිතුමා කිවේ බොහොම සන්සුන්ව.ඒත් සමන්ති පරාජය බාරගන්න බවක් පේන්න තිබුනේ නෑ.

” අපි මේ වෙලාවේ මේ වැඩේට සහයෝගය දෙන්න ඕනේ.අපි කණ්ඩායමක් හැටියට වැඩ කරනකොට තරුණ අයටත් අවස්ථාව දෙන්න ඕනේ. රෝෂිනි මහන්සිවෙලා එයාට දුන්න වැඩේ හරියටම කරනවා නම් මේ ඉස්කෝලේ පරණ ටීචර් කෙනෙක් හැටියට සමන්තිට වුණත් පුළුවන් එයාට උදව් කරන්න. මම හිතනවා මම කියන දේ සමන්ති තේරුම් ගනි කියලා. ” 

මොන බාධක ආවත් රෝශිනි තමන්ගේ වගකීම් ඉටු කරන එක මග හැරියේ නැහැ. ඇගේ මහන්සියේ ප්‍රතිඵල ඕනෑවටත් වැඩිය තෑගි උත්සවය දවසේ දකින්න තිබුණා. 

” මේ උත්සවයේ වැඩ මෙච්චර ලස්සනට කරගන්න මහන්සි වුන අය අතරේ තව විශේෂ කෙනෙක් ඉන්නවා. මම බාර දුන්න වගකීම මම හිතුවටත් වඩා හොඳට කරන්න අපේ අලුත් ඉංග්‍රීසි ටීචර් හොඳටම මහන්සි වෙලා තියෙනවා කියලා අද අපිට පේන්න තියෙනවා. මේ ගැන විශේෂයෙන්ම මතක් කළේ ගුරු දෙගුරු සංගමය . ඉතින් අපි එයාටත් විශේෂ තෑග්ගක් ලෑස්ති කරන්න ඕනේ කියලා කිව්වේ අපේ දෙමව්පියෝ ටිකමයි. ඉතින් මම කැමතියි ඒක අපේ ඇමතිතුමා අතින්ම රෝෂිනීට දෙනවනම් ” 

පළාත භාර ඇමතිතුමා අතින් රෝෂිනි තෑග්ග ගන්න හැටි සමන්ති බලාගෙන හිටියේ දැවෙන ඇස්වලින්.

” මට මේ අවස්ථාව දුන්නට , මාව විශ්වාස කරාට විදුහල්පතිතුමාට තමයි මම ස්තූති කරන්න ඕනෙ. මේක මගේ පලවෙනි පත්වීම. ඉතින් පොඩි කාලයක් ඇතුළත මට ලොකු අත්දැකීමක් ගන්න පුළුවන් වුණා. සර් හැම වෙලාවෙම කිව්වා වගේ හැමදේකටම පළවෙනි පාරක් තියෙනවා. ඒ පලවෙනි පාරදිම මං හිතුව වගේම මේ වැඩ ටික කරගන්න  පුලුවන් උන එක මං ලබපු ලොකු ජයග්‍රහණයක්. මට මේ වැඩේ කරන්න පුළුවන් වෙයි කියලා හිතපු වගේම කරන්න බැරි වෙයි කියලා හිතපු හැමෝටමත් මම ස්තූති කරනවා ” 

එහෙම කියපු රෝෂිණී වේදිකාවෙන් බැස්සේ හැමෝගෙම අත්පොලසන් නාදය මධ්‍යයේ.

More Stories

Don't Miss


Latest Articles