ලුණු රස වේදනා.

පර බැල්ලි..
තෝ ආයෙත් ආවා ද මේ ගෙදරට රිංගන්න …
උබෙන් වෙන් කරන්න ඕන හින්දා කොල්ලට දීග තලාවක් හොයලා දුන්නා. තෝ සාපයක් වගේ කැරකි කැරකි උගේ පස්සෙන්ම එනවා.
බලාපන්.. සිරිමලී අද උදේ පාන්දර ගෙදර ගියා …

පුරුදු විදිහටම කහ පාත්තියේ වැඩ කරන්න රන්මලී නන්ද මයුර ලගේ ගෙදර වැට පනින ගමන් හිටියේ .සෙදෝහාමි පුපුරන තරහින් වුණත් කතා කලේ  කුටු කුටුවක සද්දෙන්  .රන්මලීගේ කන් දෙකට විතරක් ඇහෙන සද්දෙන්.

මං තොගේ කන් දෙකේ ඇඟිලි ගහ ගන්ඩයි කියන්න හිටියේ..
ඒ උනාට උඩ බලාගෙන කෙල ගහගන්න බැරි හින්දයි මේ විදිහට කියන්නේ.. නැත්තං අද මුළු ගමටම පේන්න හනස්සකින් දෙකක් දීලා‍යි එලවන්නේ.
තවත් මොනවද බලාගෙන ඉන්නේ  දුප්..බැල්ලි .
සෙදෝහාමි රත් කරපු යකඩ කූරක් වගේ වචන වලින් රන්මලී පුච්චන කොට   කඩුල්ල අල්ලගෙන ඉන්න බැහැයි කියල හිතුනා. ඒ හින්දා රන්මලි ආපහු හැරිලා ගුරු පාර දිගේ ගෙදර යන්න ගියේ පෑවිල්ලට කරංගැට්ටි  ගැහිලා තියෙන ඇස් වලට කඳුළු ඉනුවා ත් එකයි නැතත් එකයි කියල හිතලයි .

වැට පනින්න එනකොට අම්මාගේ කඨෝර වචන වලට ආපහු හැරිලා යන රන්මැලි දිහා නන්ද මයුර කාමරයේ ජනේලයේ කුරු අස්සෙන් බලාගෙන හිටියා .

නන්දෙ මල්ලියේ ..මේ අක්කර හත අට කහ ඉන්දන්න උඹට මං උදව් කරන්නම් .එහෙම කියාපු රන්මලි ඇඳගෙන හිටපු ගවුමට උඩින් චීත්ත හිරවෙන්න ඇඳගෙන පැය ගානක් එක දිගට කොන්ද වකුටු කරගෙන පාත්තියක් පාත්තියක් ගානේ එක හුස්මට උදුලු ගාගෙන  ගාගෙන ගිය හැටි නන්දමයුරට මැවිලා පෙනුනා .රන්මලීගේ පිරිච්ච ඇඟපත දාඩියෙන් පෙඟිලා යනකොට
රන්මලි අක්කේ …තේ කහට උගුරක් බීලා ඉමු නේද ..කියලා නන්ද මයුර  කීප සැරයක්ම අහන හැටි දෝංකාර දිදී ඇහුණා .රන්මලි අවුරුදු දහයක් තිස්සේ කාන්තාරයේ ගෙවල් වල වළං හෝදල හෝදලා  තවත්  නං මේ සුමේ  මට කරන්න බැහැ දෙයියනේ කියලා  අලකොලදෙනිය ගම්මානයටම ආපහු ආවෙ හම්බ කරගෙන ආපු තුට්ටු දෙකෙන්  ගෙදරට වහලයක් ගහල ඉවර කරපු ගමන් .

නන්දෙ මල්ලියේ, මටත් හරි හමන් රස්සාවක් නැති එකෙ මම උඹේ කහ පාත්තියේ  වැඩට එන්නද..

