වියදම් වැඩි දෙසැම්බර් මාසයේ මුදල් ඉතුරු කරගන්නෙ කොහොමද ?

0
728

දෙසැම්බර් සීතල එක්ක පාසල් නිවාඩුවත් ලැබෙන නිසා නත්තල් වගේම 2024 නව වසර පිළිගන්නත් ගෙදර හැමෝම බොහොම ආසාවෙන් බලන් ඉන්නව නේද?

මේ දවස්වල තියෙන ආර්ථික ප්‍රශ්න එක්ක නව වසර, නත්තල, පාසල් නිවාඩු කාලෙ ගැන ඔබේ හිතේ වෙනද තියෙන නොඉවසිලිමත් සතුට නැතුව ගිහින් ඒ වෙනුවට මානසික පීඩනයක් දැනෙන එක හරිම සාමාන්‍යයයි. 

අතේ තියෙන මුදල වෙනදටත් වඩා ඉක්මණින් වියදම් වෙන්න පුළුවන් මේ දෙසැම්බර් මාසයේ අවශ්‍ය දේවල් වලටත් වියදම් කරල මුදලුත් ඉතිරි කරගන්න පුළුවන් විවිධ ක්‍රම කීපයක් ගැන ඔබට කියල දෙන්නයි අපි අද මේ සූදානම් වෙන්නෙ. 

බලමුද ඒ මොනවද කියල ?

අවශ්‍ය බඩු ලැයිස්තුවක් සකසන්න

ඔබ ගෙදරට අවශ්‍ය බඩු මිලදී ගන්න යන්න කලින් ඔබට මිලදී ගන්න අවශ්‍ය මොනවද කියල ලැයිස්‍තුවක් සකස් කර ගන්න. 

පවුලේ සමාජිකයන්ගෙනුත් අහල ඔවුන්ට අවශ්‍ය මොනවද කියලත් දැනගන්න. සමහරවිට ඔබට අමතක වුණ ඉවර වුන ෂැම්පූ බෝතලය ඔවුන්ට මතක තියෙන්න පුළුවන්. 

බඩු මිලදී ගද්දි මේ ලැයිස්තුවේ ඇති භාණ්ඩ පමණක් මිලදී ගන්න ඔබ වගකීම් සහගත විය යුතුමයි. 

මිල අඩුකර ඇතිබව සඳහන් කරමින්, වට්ටම් ලබාදෙන බව සඳහන් කරමින් ඔබට අනවශ්‍ය භාණ්ඩ අවශ්‍ය යැයි හැඟවීමට කරන විවිධ උපක්‍රම වලට හසුනොවී ඉන්න ඔබට එතකොට පුළුවන්. 

මාසයටම හෝ සතියටම අවශ්‍ය බඩු එක්වරම මිලදී ගත්තොත් නැවත නැවත වෙළඳසැල් වලට යාමට සිදුනොවන නිසා කාලය සහ මුදල් ඉතිරි වීම ඔබට ලොකු වාසියක් ගෙනදේවී. 

බඩු ගන්න තනියම යන්න

නිවසට අවශ්‍ය බඩු මිලදී ගන්න යන හැමවිටම විශේෂයෙන් දෙසැම්බර් වගේ උත්සව මාසවල ඔබේ දරුවො ගෙදර තියල බඩු ගන්න යන්න පුළුවන්නන් වඩා හොඳයි.

මොකද අත්‍යාවශ්‍ය නොවන පුංචි දරුවන්ගෙ ඇස රවටන ගොඩක් දේවල් මේ කාලයේදි ප්‍රදර්ශනයේ තබා තිබෙන නිසයි. ඔබ බලාපොරොත්තු නොවූ අතිරේක වියදමක් මේ භාණ්ඩ මිලදී ගන්න සිදුවුනොත් ඔබට දරන්න වීම වියදම් අතින් ඔබට අවාසිදායක වෙන්න පුළුවන්.

නමුත් ඔබ බඩු ගන්න යද්දි ඔබේ දරුවො කන්න ආස රසවත් ගුණවත් කෑමක් එහෙමත් නැත්නම් සෙල්ලම් බඩුවක් ගෙදර අරන් යන්න අමතක කරන්න එපා. ඒ සඳහාත් සීමිත මුදලක් හෝ ඔබ වෙන්කළ යුතුමයි. 

වෙළඳසැල් තෝරගන්න

සමහරවිට ඔබ ටිකක් කාර්‍යබහුල කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමනම්, විවිධ බඩු භාණ්ඩ මිලදී ගන්න විවිධ වෙළඳසැල් වලට යාම ඔබට ටිකක් අපහසු වෙන්න පුළුවන් නිසා ඔබ එකම තැනකින් හැමදේම මිලදී ගන්නව ඇති.

නමුත්, නිවාඩු දිනයක් හෝ මේ සඳහා වෙන්කර ගැනීම ඔබේ පසුම්බියට වාසිදායක වෙන්න පුළුවන්. සතිපොලේ එළවළු ලාභයි වගේම තෝරල බේරල මිලදී ගන්න පුළුවන්. ඒ වගේම සමහර වෙළඳසැල් වලින් සතියකට වගේ අවශ්‍ය අළුත් මස් සහ මාළු මිලදී ගන්නත් පුළුවන්. හාල් සමහර විට ඔබේ ප්‍රදේශයේම තියෙන සහල් මෝලකින් එහෙමත් නැත්නම් වී අලෙවි කරන පුද්ගලයෙක්ගෙන් ටිකක් අඩු මුදලකට මිලදී ගන්න තියෙනවා වෙන්න පුළුවන්. තොග මිලටම භාණ්ඩ මිලදී ගන්න තියෙන වෙළඳසැල් ඕනෑතරම් සොයාගන්නත් ඔබට පුළුවන්. 

