අමාලි පුතාගේ හැසිරීමේ වෙනස දවස් දෙක තුනක ඉඳන් බලාගෙන හිටියා. කසුන් එක්ක ඒ ගැන කතා කරාට, කසුන් ට එහෙම වෙනසක් පෙනුනේ නෑ කියලා කිව්ව එක ගැන අමාලි හිටියේ හිත හොඳ නැතුව. ඒත් පුතා වෙනදාට උදෙන් ඇහැරෙන එක , තනියෙන් ඇඟ සෝදගෙන ලෑස්ති වෙන එක, තනියෙන් කෑම කන එක, කෑම පෙට්ටියත් අරගෙන ආයෙම කුස්සියට ගිහින් එන එක, ඒ තියා පොත් බෑග් එක තනියම හදාගන්න එක ගැන අමාලිට නුහුරට දැනුනා.
හත වසරේ පුතෙක් ඒ දේවල් එහෙම තනියෙන් කරගන්නවා කියන කාරණාව අම්මා කෙනෙකුට සතුටට කාරණාවක් නොවෙන්නෙ ඇයි කියලා කල්පනා කරනකොට තමා අමාලිට වැටහුණේ, පුතාගේ ඒ වෙනස්වීමට කාරණාව නොදන්න නිසයි මේ කලබලය කියලා.
කාර්යාලයේ වැඩ කටයුතු එක්ක කාර්යබහුල වෙන කසුන්ට ඒ ගැන කියලා තවත් කලබල නොකරන්න හිතපු අමාලි පුතා ගැන විමසිල්ලෙන් ඉන්න තීරණය කලා. හැමදාම පුතා ඒ විදියටම ඒ දේවල් කරගෙන ආවා. පාසැල් වාර විභාගේ ලකුණුවලත් අඩුවක් නොතිබුණ නිසා අමාලි පුතා දිහා සැකෙන් බලන එක නවත්තලා දැම්මා. කාගේ හෝ බලපෑමක් හින්දා හරි, පුතාම හිතල හරි වුන ඒ වෙනස්වීම් ධනාත්මක විදියට දකින්න අමාලි හිත හදාගත්තා.
ඒත් හැමදේම පුපුරලා ගියේ එක දවස උදේ දහයට විතට කලුතර රෝහල් පොලිසියෙන් ආව ඇමතුමක් නිසා.
“මේ සත්සර ගේ ගෙදරද ?”
“ඔව්…”
“මේ සත්සරගේ අම්මාද ?”
“ඔව්…”
“අපි කලුතර රෝහල් පොලිසියෙන් . පොඩ්ඩක් ඇවිල්ලා යන්න හොස්පිටල් එකට…”
“අනේ….ඇයි සර්…”
“කලබල නොවී එන්නකෝ අම්මා…”
ඇමතුම විසන්ධි වුනාට , කලබලය විසන්ධි වුණේ නැහැ. අතට අහු වුණ ඇඳුමක් දාගෙන අමාලි වීල් එකකට නැග්ගා. කසුන්ට ඇමතුම් කිහිපයක්ම ගත්තත් පිළිතුරු ලැබුනේ නැති නිසා කෙටි පණිවිඩයක් තියලා කෙලින්ම රෝහලට ගියා.
අමාලි රෝහලට යනකොටමයි කසුනුත් රෝහකට ආවේ. කසුන්ට පණිවිඩේ කියලා තිබුණේ රෝහලේ උන්න කසුන්ගේ හිතවත් වෛද්‍යවරයෙක්.
“මොකද්ද වෙලා තියෙන්නේ ?”
දෙන්නම දෙන්නගෙන් අහගත්තේ නැති වුනාට දෙන්නාගෙම හිත් වල ඇහුණේ ඒ ප්‍රශ්නේ. කසුන්ගේ හිතවත් වෛද්‍යවරයා එනකොට දෙන්නම හිටියේ පපුවේ මහ බරක් පුරවගෙන.
“අජී.. කෝ පුතා…”
“කලබල නොවී හිටපංකෝ.. අවුලක් නෑ. දරුවෝ දෙන්නම හොඳින්….. එතන හිටපු අනෙක් ළමයි ටික කල්පනාවෙන් වැඩ කරලා නිසා කාටවත් ප්‍රශ්නයක් වෙලා නෑ…”
එහෙම කිව්වමවත් අමාලිටවත්, කසුන්ටවත් කිසිම දෙයක් වැටහුණේ නෑ.
“මෙවෙලේ අපි ටිකක් ඉවසීමෙන්, කල්පනාවෙන් වැඩ කරන්න ඕනි… දරුවෝ ගැන හිතන්න ඕනි..”
“මොකද්ද වෙලා තියෙන්නේ අය්යේ..? මට පුතා බලන්න ඕනි…”
අමාලිට ඇඬෙනවා. හිතවත් වෛද්‍යවරයා දෙන්නවත් එක්කගෙනම තමන්ගේ පෞද්ගලික කාමරයට ගියා. වාඩි වෙන්න සලස්වලා, සැහැල්ලුවෙන් කතා කරන්න ගත්තා.
