බාධාව 02

කොහොමම හරි චරකට පුළුවන් වුණා කසුන්සලා ගේ හිතේ ජීවිතේ එකට ඉස්සරහට යෑමක් ගැන අදහසක් හදන්න. තව මාස හයකට විතර පස්සේ කසුන්සලා චරකගේ අතින් අල්ලගෙන චරකගේ ගෙදර ට යන්න එකඟ වුණා. 

චරකගේ ගෙදර හිටියේ අම්මයි, තාත්තයි, නංගි කෙනෙකුයි. නංගිලා ගැන කසුන්සලාගේ හිතේ පොඩිවත් පැහැදීමක් තිබුණේ නැති වුනත්, චරකගේ නංගී එක්ක කතා බහ කරලා ඉන්න උත්සාහ කලා. 

විශ්ව විද්‍යාල අවසාන විභාගය සමත් වෙලා ටික දවසකින් චරකට අලුත් රැකියාවක් ලැබුණා. එතකොට කසුන්සලා සිව් වෙනි වසරේ. හැමෝගෙම යෝජනා ස්ථිරත්වයෙන් චරක කසුන්සලාව විවාහ කරලා ගෙදර එක්කරගෙන ආවා. විවාහය ගැන කතා කරගන්න කසුන්සලා ගේ තාත්තා මුණගැහෙන්න ගියහම, චරකට ලැබුණ ප්‍රතිචාර නිසාම විවාහයට කසුන්සලාගේ ලේ නෑයෝ කියන්න කිසිම කෙනෙක් ආවෙත් නැහැ.

“මනමාලිට නෑයෙක්වත් නැද්ද ?”

එහෙන් මෙහෙන් එහෙම ඇහුණට චරකලාගේ අම්මල්ල ඒ කතා බස් දිග ඇදෙන්න දුන්නේ නැහැ. 

ඊට පස්සේ කසුන්සලාගේ ජීවිතේ වෙනස් වෙන දවස් උදා වුණා. කාන්තා සමූහ වලින් නැන්දම්මලා , නෑනලා එක්ක ජීවත් වෙන විදි ගැන කියවලා තිබුණා මිසක්, කසුන්සලාගේ යාලුවෝ අතරේ වත් එහෙම අත්දැකීම් තියෙන අය උන්නේ නෑ. ඒ නිසාම කසුන්සලා සූදානමින් හිටියේ ඒ සැසඳීම් එක්ක. 

” මම නම් මොක වුනත් නැන්දම්මාට කලින් නැගිටලා හබීට තේ හදලා දෙනවා… එහෙම නැති උනාම තමා නැන්දම්මා හබීව අල්ලගන්නේ.. ඊට පස්සේ නැන්දම්මාටත් තේකක් හදලා තියන්න්වා…”

“උදෙන්ම නැගිටලා උයලා ඔක්කො කරලා නාලා තමයි මම ඔෆිස් යන්නේ…”

“නෑනාව පමණට ආශ්‍රය කරන්නේ මම නම්, උදේට දැක්කත් ගුඩ්මෝනින් කිව්වා එච්චරයි. ..”

කසුන්සලාගේ හිතේ පිරිලා තිබුණේම අනෙක් අයගේ අත්දැකීම්. පාසැල් කාලෙ ඉඳන්ම විඳින්න සිද්ද වුණ අඩුලුහුඬුකම් හින්දාම ගෙදරක් ඇතුලේ තියෙන ජීවී සම්බන්ධතා ගැන කසුන්සලා හිටියේ තිගැස්මෙන්.

කසුන්සලා උදේ හතරට එලාර්ම් එක තියාගෙන තමයි රෑ නිදාගත්තේ. හරියට හතට වෙනකොට ඇහැරුණා. ඇඳෙන් බහින්න හදනකොට චරකගේ අත කසුන්සලා වටේ එතුණා. කසුන්සලා හෙමින් සීරුවේ රිංගලා කුස්සියට ආවා. 

