මේ ලංකාවේ කොයි දිසාවකට මාරුව හම්බවුණත් මම වැඩ කළේ දරුවො වෙනුවෙන්. පිටිපන ටිකක් ඇතුළට වෙන්න කලපුව ලගට වෙන්න තිබුනු මිශ්‍ර පාසලේ ගණිතය විෂය උගන්වන්න මට බාර වෙනකොට මම ගුරු වෘත්තියට ඇවිල්ලා අවුරුදු පහක්වත් වෙලා තිබුණෙ නැහැ.කලින් ඉගැන්නුව ඉස්කෝලේ විදිහටම මේ ඉස්කෝලේ ළමයින්ටත් උගන්න ගන්න පුළුවන් වෙයි කියලා හිතලා ගියා වුණාට මගේ ජීවිතයේ කණපිට හැරෙන්න දෙයක් සිද්ධවෙයි කියලා හීනෙකින්වත් හිතුවේ නැහැ.
විදුහල්පතිතුමා මට බාර දුන්නේ දහය වසරෙ පන්තිය. ගණන් විතරක් නෙමෙයි පන්තිභාර කමත් මට බාර දුන්නා.
සරනි මිස් මුකුත් හිතන්න එපා මෙහෙම කිව්වට.. ඔයාට භාර දීල තියෙන්නෙ නම් මුළු ඉස්කොලෙටම එපා වෙච්ච පන්තිය. මේ ඉස්කෝලේ වැඩිපුරම ඉන්නේ මාළු රස්සාව කරන දෙමවුපියන්ගේ දරුවෝ.ඒ හුඟක් දෙමව්පියෝ මුහුදු යනවා. මාදැල් අදිනවා. මාළු විකුනනවා.බෝට්ටු රෙපයාර් කරනවා.ඒ මිනිස්සුන්ගෙ දරුවො නම් හුඟක් වෙලාවට හරි අහිංසකයි.
හැබැයි ඔය දහය වසර පන්තියේ ඉන්න බහුතරයකගේ දෙමව්පියෝ බෝට්ටු අයිති කාරයෝ. ඕන තරම් සල්ලි තියෙනවා.ඔය ලමයින්ගේ ඔලු කාලා තියෙන්නේ උන්ගේ දෙමවුපියෝ තමයි. උන්ට ඉගෙන ගන්න කිසිම උවමනාවක් නැහැ.එන එන ගුරුවරයාට අරියාදු කරලා ඉස්කෝලෙන් අරිනවා.අරින්න දෙයක් නෑ සති දෙකක් උගන්වන ගුරුවරු තමන්ම මාරුව හදාගෙන මාරු වෙලා යනවා.
විදුහල්පතිතුමාගේ කාර්යාලයෙන් එලියට බහිනකොටම මාව අල්ලගත්තු ජේකොබ් සර් කියවගෙන ගියා..
මං හිනා උනා.හිතුවට වැඩිය පන්තිය බරපතළ ඇති කියලා මට හිතුණා. ආපු ගමන්ම පන්තිභාර කමකුත් දෙනෙකුට මට ඒත් එකපාරටම හිතාගන්න බැරුව ගියා.පස්සෙ තමයි තේරුනේ කිසිම ගුරුවරයෙක් 10 වසර පන්තිය බාර ගන්න කැමැති නැති බව.
මම පන්තියට යනකොට මම කියල කෙනෙක් පන්තියට ආවා ද කියලවත් දැනෙන්නෙ නැති විදිහට ළමයි සේරම තම තමන්ගේ ඕපදූප කථා කර කර රොකට් ගගහා විසිල් පිඹ පිඹ හිටියා.
ආයුබෝවන් දරුවනේ…..
පී……………ක්………
එක කොලුවෙක් තමන්ගෙ කටේ තිබුනු විසිල් එකෙන් තමයි මට ආයුබෝවන් කියලා කිව්වේ.
