හිරුනිට බබෙක් ලැබෙන්න කියලා දැනගත්තාම භාතිය කොච්චරක් සතුටු වුනත්, හිරුනි ඉන්නේ යම් අවදානමක කියලත්, මුල් සති කිහිපයම ඇඳෙන්වත් බහින්නේ නැතිව ඉන්න එක හොඳයි කියලා වෛද්‍යවරයා කියනකොට භාතියටත් කරගන්න දෙයක් නැති වුණා. උසස්පෙළට සති තුනයි. අවසාන සති දෙකේ පුනරීක්ෂණ වලින් එක පැයක්වත් අඩු කරන්න බැහැ. ගෙදර එනකොට කොහොමටත් රෑ දහය පහුවෙනවා. ටියුට් ප්‍රින්ට් කරන වැඩ බලන්නත් යන්න වෙන දවසක් නම් රෑ දොළහෙන් මෙහා එන්න වෙන්නේ නැහැ.
ඒ නිසා භාතිය හිරුනිගෙ අම්මට කතා කරලා කිව්වා සති දෙකකට කොළඹ ඇවිල්ලා නවතින්න කියලා. මාතර ඉඳන් එක්කන් එන්න වාහනයක් යවන්නත් සූදානම් කලා.
“මං ආවම ලොකු පුතාගේ දරුවෝ බලන්නේ කවුද භාතිය පුතා…රුවිනි දූටත් මේ දවස් වල ඔලුව උස්සගන්න වෙලාවක් නෑ වැඩ… ඔය හිරුනිට එච්චර අමාරුවක් නෑ… අනෙක ළමයෙක් හම්බෙන පලවෙනි ගෑනියැ ඔය .. ඔය ළමයා කොහොමටත් ඔහොමයි… “
අම්මා එහෙම කිව්වට පස්සේ භාතිය උත්තර නොදීම ඒක පිළිගත්ත බව පෙන්නුවා.
“පුදුම අම්මලා…”
හිරුනි ලවා මාසෙකට සෑහෙන්නම මුදලක් අම්මා එහෙ ගෙදර වියදමට ගෙන්න ගන්න බව ත් ඒ එක්කම මතක් වෙලා භාතිය හිතුවා. හිරුනිගේ අය්යායි , අය්යගේ බිරිඳයි දෙන්නම මාතර ප්‍රධාන පෙලේ රෙදිපිළි අලෙවිසැලක හිමිකරුවන්. එහෙම එකේ දරුවන්ව බලාගන්න පිළියමක් හදාගන්න, වෙලාව හදාගන්න දෙන්නට හොඳටම ඉඩ තියෙන බව භාතිය දන්නවා.
“මං අම්මව ගෙන්නගන්නම් භාතිය…”
උදේ යන්න කලින් තමන්ව සෝදාලා පිරිසිදු කරලා ඇඳුම් අන්දවන භාතියගේ උරිස්සේ හාදුවක් අමුණන ගමන් හිරුනි කිව්වා.
“ඕනේ නෑ. අම්මා ආවම එහෙ වැඩ කරනේ කවුද … අනෙක පොඩි දෙන්නා අම්මටන්‍ර්‍ර් හුරු…”
භාතිය කතාව ඉවර කලා.එදාම පෞද්ගලික රෝහලකින් හෙදියක් වෙන් කරලා ගෙන්න ගත්තා.
එදා හවස තමයි භාතියට එයාගෙ අම්මා ට හිරුනි ගැන කියන්න ඉඩ ලැබුණේ. සති දෙකක්වත් වෙහෙස නොවීම ඉන්න වෛද්‍ය උපදෙස් ලැබුම නිසා හෙදියක් වෙන් කරලා ගෙන්නගත්තා කියලත් භාතිය කිව්වා.
රෑ එකොළහට විතර භාතිය කාර් එක මිදුලට දානකොටම තව වාහනයක් ඒ පස්සෙන්ම මිදුලට දැම්මා.
භාතියගේ මස්සිනාගේ කැබ් එක. අම්මයි, අප්පච්චියි, අක්කයි, මස්සිනයි ,පොඩි දරුවාවත් අරගෙනම ඇවිල්ලා.
“මං කිව්වා මල්ලී උදේ යමු කියලා …කොහෙද ඉතින් .. නැන්දම්මටයි මස්සිනාටයි ඉවසන්න බැරි වුනා…”
අක්කා නෝක්කාඩු කිය කියා හිනා වෙවී ගෙට ඇතුල් වුනා.
“ඔය නර්ස්ලා පොඩි කෙල්ලෝ නෙහ්… හරියට තේරෙන්නේ නෑ ඔය සාත්තු සාප්පයම්…. මෙවෙලේ කෙල්ලගේ ළඟ අපි ඉන්නම ඕනි…”
අම්මා එහෙම කිය කියා පඩිපෙල නඟින විදිය භාතියයි මස්සිනයි දෙන්නම හරි ආදරෙන් බලාගෙන හිටියා.
| අපේක්ෂා ගුණරත්න |