කියලා රන්මලී  එදා සමූපකාරය ගාවදි අහනකොට නන්ද මයුර ට එපා කියන්න හිතුනෙ නැහැ .පිරිමි හත්අට දෙනෙක් කරන වැඩ එක දිගට තනියම රන්මලී මේ විදිහට කොහොමද කරන්නේ කියලා නන්ද මයුර බලාගෙන හිටියේ දවසක් දෙකක් නෙමෙයි .
සරාස් සරාස් ගාලා  පාත්ති උදලු ගාන ගමන් ලෙඩ හැදිලා තිබිච්ච ඔක්කොම කහ පැල එක සැරේට ගලව ගලව එක තැනකට එකතු කරන හැටි නන්ද මයුර බලාගෙන හිටියේ  මාසයක් පරණ කහ පැල වලට පෝර දාන වැඩේ නවත්තලා යි.
අනේ අප්පේ දරු පැටව් වගේ හිනාවෙන ලස්සන..
කියලා කහ පාත්තියේ පළවෙනි දළු  දෙක තුන දාගෙන ගස් නැගිටගෙන එනකොට රන්මලී උදලු මිටට නිකට තියාගෙන හිනාවෙවී ඒ දිහා බලං ඉදපු හැටි නන්දට මතක් උනා .

අක්කේ අම්මා මඤ්ඤොක්කා තම්බල එවලා තියනවා කෑල්ලක් කාල හිටහං .

උඹ කාපං මලේ..
මම මේ ටික සුද්ද කරලම කන්න එන්නම් .
එහෙම කියපු රන්මලි ආපහු පාත්තිය දිහා බලාගෙන වැඩ කරනකොට නන්ද මයුර තමන්ගේ කොරහේ තිබිච්ච  ලොකුම මඤ්ඤොක්කා කෑල්ලට කොච්චි සම්බෝල තලියක් තියලා රන්මලීගේ කට ගාවට අත ගෙනිච්චෙ  ඒ වෙලාවේ කහ හේනේ පේන  තෙක් මානෙක කවුරුවත් නැහැයි කියලා හිතාගෙනයි .

ඈ බොල ගොන් නාම්බෝ ..
තෝ හිතුවද කහ ගස්වල කොළ කෙහෙල් කොළ හේ විසාලයි කියලා ..තෝ අරකිට ඉඳුල් කට ගාන්න නැකතකුත්  බැලුවද ..මොකක්ද බං උඹලගෙ මේ වැඩ වල තේරුම ..ආයි කතා කොරන්ට  එපා ..
උඹට කතා කොල්ලා ඉවර වෙලා තියෙන නයිවල සිරිමලීව ලබන සතියේ ම මෙහාට කැන්දාන එන්ඩ ඕන ..
සෙදෝහාමි නඩුව අහලා තීන්දුවත් දීලා එකපාරටම එතැනින්  නැගිට්ටෙ කොරහෙ හෝද හෝද තිබිච්ච කරවල පිලී වතුර එක කෙහෙල් පඳුර ට විසි කරන ගමන්මයි .

මල්ලියෙ….ලබන මාසේ වෙනකොට නං කහ පඳුරු ටික උගුල්ලන්ට පුළුවන් .ඇස්වහක් කටවහක් නෑ දෙයි හාමුදුරුවනේ මගේ හිත කියනව මේ එක පඳුරක ලාහක තරම් කහ ගුලි ගුලි ඇතැයි කියලා ..රන්මලී පාත්තිය දිහා බලාගෙන කිව්වේ හැබෑම සන්තෝසෙ න්. ..

මොකෑ මල්ලියේ උඹ දවස් දෙක තුනක ඉඳන් අහක බලාගෙන ඉන්නේ…

මං ලබන සතියේ කසාද බඳිනවා..

නන්දමයුරට රන්මලීගේ ඇස් කියවන්න ඕන වුණා .අවුරුදු ගාණක්  රට රාජ්‍යවල හක්කලං ගහලා ආපු රන්මලිට  හදවතේ කියවන දේ ඇස්වලින් වහංගන්න තරම් හැකියාවක් තිබුණා  .

