මහිමා එකපාරටම ඇහැරුණේ කසුන්ගේ ජංගම දුරකතනයට ඇමතුමක් ආව හඬට. ඇහැරුන බවක් පෙන්නන්නේ නැතුව මහිමා එහෙමම හිටියා. කසුන් ජංගම දුරකතනයට පිළිතුරු නොදී ඇමතුම විසන්ධි කරන විදියත්, ඊට පස්සේ කෙටි පණිවිඩයක් යොමු කරන විදියත් මහිමා බලාගෙන හිටියේ. ඒ වෙලාවෙන් පස්සේ මහිමාට නින්ද ගියේම නැහැ. කසුන්ගේ ජංගම දුරකතනය බලන්න විදියක් තිබුනෙත් නැති නිසා මහිමා හිටියේ පුදුමම පීඩනේකින්. අලාර්ම් එකේ සද්දේ ට ඇඳෙන් බැස්සට පස්සේ මහිමා ට ඉන් එහාට දවසේ වැඩ කිසිම දෙයක් කරන්න තරම් සිහියක් තිබුනෙත් නැහැ. ඇඬෙන්න ඉකි පවා දැනෙනවා.
“මහී… ඔයා අසනීපෙන් ද ?”
“නෑ..”
කසුන් ඇහැරිලා එනකනුත් මහිමා කුස්සියේ පුටුවක වාඩි වෙලා ඔහේ හිටියා විතරයි. මහිමා නැගිටලා නාන කාමරේ ට ගියාම, කසුන් දෙන්නාටම කෝපු හැදුවා. ඒත් , මහිමා කසුන්ට පේන්නම කෝපි කෝප්පේ සින්ක් එකට හැලුවා.
“මොන යකෙක් වැහිලද ඕයි ? ඇයි මේ ?”
“ඔව්..දැන් මම යකෙක් තමා…සුරංගනාවියෝ ඉන්නවනේ…”
කසුන්ට එහෙම දමලා ගහලා මහිමා කාමරේ දොරත් වහගෙනම කාමරේ ට වුණා. මහ හය්යෙන් ඇඬුවා. කාලෙක ඉඳන් කසුන්ගේ වෙනස්කම් මහිමාට මතක් වෙනවා. හිටපු හැටියේ එන ඇමතුම් නිසා කසුන් අමුතු ප්‍රහර්ශණීය හැඟීමක් එක්ක ජීවත්වෙනවා පේනවා. ඒත් ඒ කිසිම දෙයක් තමා එක්ක බෙදා නොගන්න බවත් මහිමාට මතක් වුනා. කසුන් ඔෆිස් යනකල්ම මහිමා කාමරෙන් එලියට ආවේ නෑ.
දහයට විතර පරණ සිම්පතක් ජංගම දුරකතනය ට දාගෙන මහිමා කසුන්ගේ ජංගම දුරකතනය ට ඇමතුමක් ගත්තා. නාදවුනත් ඇමතුම ට පිළිතුරු ලැබුනේ නැහැ. මහිමාගේ දෑස් රිදෙන තරමට කඳුළු වැක්කෙරෙන්න අරගෙන තිබුණේ. ඊට පස්සේ මහිමා කසුන්ගේ කාර්‍යාලයේ ස්ථාවර දුරකතනය ට ඇමතුමක් ගත්තා.
“සර් අද නිවාඩු …”
මහිමාට දැණුනේ මුලු ජීවිතේ ම අවසාන වුනා වගේ. මුලු ලෝකෙම තමන්ට එරෙහි වුනත් , තමන් වෙනුවෙන් කසුන් ඉන්නවා කියලා හිතේ තිබුණ ශක්තිමත් හැඟීම කුඩුපට්ටම් වෙලා යනවා දැනුණා. යන්න එන්න කිසිම තැනක් නැතුව අසරණ වෙලා ගිය හැඟීම එක්ක මහිමා එතැනම ගුලි වෙලා මහ හය්යෙන් අඬන්න ගත්තා.
මහිමාට එහෙමම නින්ද ගියා. නින්දේ පුරාම සැරින් සැරේ පෙනුනේම භයංකර හීනම විතරයි.
” මහී…. ඇයි දරුවෝ…”
එකපාරටම මහීට කසුන්ගේ හඬ ඇහුණා. මහිමා කසුන්ව පැත්තකට තල්ලු කරලා නැගිට්ටේ පිළිකුල් සහගත යමක් ගතේ දැවටුණා වගේ. කසුන් මහිමාගේ මේ හැසිරීම තේරුම් ගන්න බැරුව ඔහේ බලාගෙන හිටියේ ඇස් නළලේ තියාගෙන.