වතුර කේතලේ ලිපෙන් තියල ආපස්ස හැරිලා බලනකොට චරකගේ අම්මායි, නංගියි, තාත්තයි තුන්දෙනාම පිටිපස්සේ. චරකත් ඇස් පොඩි කර කර ඊට පිටිපස්සෙන් ඉන්නවා දැක්කා.

කසුන්සලා හතර දෙනාගේම දිහා බලලා හිනා වුණා. ඊට පස්සේ චරක දිහා විතරක් බැලුවා.

“මොකද අප්පා සෙනසුරාදා උදේ පාන්දර ඇහැරුණේ…?”

චරක එහෙම කියාගෙන ඇවිල්ලා කසුන්සලාගේ කර වටේ අත දාගත්තා. කසුන්සලා චරකගේ අත පැත්තකට කරන්න ඇඹරෙන ගමන්, ආයෙම හිනා වුණා.

“දූ ට බඩගින්නක් ආවද? තේ තිව්වේ?”

අම්මා එහෙම අහනකොට කසුන්සලා හිස සැලුවා.

“මොකෝ අක්කේ යකෙක් දැකලා වගේ ඉන්නේ.. මෙයා කරදර කලාද?”

නංගි එහෙම අහනකොට අම්මා නංගීගේ බාහුවට සැහැල්ලුවෙන් පාරක් ගැහුවා. හැමෝම හිනා වුණා

“කෝ.. අපි කෝපි හදන් එන්නම්… ඕගොල්ලෝ යන්න සාලෙට ..”

නංගී එහෙම කියාගෙන කසුන්සලා ළඟට  ඇවිල්ලා චරකවත් පැත්තකට තල්ලු කරා. 

ඊට පස්සේ කට්ටියගේ කෝප්ප  එකින් එක පැන්ට්‍රිය උඩින් තියන ගමන්, හෙමින් සිරුවේ කසුන්සලා දිහාව බැලුවා.

“ඇයි අක්කේ ?”

“ම්ම්…?”

කසුන්සලා ගැස්සිලා වගේ නංගී දිහා බැලුවා. 

“ඔයා මොකටද අනේ බය වෙලා වගේ ඉන්නේ?”

කසුන්සලා ට ඇඬුණා. නැන්දම්මාගේ ගෙදර ට් ආවම හැසිරෙනන්න ඕනි විදි ගැන කාන්තා සමූහ වල කියවලා තිබුණ සමහර දේවල් ගැන කිව්වා. අත්දැකීම් නැති උනත්, අහලා තිබුණ දේවල් එක්ක යාලුවන්ගේ උපදෙස් කිව්වා. තමන්ට ඇත්තටම උවමනා උණුසුම් පවුලක රැඳෙන්න බවත්, කොහේ හරි තැනක වෙන අඩුවක් නිසා ඒ උණුසුම නැති වේවි කියලා තමන්ට දැනෙන බිය හරිම අපහසු බවත් කිව්වා. 

මහත, කලු ගෑණු ළමයෙක් උනාට කැම්පස් එන්න කලින් ජීවිතේ වින්ද  අවලාද ගැන කසුන්සලා කියනකොට නංගීත් අඬන්න අරගෙන. ඒත් කැම්පස් ආවට පස්සේ මුණ ගැහුණ යාලුවෝ කිහිපදෙනෙක් නිසා තමන් තමන්ට ආදරේ කරන්න් පටන් ගත්ත බවත් කසුන්සලා කිව්වා. පවුල කියලා ඒගොල්ලන්ව බඳාගන්න සූදානම් වෙනකොටම ඒ අයගේ ලෝක වල ඒ අය ඉතාම කාර්‍යබහුල වුණ බවත් කීවා. ඊට පස්සේ තමන් තනියම ජීවිතේ ඉස්සරහට එන්න ආයෙම වින්ද අපහසුව ගැනත් කිව්වා. 

එතැනින් එහාට කතාව කියන්න වුණේ නැහැ. චරකගේ අම්මා ඇවිල්ලා කසුන්සලා ව වැළඳගෙන හිටියේ. 

“ඔක්කොමලා යන්න.. මං දූ එක්ක කතා කරන්නම් ..”