සිරිතුංගගේ කකුල් පාරවල් අත්  පාරවල් ඉවසන්න බැරුව මැරුනත් කමක් නැහැයි කියලා හිතාගෙන උපන් රටෙනුත් එහාට වැලිකතරේ ගෙවල් වල වළං හෝදන්න ගිය රන්මලී ට නිල් පාට මැණික් ගල් දෙකක් වගේ දිලිසෙන බාබාගේ ඇස් දෙක ඉස්සරහ ත් හැමදාටම නවතින්න හිත් දුන්නේ නෑ.නන්ද මයුරගේ තරුණකම වැක්කෙරෙන අතපය වලත්  ජවය පිරිල ඉතිරුණු ආරෝහ පරිනාහ දේහය  ඉස්සරහත් රන්මලී ට හිත දෙකඩ කර ගන්නේ නැතුව  කහ පැල වලට සාත්තු  කරගන්න පුළුවන් වුණා .
වැඩ කරන අව්  අස්සෙ රන්මලි අක්කේ කියාගෙන  ලඟින් ඉඳ ගන්න නන්ද මයුරගේ ශරීරයෙන් හමන ඒ නැවුම් පිරිමි සුවඳට දරු දෙන්නෙක් උන්න රන්මලීගේ ගෑනු හිත පතුරු ගැහුවා.

මූසල බැල්ලි ..ඔය ගෑනි ගේ පෙලවහට මම කොච්චරනං බැහැයි කියල අපේ අම්මන්ඩීට දෙඩුවද….. මෙහෙට ඇවිල්ලා සති දෙකක් ඇන්න වුණා .නිකමට…
මං අහන්නේ නිකමට.. කහ පාත්තියේ දිහා ගියාද ඔය ගෑනි…
රන්මලි  අක්කගේ අතින් උදලු පාරවල් නං කීයක් ඔය බිමේ වැදිලා ඇත්ද .. හෙට අනිද්දට කහ උගුල්ලනකොට.. දෙයියනේ …
නන්දමයුරගේ හිත සිරිමලී ට විරුද්දව කෑ ගැහුවේ මූනේ හම ගලක් වගේ තද වෙනකොටයි.

කවුද රන්මලි කියන්නේ ..

සිරිමලී ඇහුවේ බැඳලා දවස් දෙකකට පස්සේ හැන්දෑ වරුවක නාල ගෙට ආපු වෙලේ තෙත කොන්ඩේ පිහන ගමන්මයි..

ඇයි..

තාමත් ඒ ගෑනි මෙහෙ එනවා යනවද ..

ඇයි..

මොනවද අනේ ඔයා හැම එකම ඇයි ඇයි කියලා අහන්නේ ..මම නාන්න ගියපු වෙලේ ළිඳ ගාව ගෑනියක් තමයි මට කිව්වේ ..ඔහේ අවුරුදු ගාණක් ඒ ගෑනිත් එක්ක හොඳට නැටුවා යි කියලා …

ඇත්තද ,ඒ කියපු ගෑණිද එතකොට බෙරපදේ ගහලා තියෙන්නෙ …

බෙරපද නං මං දන්නෑ… ඒකිගේ විසේට ඔහේ නටපු නැති විගඩමක් නෑ කිව්වේ ..හොඳයි මං හොයාගන්නං කො ..

මගේ ඕපදූප හොයන්න කලින් තමුසෙට පුළුවන්නම් ගිහිල්ලා එක පාත්ති දෙකක් උදලු ගාලා පෙන්නනවා.