“එන්නෙපා මගෙ ලඟට…වංචාකාරයා…”
මහිමා මහා සද්දෙන් එහෙම කෑ ගහලා කසුන්ව පහු කරගෙන කාමරේට යන්නයි හැදුවේ. ඒත් කසුන් මහිමාව එහෙමම ඇදලා අරගෙන පුටුවකට තල්ලු කරා. ඒ තරම් වෙලා හිතේ පිරිලා තිබුණ සතුට වෙනුවට දැන් කසුන්ට දැනෙන්නේ මහා කෝපයක්.
“මොකද්ද දැන් කියන්නේ ?”
කසුන් මහ සද්දේට එහෙම ඇහුවම ඊට නොදෙවෙනි සද්දෙකින් මහිමාත් කෑ ගැහුවා. කසුන්ගේ අනියම් සම්බන්ධතා ගැන කිය කිය කසුන්ට සාප කලා.රෑ දෙගොඩ යාමේ එන ඇමතුම් ගැන කියෙව්වා. ඊටත් පස්සේ තමන් වඳ ගෑනියෙක් නිසා කසුන් ගන්න තීරණ වල අඩුපාඩුවක් හොයන්න තමන්ට අයිතියක් නැහැ කියලත් කියෙව්වා. කසුන් ඒ හැමදේම අහගෙන හිටියේ එවෙලෙට අත උස්සලා මහීමාට ගහන්න හය්යක් නොතිබුණ නිසා. ඒත් ඒ වෙනකොට කසුන්ට මහීමා ගැන පුදුමාකාර කලකිරීමක් දැනෙන්න පටන් අරගෙන තිබුණේ.
කසුන් නිහඬවම කාමරේට ගියාම මහිමා හිතුවේම, ඒ කසුන්ගේ හොරකම කියලා. කසුන් තමන්ට මුහුණ දෙන්න බැරිකමට පිටු පාලා ගියා කියලා.
කසුන් මහීමාගේ අක්කට කතා කරලා සම්පූර්ණයෙන්ම විස්තරේ කිව්වා. පහුවෙනිදා උදේට ඇවිල්ලා මහිමාව දවස් දෙක තුනකට ගෙදර එක්කන් යන්න කියලාත් ඉල්ලුවා.
අක්කා ආව ගමන්ම මහීමා අක්කා එක්ක ගෙදර ගියේ කසුන්ට බැණ බැණ. යන මඟ දිගට කලේ අඬපු එක.
ඒත්, ගෙදර ගිහින් පැය කිහිපයක් ගියාම අක්කා කියපු කතාවට පස්සේ මහීමාගේ කඳුළු වල අරමුණ වෙනස් වුනා. ඊට පස්සේ ඇඬුණේ තමන්ගේ හැසිරිම් ගැන කෝපයෙන්.
“කසුන් මල්ලී ට මමයි පණිවිඩඩේ දුන්නේ…අපේ ඔෆිස් එකේ ගෑණු ළමයෙක් නොහිතපු වෙලාවක ප්‍රෙග්නන්ට් වෙලා. එයා ඒ ගැන මට කිව්වා. එයා උත්සාහ කලේ ඇබෝශන් එකකට… ඒත් මං එයාව නැවැත්තුවා .. එයා කැමති උනා බබාව හදාගන්න. ඊයේ රෑ ඒ ගෑණු ළමයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් තමා කසුන්ට කතා කලේ…එයාට හදිසියේම අමාරු වෙලා ඇඩ්මිට් කරලා.. උදේ බබා ලැබිලා.. කසුන් දවසම මා එක එහේ හොස්පිටල් හිටියෙ .නංගී …. ඔයාට මේ ගැන නොකියා ඉන්න කිව්වේ කසුන්මයි…. කලින් වතාවේ වගේ බබා ඩිලිවරි එකේදි නැති උනොත් ඒකත් ඔයා පිට පටවාගනී කියලා බයට… හැමදේම රිලැක්ස් වෙනකල් ඉමු කිව්වා… ඊයේ කොල්ලා ගෙදර ආවේ ඔයාව හොස්පිටල් එක්කන් එන්න නංගී … සැකේ තියෙන්න ඕනි.. ඒත් ඒ ඩෝස් එක ඕවර් ඩෝස් නොවෙන්න ඕනි…”
අක්කාට හරි හැටි පණිවිඩයක් වත් නොතියාම මහීමා එදා හවසම ආයෙම ගෙදර ගියා. එතකොට කසුන් සාලේ සෙටියේ ඔහේ වැතිරිලා ඉන්නවා. මහිමාව දැක්කා වුනත් කසුන් නොදැක්ක ගානටමයි හිටියේ.
මහීමා කසුන්ගේ දෑතම බඳාගත්තා. වචනයක් පිට නොවෙන බව වැටහෙද්දී, එහෙමම ගතට වාරු වුණා.
“සැකේ තියෙන්න ඕනි. ඒත් ඕවර් ඩෝස් නොවෙන්න ඕනි…”
අක්කා එහෙම කිව්ව විදිය මහීමාට ආයේ ආයෙම දෝංකාර දෙන්න ගත්තා. මහීමා තව තදින් කසුන්ට තුරුළු වුණා.