චරකගේ අම්මා එහෙම කියලා කසුන්සලාව ලං කරගෙන කුස්සියේම ඉඳගත්තා 

“දූ … ඔයාගේ ඉස්සර කාලේ සිද්ද වුණ දේවල් වලට තවදුරටත් ඔයාගේ ජීවිතේ අඳූරු කරන්න දෙන්න එපා… ඔයා මෙහෙට ආවේ සාම්ප්‍රදායික ලේලි කෙනෙක් වෙලා කියල හිතන්නත් එපා… ඔයා ඉගෙන ගෙන ඉවර වෙන්නත් කලින් මෙහෙම කසාද බඳින එකෙන් ඔයාගේ ඉගෙනීමට බාධා වේවි කියල තාත්තයි මමයි දෙන්නම චරකට කිව්වා. ඒත් , එයාට ඕනි වුනා මේ හදිසියේම මේක කරන්න.. එයා කිව්වේ ඔයා එලියේ ඉඳගෙන මොකද්දො මන්දා හිස් තැනක් පුරවගන්න සටන් කරනවා කියලා   …”

කසුන්සලා අම්මා දිහා බැලුවා.

” මට ඕනි වුණේ හැමවෙලේම මා එක්ක ඉන්න පවුලක් අම්මේ.. මාව මේ විදියට දරාගන්න පවුලක්…. ” 

කසුන්සලා ඉකි ගහන ගමන් එහෙම කිව්වා.

“උදේ පාන්දර නැගිටලා තේ හදන්න ඕනි නෑ ඔයා ඒ පවුල රැකගන්න දූ..  මට ඔයත් නංගී වගේ..  දෙන්නා ම තවම ඉගෙනගන්නවා… ඔයා නිදහසේ ඒ දේවල්  ගැන හිතන්න…  කුස්සිය ඔයාගේ ඔලුවට බරක් වෙන්න ඕනි නෑ..”

“ඒත් අම්මේ…”

“ආයේ මුකුත් කියන්න එපා…. චරක උදේ පාන්දර නැගිටින්න හරි කම්මැලි.. අර නැගිටල මූණත් දෙක කරගෙන ඉන්නේ ඔයා නිසා.. “

අම්මා හිනාවෙවී කිව්වේ කසුන්සලාවත් හිනස්සලා.

“ඔයාගේ ජීවිතේ ඉස්සරහට යන්න තියෙන බාධාව දැන් තියෙන්නේ ඔයාගේ හිතේ දූ..  අතීත සිද්දි මතක තියාගෙන , එහෙම නොවෙන්න නම් මෙහෙම කරන්න ඕනි කියලා හිත හිතා ඔයා එක එක දේවල් කරනවා.. ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි .. එතකොට ඔයාට සාමාන්‍ය ජීවිතේ ලස්සන දේවල් ඔක්කොම මඟෑරෙනවා.. එතකොට ඔයා ආයේ ඉස්සර විදියටමනේ ජීවත් වෙන්නේ…”

අම්මා කසුන්සලා ට පැහැදිලි කලා. කසුන්සලා අහගෙන හිටියා.

“වගකීම් බලෙන් පටවගෙන අපිව රැකගන්න කියලා ඔයාට ඔයාව අහිමිවෙන්න දෙන්න එපා දූ… ඔයා නිදහසේ ජීවත් වෙන්න. අපි ඔයාට ඉන්නවා ..”

චරක කුස්සියේ දොර ළඟින් එබෙනවා කසුන්සලා දැක්කේ එතකොටමයි. කසුන්සලා එක අතකින් අම්මව අල්ලගෙන අනෙක් අත චරක දිහාවට දිගු කලා.

“මං කිව්වා නේද ? අපේ අම්මා කොහොම ද කියලා …ඇහුවේ නෑනේ ?”

චරක එහෙම කියාගෙන ඇවිල්ලා කසුන්සලාව වැළඳගත්තා. කසුන්සලා හීනි නිදහස් හුස්මක් හෙලුවා.

| අපේක්ෂා ගුණරත්න |

More Stories

Don't Miss


Latest Articles