මම ටික වෙලාවක් පන්තිය දිහා බලාගෙන හිටියා. ළමයි ටික හිතන්න ඇති මෙච්චර කාලයක් ආපු ගුරුවරු වගේම මමත් සති දෙකකින් යයි කියලා.මම බලාගෙන ඉන්නවා කියලා කිසිම හැඟීමක් නැතුව ළමයි මම එනකොට හිටපු විදිහටම කෑ ගගහා දඟල දඟල හිටියා.ගෑනු ළමයි කීප දෙනෙක් විතරක් පිටිපස්සෙ ඉඳගෙන හිටියා.මම වචනයක්වත් කතා කරන්නේ නැතුව පිටිපස්සෙම පේලියට ගිහිල්ලා ගෑණු ලමයින්ගේ පොත් ඉල්ලගෙන පෙරල පෙරලා බලන්න පටන් ගත්ත. ගෑනු ළමයි දෙතුන් දෙනෙක්ගේ විතරක් සටහන් ලියාගෙන තිබුනට ගොඩක් ළමයින්ගේ පොත් වල සමහර පිටු හිස් වෙලා තිබුණා. මම කිසිම කතාවක් නැතුව ගෑණු ලමයින්ගේ පොත් බලනවා කියල දැක්ක පිරිමි ළමයි ටිකෙන් ටික තමන්ගේ පුටු වල ඉඳ ගන්න පටන් ගත්තා.
මගේ ඇස් කොනින් දැක්කේ හිමින් ළමයි දෙන්නෙක් පංතියෙන් පිටවෙලා යන්න හදනවා කියන එකයි.
පුතේ..ඔයාලා දෙන්න මේ පන්තියෙ ළමයි නෙමෙයිද..
මේ පන්තියේ තමයි ටීචර් ..
එහෙනම් කොහෙද මේ යන්නේ..
ටොයිලට් එකට..
ටීචර් පන්තියේ ඉන්නකොට අහන්නේ නැතුව ද යන්නේ..
ඕව ඉතින් ආයිත් අහලා කරන වැඩ ඈ…
කොල්ලා දීපු උත්තරේට මුළු පන්තියම හිනා උනා.
දැන් එළියට යන්න බැහැ .
ඇවිල්ල ඉදගන්න.
ගෑනු ළමයි ඉස්සරහ කොල්ලට ලොකු ලැජ්ජාවක් දැනෙන්න ඇති.කොල්ලො දෙන්නාගේ මූනු තරහවෙන් පිරෙනවා කියලා මම දැක්කා.
මේ පීරියඩ් එක ඉවර වෙන්න තව පැයක් තියනවා. දරාගෙන ඉන්න බැරි තරම් වැසිකිලි අවශ්‍යතාවයක් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. දරාගෙන ඉන්න බැරි තරම් අමාරුයි නම් යන්න පුළුවන්.හැබැයි එක්කෙනෙක් ගිහිල්ලා ආවට පස්සේ අනිත් කෙනා.ඒකත් අද විතරයි.මීට පස්සෙ මම එන්න කලින් ඒ අවශ්‍යතා ඉවර කරගෙන ඉන්න ඕනේ.
කොල්ලො දෙන්නා වැසිකිළි යන්න නැගිට්ටේ නැහැ.
පුතේ.. මම දන්නෙ නැහැ ඕගොල්ලන්ගේ හිත් වල මොනා තියෙනවද කියන්න..මොකද මට හිත් කියවන්න තරම් බලයක් නැහැ. හැබැයි මට වගකීමක් තියෙනවා ඔයාලට පාඩම් වගේම ජීවිතය කියලා දෙන්නත්. මෙච්චර දවසක් ආපු ගුරුවරු ඕගොල්ලො දැක්කෙ තරහකාරයෝ හැටියට ..
මම ඕගොල්ලන්ගේ යාලුවෙක් වෙනවා..මේක මටත් අභියෝගයක්.. ඕගොල්ලන්ටත් අභියෝගයක්..
හෙට ඉඳන් අපි පුංචි වැඩක් පන්තියෙ පටන් ගන්නවා. ඔයාලා දෙන්නා දෙන්නා එකතුවෙලා මොන හරි අලුත් දෙයක් නිර්මාණය කරලා පන්තියේ ඉස්සරහා පෙන්නන්න ඕනෙ .
ඒක අනිවාර්යයෙන් කරන්නම ඕනේ. පිරිමි ළමයි … ඒක නොකර ඉඳලා ගැහැණු ලමයි ඉස්සරහ ලැජ්ජ වෙන්න එපා.ගැහැණු ළමයි ඒ දේ නොකර ඉඳලා තමන්ගෙ තත්වෙ පල්ලෙහාට දා ගන්නත් එපා..