“මාස දෙකකට විතර කලින් සත්සර පුතාලගේ යාලුවෙක් ගේ අම්මා , තාත්තා දෙන්නම ඇක්සිඩන්ට් වෙලා. පස්සේ එයාලා ට්‍රීට්මන්ට් වලින් පස්සේ ගෙදර යවලා. ඒ පවුලේ සත්සරගේ යාලුවට බාල තව දුවෙකුයි, ඒ පුතයි විතරයි . ලංකාවේ උදව්වක් ඉල්ලගන්න කියලා නෑදෑයෙක් එහෙම නෑලු…
.. ඒ අම්මා , තාත්තා දෙන්නටම තවම ඇඳෙන් බැහැගන්න බැරිලු… මාස හයක් විතර එහෙමම ඉන්න වෙනවා… ලොකුවට සල්ලි තියෙඅ මිනිස්සු නෙවෙයි .. වගා කරන අය ..
මේ කොල්ලා හැමදාම අම්මලගෙ වැඩ කරලා, උයලා ඔක්කොම කරලා නංගිවත් එක්කන් ඉස්කෝලේ ඇවිල්ලා තියෙන්නේ… ඕක සත්සරල දැනගෙන තියෙන්නේ අහම්බෙන්…
ඒ දැනගත්ත දවසේ ඉඳන් මේ කොල්ලෝ සෙට් එක ඉස්කෝලේ ලඟට ඇවිල්ලා කෙලින්ම යන්නේ ඒ ගෙදරටලු.. එක එක්කෙනා වැඩ බෙදාගෙන කරනවලු.. අර නංගීට කන්න බොන්න ඒම ගෙවල් වලින් අරන් යනවලු….
පස්සේ ගිය සතියේ වැස්සට ඒ ගෙදර උඩට ගහක් කඩන් වැටිලා.. වාසනාවට ගෙදර කාමරේ පැත්තට නෙවෙයි … ඉතින් පැත්තක්ම සුනේ සුන් ලූ….
ගමේ මිනිස්සු එකතු වෙලා සති අන්තේ අස් පරස් කරලා දීලා ටිකක්.. මේගොල්ලෝ අද ඉස්කෝලේ නොගිහින් ඉතුරුවා අස් කරන්න ලෑස්ති වෙලා තියෙන්නේ…
ඒ වෙලාවේ සත්සරයි , තව දරුවෙකුයි කකුල ලිස්සලා වැටිලා… ඉනිමගෙන්…දෙන්නටම කිස්ස්ම ප්‍රශ්නයක් නෑ.. තුවාල විතරයි …”
අමාලි සත්සරගේ වෙනස ගැන කිව්ව කතාව කසුන්ට මතක් වුණා. අමාලි කසුන්ගේ අත බඳාගෙන අඬනවා.
“පුතා ගැන ආඩම්බර වෙන්න උඹට පුලුවන් කසුන්… මේ පොඩි වයසට උන්ට මෙච්චර දේවල් කරන්න හය්ය තිබුණා..
සමහරවිට උඹලා දෙන්නයි , කොල්ලයි අතරේ මොකක්ම් හරි ගැප් එකක් තියෙන්න ඇති .. ඒ නිසයි ඌ උඹලට හොරා මේ වැඩේට සෙට් වෙන්න ඇත්තේ..
අනෙක් දරුවොන්ගේ අම්මලා මේ වැඩේ ගැන දන්නවා… ඒ එක තාත්තා කෙනෙක් ලබන සතියේ අර කපල් එක ට්‍රීට්මන්ටස් වලට කොළඹ අරන් යන්නත් ලෑස්ති කරලලු තියෙන්නේ…”
අමාලිට තව ඇඬුණා.
“කොල්ලව බිඳින්න එපා බං.. වරදක් වෙලා තියෙනවා . ඒත් ඒක පාරලා තුවාල කරන්නෙපා…”
අමාලියි කසුනුයි සත්සර ළඟට ගියාම සත්සර ඇස් හංගගත්තා. දෙන්නාම් සත්සරව ආදරෙන් වැලඳගත්තා. කිසිම දෙයක් නොකියා හිටියා.
.
.
.
මාස අටකට පස්සේ සත්සරගේ මිතුරාගේ දෙමාපියන් සුවපත් වෙමින් උන්නා. මේ සිදුවීම දැනගත්ත විදුහල්පතිතුමා ඒ පන්තියේ දරුවෝ ඔක්කොමලාගේ දෙමාපියන් එක්ක හමුවක් සූදානම් කරගෙන තිබුණේ ඔවුන් දෙන්නාගේ ඉල්ලීමට , සම්පූර්ණයෙන්ම සුවපත් වුනාට පස්සේ.
” මට හිටියේ දුවෙකුයි, පුතෙකුයි.. ඒත් දැන් දුවෙකුයි පුත්තු තිස් පහකුයි ඉන්නවා… පින්…”
විදුහල්පතිතුමා කතා කලේ ඊට පස්සේ.
” පාසැල් එන බව කියලා, මෙහෙම පිට තැනකට ගියපු එක විශල වරදක් වුනත්, මම ඒ වරදේ අඩුපාඩුව මගේ පැත්තට තියාගෙන මේ දරුවන්ට සමාව දුන්නා.. සමහරවිට අපි දරුවෝ එක්ක සමීපව හිටියා නම්, මේ සිදුවීම අපිට මීට වඩා ලස්සනට, පිළිවෙලට කළමනාකරණය කරගන්නත් තිබුණා.. කොහොම වුනත් මට ආඩම්බරයි දරුවනේ…”
| අපේක්ෂා ගුණරත්න |