ඉතිං ටිකක් ඒ දේවල් ගැනත් හොයල බැලුවොත් අහල පහළින්ම පසුම්බියේ මුදල් ඉතුරු වෙන අවස්ථා ඔබට දැනගන්න ලැබේවි.

වාසි දවස් බලල යන්න

මේ දවස්වල ඔබ දැකල ඇති සමහර වෙළඳසැල් වල ටිකක් වැඩි ප්‍රමාණවලින් පාරිභෝගිකයන්ට වට්ටම් ලබාදෙන වෙළඳසැල්, බැංකු ණය සහ බැර කාඩ්පත් (credit/ debit cards) තියෙනවා. වට්ටම් ලබාදෙන දවසුත් තිබෙනවා. 

ඉතිං ඔබ ලඟ බැංකු කාඩ්පත් තියෙනව නම්, ඒවගෙන් ප්‍රයෝජන ගන්න ඔබට පුළුවන්.

නමුත් වට්ටම් ලබාදෙන මේ මිලටත් අඩුවෙන් සමහරවිට වෙනත් වෙළඳසැල් වලින් භාණ්ඩ මිලදී ගන්න ඉඩ ලැබෙන්න පුළුවන් නිසා ඒ ගැනත් ඔබ වඩා සැළකිලිමත් විය යුතුමයි. 

ගෙදරදි හදාගන්න (DIY)

තේ වෙලාවට බොන්න ඉතුරු සහල් වලින් අග්ගලා ටිකක්, ඉතුරු වුන පාන් වලින් සැර කෙටි කෑමක් හදාගන්න ඔබට වැඩි වේලාවක් ගතවෙන්නෙ නෑ. 

ගෙදරදීම හදාගන්න පුළුවන් නෙල්ලි, ෆැෂන් ෆෘට්, දිවුල් සහ අලිගැටපේර වගේ පළතුරු වලින් හදන බීම, කැඳ වර්ග ඔබට වෙනසක් වගේම ශරීරයටත් හොඳ පෝෂණයක් ලබාදෙනව. 

ඒ වගේම වෙළඳසැල් වලින් ලොකු මුදලක් වැයකරල මිලදී ගන්න අවශ්‍ය වෙන්නෙත් නෑ.

නමුත් මෙහෙම බීම වර්ග පිළියෙළ කරන්න ඔබට අපහසු නම්, සාදා ඇති පැණිබීම වෙනුවට ගෙදරදී ඔබට අවශ්‍ය ප්‍රමාණයට සීනි සහ වතුර යොදා සකසගන්න පුළුවන් කෝඩියල් වර්ගයක් මිලදී ගන්නත් ඔබට පුළුවන්. 

උත්සව කාලයේදී නිවස සරසන්න ගිය වසරේ මිලදීගත් සැරසිලිම පිරිසිදු කරල පොඩි වෙනසක් කරල යොදාගන්න ඔබට පුළුවන්. අන්තර්ජාලය පිරික්සුවොත් මේ සැරසිලි කරගන්න පොඩි පොඩි ක්‍රම ඕනෑ තරම් ඔබට සොයාගන්න පුළුවන්. 

ණය වෙන්න එපා

මේ ඔබ දැඩිව ක්‍රියාත්මක කළ යුතුම සිතුවිල්ලක්. හැකිතරම් ඔබේ ආදායමෙන් උත්සව මාසය ගත කරනව මිසක් විවිධ උත්සව හෝ සාද පවත්වන්න ණය නොවෙන්න ඔබ වඟබලා ගන්නම ඕන.

ඔබේ අතේ ඇති මුදලට එවැනි සාදයක් සංවිධානය කරන්න වගේම සාද නොපවත්වා ඉන්න ඔබට පුළුවන්. එහෙම නොවුනොත් ඒ සඳහා වැයවූ මුදල ඉදිරි මාසවල ඔබේ අතේ ඇති මුදලින් වැය කිරීමට සිදුවන නිසා එය ඔබට දරාගන්න අපහසු වෙන්න පුළුවන්. 

ගෙවීම් ඇතිබව මතක තබා ගන්න

උත්සව මාසය වුනත් ඔබේ නිවසේ නොවැම්බර් මාසෙ ජල බිල්පත, විදුලි බිල්පත සහ දුරකථන බිල්පත ඔබට මාසෙ පළවෙනි සතිදෙක ඇතුළත ලැබෙනවනෙ.

ඒ බිල්පත් වෙනද වගේම ගෙවල අවසන් කරන්න අවශ්‍ය මුදලත් කලින්ම වෙන්කරල තියාගන්න. මොකද අනවශ්‍ය පොළී ගෙවීම් කරන්න අවශ්‍ය නොවෙන නිසා ඒ පුංචිම මුදල වුනත් ඔබට ඉතුරු කරගන්න පුළුවන් වගේම ජනවාරි මාසයට හිතේ බරක් නැතුව යන්නත් ඔබට පුළුවන් නිසයි. 

විදුලිය සහ ජලය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න කියල ඔබට මතක් කරන්නත් කැමතියි. 

ඉතිං මේ පුංචි පුංචි අදහස් යම් සුළු මුදලක් හෝ ඉතුරු කරගන්න ඔබට උදව් වේවි කියල අපි විශ්වාස කරනවා, 

එහෙමනම්, උත්සව මාසෙ සතුටින් ගතකරන්න ඔබ ලෑස්තිද ?

සටහන – දුලානි නවෝද්‍යා 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here