පන්තියේ දොර ගාවින් ගුණරත්න සර් එබෙනවා මම දැක්කා.
සමහරවිට කවදාවත් නැතුව දහය වසර පන්තිය පොඩි නිහඬතාවයකින් තියෙන්නේ ඇයි කියලා බලන්න වෙන්න ඇති. මාත් එක්ක පොඩි හිනාවකින් හිනා උන ගුණරත්න සර් ආපහු යන්න ගියා.
අත්ගුනයා… කට හැකර කොල්ලෙක් පන්තිය අස්සෙන් කිව්ව. ගුණරත්න සර් දොඹ ගෙඩි තරම් ලොකු වෙච්ච ඇස් දෙකකින් රවලා පන්තිය දිහා බැලුවා. ආවට වඩා වේගයෙන් පහල පඩිපෙල බැහැගෙන ගුණරත්න සර් යන්න ගියා.මුළු පන්තියම කිචිබිචි ගාලා හිනා වෙන්න පටන් ගත්තා.
ඇත්තටම මට ඒ වෙලාවෙ දැනුනෙ තරහක්. මම පන්තිය දිහාවට හැරුණා.
ඇයි එහෙම කිව්වෙ …
ඇත්තටම මම ඇහුවෙ තරහින්..
එයා බැදලා නෑ…. කියලා ආපහු පන්තිය මැද්දෙන් මවාගත්තු ගෑනු ලමයෙකුගේ කටහඬකින් කොල්ලෙක් කිව්වේ මුළු පන්තියම හිනා ගස්සවලා. අත්ගුණයා කියන නමේ තේරුම මට ඒ වෙනකම් හිතාගන්න බැරුව හිටියට නසරානි කොල්ලා ඒ විදිහට කිව්වහම කොච්චර උත්සහ කළත් මට හිනාව නවත්ත ගන්න බැරුව ගියා. ඒ වගේ දෙපිට කැපෙන වචනෙකට මීට කලින් ගුරුවරුන්ගෙන් මුළු පන්තියම ගුටි කෑවට අලුත් ටීචර් ඒකට බඩ අල්ලගෙන හිනා වෙනවා දැක්කහම කොල්ලො කෙල්ලො මං දිහා පුදුමෙන් බලාගෙන හිටියා.
මට එක දෙයක් විතරක් කියන්න ළමයි..ඇත්තටම ඒ නම ඔයාලා නිර්මාණය කරපු දෙයක්ද..නැත්තං ගොඩ කල් ඉඳන් ඉස්කෝලේ තිබිච්ච නමක්ද..
ඇපී…. ඇපී…. කියලා අර මවාගත්තු ගෑනු කට හඬ ආපහු පන්තිය මැද්දෙන් ඇහුණා.
පුතේ… කිසිම කෙනෙකුට නම් හදන එක නම් හොඳ දෙයක් නෙමෙයි.ඒ උනාට ඒ නමේ….ඔයාලගේ භාෂාවෙන්ම කියනවනම්…මම දැක්කා පට්ට නිර්මාණශීලී බවක්..මම හිතුවට වඩා ඕගොල්ලන්ගේ ඇඟවල් ඇතුලේ හොඳ කලාකාරයො ටිකක් ඉන්නවා. අපි හෙට ඉඳලා වැඩේ පටන් ගමු.අද ඔගොල්ලන්ගෙ ලස්සන නම් ටික මට කියන්න..
විහිලු නම් උසුළු විසුළු මැද කොල්ලො කෙල්ලො තමන්ගෙ නම් ටික කියන කොට තම තමන්ට නිර්මාණය වෙලා තියෙන ඔච්චමත් තමන්ටම කියන්න කියලත් මම කිව්වහම කොල්ලො කෙල්ලො ටික පුදුම වුණා.
මීට කලින් මේ පන්තියෙන් ගියපු ගුරුවරු හුඟක් දෙනෙක් ගෙදර යන්න ඇත්තේ ඊළඟ දවසට බයෙන්..අකමැත්තෙන්..