නන්ද මයුර එහෙම කියනකොට ගස්සගෙන සිරිමලී  එතනින් යන්න ගියාට ,
තමුසෙට පුලුවන්නං.. පුළුවන් නං රන්මලී වගේම මගේ හිතට ශක්තියක් වෙලා පෙන්නනවා, තමුසෙට පුළුවන්ද රන්මලි වගේ මේ අක්කර 8ම දෝතට අරගෙන වැඩ කරන්න.. තමුසෙට පුලුවන්ද රන්මලී ට වගේ මගේ හිත නිවෙන්න හිනා වෙන්න… තමුසෙගෙ ලඟින් රන්මලීගේ සුවඳෙන් බාගයක් වත් එන්නේ නැහැ ..තමුසෙට පුළුවන්ද රන්මලීට  වගේ පෙඟෙන්න දාඩියෙන් …
එහෙම කියලා නන්දමයුරට කෑ ගහන්න හිතුනා .කසාද බැඳලා ආපු දා ඉඳන් සති දෙකක් යනකම් සිරිමලී  නන්ද මයුරට තමංව අල්ලන්න වත් දුන්නේ නැහැ .
කාගෙදෝ අතේ හොරෙන්ම ගෙදරට පණිවිඩයක් ඇරපු සිරිමලී  නන්දමයුරගේ  මූණවත් නොබලා ගෙදරින් පිටවෙලා යන්න ගියා .

රන්මලී අක්කේ.. උඹ වරෙන්  පාත්තියේ කහ ගලවන්න .ඒ පාත්තිය උඹෙයි මගෙයි දෙන්නගෙමයි.  එහෙම කියලා නන්දමයුර කිව්වට… සිරිමලීට මගේ හිතේ හිස් තැන් මකන්න බැරි වුණා බං..කියලා කටක් ඇරලා කියාගන්න බැරි උනා.
නන්දමයුර එදා එහෙම කිව්වේ හරියටම මහකුඹුර මැද්දේ මහ නියර උඩදී මූණට මූණ රන්මලී ව මුලිච්චි වෙච්ච දවසෙයි.
සිරිතුංගගේ අඩත්තෙට්ටම්  ඉවසගන්න බැරුව   බාබාගේ ළඟ නතර වෙච්ච ඒ මහා ගෑනු හිත බාබාගේ සුවඳ හමන සුකුමාල සිවුමැලි අතපය ග්‍රහණය ඉස්සරහදි ත්  ලෝබ නොවී සුවය වින්දත් , ඒ ජීවිතය මැදින් අත ඇරලා එන්න ශක්තිමත් වෙච්ච ඒ අපූරු ගැහැනු හිත දාඩිය සුවදින් පෙඟිච්ච නන්ද මයුර ඉස්සරහ අවුරුදු දහසයේ කෙලි පැටික්කියක් වගේ අසරණ වුණා.

රත්තරං මල්ලියේ….

රන්මලී ගේ කම්බුලක් කපාගෙන රස්නෙට කදුලු රූලක් නහයත් පහුකරං ගිහින් හරියටම පියයුරු අස්සට රිංග ගත්තේ පුලුවන්නම් කදුලු කැටේ හොයාගනින් මල්ලියේ කියන්නැහෙයි.

ජාති ජාතිත් මං උබට සෙනෙහෙවන්තයි මල්ලියේ…
උබේ පව්ල ඉහිරවන්ට මං මක්කද කලේ මල්ලියේ ….
උබේ පුස්බට මං ගැති නෑ කියන්ට බෑ මල්ලියේ…
ඒත් ..ඒත්.. ඒවා අහවරයි බං…  හෙට ආපහු බාබාලගේ දිහා යනවා..
එහෙම කියපු රන්මලී නියරෙන් මඩට බැහැලා නන්ද පහු කරං ගිහින් ආපහු නියරට නැගලා යන්න යනකොට කොහෙන්දො හමාපු හුලගක් රන්මලීගේ ඇගේ එතිලා නන්දමයුර පහුකරං යන්න ගියේ එකතැනම ගල්වෙලා උන්නු නන්දමයුර ඇස් පියාගෙන හුලග අරං ආපු සේරම සුවද එක හුස්මට උරනකොටමයි….

More Stories

Don't Miss


Latest Articles