හැබැයි මගේ කතාව ඊට වඩා වෙනස් වුණා.පහුවදා වෙනකං මම ඇඟිලි ගැන ගැන බලාගෙන හිටියේ…
පහුවදා නෝනිස් ඊඩිත් එක්ක මැන්ඩලීන් එක ගගහා දැල් කවියක් මාර ලස්සනට ඉදිරිපත් කළා..
සන්තානම් පල්ලි යන්න..
යේ ලකඩි ලේ ලෝ
පාලවියෙන් හැරිලා යන්න ..
යේ ලකඩි ලේ ලෝ…
ඒ දෙන්නා මාර විදිහට හාර්මනී පාර්ට්ස් අල්ලනකොට මට හිතාගන්න බැරුව ගියා.. මේ නසරානි දඟකාරයන්ගේ ඇඟ ඇතුලේ වචනයෙන් විස්තර කරන්න බැරි තරම් දක්ෂතාවයක් හැංගිලා තියෙනවා කියන එක මට හිතුනා.
පල්ලිය ආශ්‍රය, ගීතිකා ආභාශය,
ධීවර ජන ජීවිත අත්දැකීම් ….මාරයි…
ඒගොල්ලන්ට මුල ඉඳන්ම වගේ ගණන් මග ඇරිලා තිබුණා.සතියක් විතර මට ලමයින්ගේ ඔලුවලට කතා කරන්න සිද්ධ වුනා.සාමාන්‍ය පෙළට තව අවුරුදු එකහමාරක් වගේ තියෙන හින්දා මම ඒගොල්ලන්ට මට පුලුවන් උපරිමයෙන් උදව් කරන්නම් කියල ඒගොල්ලන්ට ගණන් වෙනුවෙන් කැප වෙන්න පුලුවන්ද කියන එක මම එයාලගේ කටින්ම එළියට ගත්තා. මුලින් මුලින් ඒගොල්ලො අකමැති උනාට පස්සේ පස්සේ බොහොම සරල විදිහට ගණන් කියලා දෙන්න පටන් ගන්නකොට ගොඩාක් ගුරුවරු වගේ වේවැල පාවිච්චි කරන්නේ නැතුව විදුහල්පතිතුමා ගාවට නඩු ගෙනි යන්නේ නැතුව අම්මට තාත්තට ඉස්කෝලෙට එන්න කියන්නෙ නැතුව ළමයි එක්කම කතා කරලා ප්‍රශ්න වලට විසඳුම් හොයනකොට ළමයින්ට ඉබේම මං ගැන විශ්වාසය ඇති වුණා.
තව දවසක් ජුඩිත් ජෝශුවා එක්ක මෝටර් බෝට්ටුවක ප්ලාස්ටික් ආකෘතියක තියෙන විවිධ උපාංග සහ ඒවා ක්‍රියාත්මක කරවන විදිහ ගැන මාර ලස්සන ඉදිරිපත් කිරීමක් කළා.ඒක බලාගෙන හිටපු මගේ ඇස් දෙකට කඳුළු ආවා. ජෝෂුවා තාක්ෂණික කොටස්වලින් සිද්ධ වෙන ක්‍රියාවලිය විස්තර කළේ හරියට ඉංජිනේරුවෙක් වගේ.ජුඩිත් ඒ කොටස් හැදිලා තියෙන විදිහ විස්තර කළේ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් වගේ. මට මෝටර් බෝට්ටුව මැජික් එකක් උනාට ඉපදිච්ච දා ඉදන් අතපත ගාන මෝටර් බෝට්ටුව ඒ ළමයින්ට ලොලිපොප් වගේ… ඒත් ඒක මාර පැහැදිලි කිරීමක්…
ත්වරණය , ප්‍රක්ශේපනය, විචල්‍ය
හරය ලවය, මහා පොදු සාධකය, කුඩා පොදු ගුණාකාරය…
ඊට පස්සේ කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ ඔළුවලට දාන්න මට එච්චර අමාරු උනේ නැහැ..
විශයට ඉස්සරවෙලා ගුරුවරයාට ලමයිව කැමැති කරවාගෙන ඉන්න වෙනවයි කියන එක මම ඉගෙන ගත්තේ ඒ කාලෙදි තමයි..
කහ පාටයි ලා රෝසයි
එක්වී සෑදුන පාටයි
හැන්දෑවේ වර්න හතයි
වයිරෝඩිය නුබ වාගෙයි
මහමුහුදේ දෙවනි රලේ
හෙමිහිට නැගි පෙන අහුරේ
රේන්දයකි නුබ වාගේ
පාන්දර ට අහස වගේ…
වැදුනම වැහි බිදු මුහුනේ
ඇස අකුලන හැටි රහසේ
හැකිනම් ඉන්නට නුබ ගේ
කම්මුල මැද හිනාවලේ…
රූත් තනියම කවි පන්තියක් එයාගේ දවසෙදි ඉදිරිපත් කළා.
රූත් තව ගෙදරදි තනියම ලියලා තිබිච්ච මාර ලස්සන කවි පේළි ඊට පහුවෙනිදා මට ගෙනල්ලා පෙන්නුවේ එදා පන්තියේදී මම එයාව පුදුම විදිහට අගය කරපු හින්දා. තවම රූත්ගේ අම්මා වත් මේ කවි පන්ති දැකලා නැති බව මට තේරුනා.
හඩාවැටුමට බොහෝ දේ ඇත
බලා එලවමු ඉක්මනින් …..
සිනාසෙන්නට හේතු කුමකට
හොය හොයාගමු අත් දෙකින්
කදුලු එන්නට හිනාවෙමු අපි
වැලදගෙන හරි ආදරෙන්..
මහා තුරු මඩු තනිව උන්නට
සෙවන දෙනවා හොද හිතින්
වරක් අත දී බලන් කෙනෙකුට
දැනෙන තුටු හිත ඉස්තරම්
මහපොලව හැම දේම දී හිද
දරාගන්නවා මෙත් සිතින්..
හිතේ හිරවුනු මහා බලයකි
ලොවක් දිනුමට හැකි එයින්
නුඹ නොදන්නා නුඹට පුලුවනි
සොයනු අද මේ දැන් ඉදන්
මං කෙල්ලගෙ අත් දෙක ඉම්බා.. රූත්ගෙ ඇස් වලින් කදුලු වැක්කෙරුනා. උගන්වන අස්සේ අපි මාසයක් විතර මහන්සි වෙලා රූත් ගෙ ලස්සන ම කවි පන්ති හතළිහක් විතර තෝරලා පොතක් හැටියට එළිදැක්වූවා.ඒකට සිංහල ටීචර් ගොඩක් උදව් කලා.රූත් ගෙ තාත්තත් මාළු බෝට්ටු අයිතිකාරයෙක්. ඒ හින්දා පොත ප්‍රකාශනයට පත් කරගන්න එක එච්චර කරදර වැඩක් වුණේ නැහැ. පොඩි උත්සවයකුත් තියලා අපි ඉස්කෝලේ පුස්තකාලයටත් පොතක් පරිත්‍යාග කළා.
මේ අස්සෙ මම ළමයි ව කොහොම හරි නම්මගත්තා අනෙක් විෂයන් උගන්නන්න ගුරුවරු පන්තියට ආවහම ඒගොල්ලන්ට සහයෝගය දීලා වැඩ කරන විදිහට ඉන්නවා කියන එකට…
මාස පහකට විතර පස්සෙ ළමයිව මට සෑහෙන දුරට පාලනය කරගන්න පුළුවන් වුණා. ඊට පස්සෙ හැමදාම හවස පන්ති දාලා හය වසරේ ඉඳලා තියෙන ගනිතය විෂය නිර්දේශය කරන්න පටං ගත්තා . ගණිතය විෂයට ගොඩක් දුර්වල වෙලා හිටපු ලමයි සේරම වගේ සෑහෙන තරම් ලකුණකට තල්ලු කරගෙන එන්න මට පුළුවන් වුණා.
ටිකෙන් ටික උන් මට වේලපු කරවල නොම්මර එකේ උම්මලකඩ උස්සන් එන්න පටන් ගත්තා. පව් අහින්සකයො..
ලමයින්ගේ දෙමව්පියන් ඊට පස්සේ පෞද්ගලිකව මාව හම්බ වෙලා රෑටත් ගණන් පන්තියක් කරමුද කියන යෝජනාව කලා.මාව ගෙදරටම ගිහින් දාන්න
එක දවසට එක දෙමව්පිය ගානෙ බාරගත්තා.ඉස්කෝලේ වැඩත් කරලා හවස පන්තිත් කරලා ආපහු දවස් තුනක් රෑටත් පන්ති කරන්න පුදුම මහන්සියක් උනාට මට ඒක කරන්න බැහැ කියලා කියන්න හිතුනේ නැහැ.
හිතාගන්න බැරි තරම් වේගයෙන් කාලෙ ගෙවිල ගියා.සාමාන්‍ය පෙළ විභාගයට ළමයි ටික බොහොම හොඳින් මුහුණ දුන්නා.ප්‍රතිඵල එන්න මාස තුනක් විතර යන හින්දා කොල්ලො කෙල්ලො ගෙවල් වල නිකන් නට නට ඉන්න හින්දා ඒගොල්ලන්ව ගෙන්නගෙන 6 වසර ඉඳලා 11වසරට යනකම් ළමයින්ට ගණිත වැඩමුළු තියන්න එයාලා උදව් කර ගත්තා.
ජූඩ් , ජෝශුවා, රූත් , ජෙරම් , ජුඩිත්… තව ගොඩක් අය මට පුදුම විදිහට උදව් වුණා.ප්‍රතිඵල එනකම් හැමෝම මඟ බලාගෙන හිටියේ..
සඳුදා ගණිත වැඩමුළු තිබ්බෙ නැති නිසා එදා මම 11 වසර ළමයින්ව ගෙන්නුවේ නැහැ.එදා දවල් දොලහට විතර මගේ මුළු ගුරු ජීවිතයම කණපිට පෙරලපු දවසක් වුණා. එදා ඉස්කෝලේ වැඩ තිබුනේ නැති නිසා ජූඩ් ගෙවල් ගාව ළමයි එක්ක මුහුදේ නාන්න ගිහින් තිබුණා. ඉපදිච්ච දා ඉදලා මුහුද ගැන දන්න කියන ජූඩ් වෙරළාරක්ෂක ස්වෙච්ඡා කණ්ඩායමක සාමාජිකයෙක් වෙලත් හිටියා.දෛවය අපි හැමෝටම නපුරුකම් කරලා හිතාගන්න බැරි විදිහට ජූඩ්ව මුහුද ඇතුලටම අරන් ගිහිල්ලා තිබුණා. මීගමුව ඉස්පිරිතාලෙ ජූඩ්ගෙ මිනිය මෝචරියේ තියෙනකොට පහේ වාට්ටුවෙ එක ඇඳක මමයි අනික් ඇදේ ජූඩ්ගේ අම්මයි හිටියා. මට අදටත් හිතාගන්න බැහැ මම ඒ දරුවන්ට කොයි තරම් ආදරය කළාද කියලා.ඊට සති දෙකකට පස්සේ ප්‍රතිඵල ආවහම ඒ සාමාර්ථ ගොඩේ ජූඩ්ගේ නමත් තිබුණා.එදා තරම් මම අඬපු දවසක්…මම බෞද්ධයෙක් වුනත් මම රූත් ගේ අත්දෙක අල්ලගෙන
අනේ පුතේ උඹලගෙ දෙවියන් වහන්සේ මේ ටීචර් අම්මගෙ පපුව මේ තරම් හාරන්නේ ඇයි කියලා කෑ ගහලා ඇඬුවා..
හදන්න බැරි මිනිසුන්ව … කරුණාව දයාව ඇහුම්කන්දීම අගය කිරීම මගින් කොයිතරම් දුරට කතා ගන්න පුළුවන්ද කියන එක ඒ දරුවො ටික මට කියලා දුන්නා.ඊට පස්සේ ඒ ඉතුරු ළමයි හුග දෙනෙක් ඒ පළාතෙම ටිකක් ලොකු ඉස්කෝල වලට මාරු වෙලා ගියෙ උසස් පෙළ කරන්න.
මට පෙරේදා ජෝෂුවා හම්බවුණා ලංකා බැංකුවට ගියපුවෙලේ..
කොල්ල දැන් ඒකෙ මැනේජර්…
අහ්..හොඳම කෑල්ල ඒක නෙවෙයි.ඌ බැඳලා තියෙන්නේ රූත්ව..
හොර ගෙඩියා මට කිව්වේ වත් නෑ..එහෙම කියලා මම උගෙ කන මිරිකනකොට බැංකුවේ හුඟක් අය හිනා උනා…