ජීවිතේ ඔබ වැඩිපුරම බය මොනවටද කියල ප්‍රශ්නයක් ඇහුවොත් ඔබේ උත්තරේ මොකක් වෙයිද?
සාමාන්‍යයෙන් මරණයට, උස් ස්ථාන වලට, කරුවලට, කැරපොත්තන්ට සහ සර්පයන්ට වගේ අපි නිතර දෙවේලේ අහල පුරුදු බයවල් තියෙනවනේ.
අපි බය වුණත් මේ දේවල් වලට මුහුණ දෙන්න වෙන අවස්ථාවල් වලදී ඒව සමඟ ගණුදෙනු කරල එදිනෙදා ජීවිතය ගත කරන්න අපිට සිද්ධ වෙනවා.
නමුත්, මේ සාමාන්‍ය අකමැත්ත සහ බියෙන් එහා ගිය තත්වයක් තමයි ෆෝබියා කියල හඳුන්වන්නෙ. මේ තත්වය ඇති පුද්ගලයන්ට කිසිසේත්ම ඔවුන් බිය උපදවා ගන්නා දේවල් සමඟ ගණුදෙනු කිරීමේ හැකියාවක් නැහැ.
ඒ වගේම මේ තත්වය එදිනෙදා ජීවිතය සාමාන්‍ය පරිදි ගත කිරීමට ඔවුන්ට බාධා පමුණුවනවා.
අද අපි කතා කරන්න යන්නෙ අපි හිතන්නෙවත් නැති දේවල් ගැන සමහර පුද්ගලයන් අතර පවතින ෆෝබියා තත්වයන් කීපයක් ගැනයි.
ඉතිං බලන්නකෝ, මේ දේවල් වලටත් බය වෙනවද කියල ඔබට පුදුම හිතේවි.
Arithmophobia
මන් ඔබෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඔබ ඉස්කෝලෙ යන කාලෙදී ගණිතය විෂයට කැමැත්තෙන් හිටියද කියල ඔබේ උත්තරේ මොකක් වෙයිද?
ගණිතය සමහරුන්ගෙ කැමතිම විෂය වෙන්න වගේම අකමැතිම විෂය වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුනත් අපි ගණන් හැදුවනෙ නේද?
හැබැයි arithmophobia ව ඇති අයට නම් එහෙම බෑ. මොකද මේ ෆෝබියාව ඇති පුද්ගලයන් ඉලක්කම් වලට අතිශය භයක් දක්වනවා.
ඉලක්කම් සමඟ ගණුදෙණු කරන්න වගේම ඉලක්කම් සහිත පුවරු සහ සංකේත දෙස බැලීමට පවා ඔවුන්ට හැකියාවක් නැහැ.
Plutophobia
ඔබේ මුදල් පසුම්බිය පිරිල තියෙනව නම් එහෙමත් නැත්නම් බැංකු ගිණුමේ ලොකු මුදලක් තියෙනව නම් කවුද අකමැති නේද?
අපිට අවශ්‍ය හැමදේම ගන්න අපේ අතේ ඇතිතරම් මුදල් ලැබෙන දවසක් එනකම් අපි හීන දකිනවනෙ.
හැබැයි plutophobia ඇති අය නම් එහෙම නැහැ. ඔවුන් මුදල් වලට අතිශයින්ම භයක් දක්වනවා.
මේ බිය කොතරම් දුරදිග යනවද කියනව නම් වැඩිපුර මුදලක් අතට ලැබෙන රැකියාවක්, දිනුමක් හෝ වෙනත් අවස්ථාවක් ලබාගන්නවත් ඔවුන් කැමැත්තක් දක්වන්නෙ නැහැ.
මුදල් සමඟ ගණුදෙනු කරන්න, නෝට්ටු කීපයක් තමන් ලඟ තියාගන්න හෝ හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගන්න පොඩි මුදලක්වත් එකතු කරන්න මේ ෆෝබියාව ඇති පුද්ගලයන්ට හැකියාවක් නැහැ.
බොහෝවිට වැඩි මුදල් ප්‍රමාණයක් තිබීම නිසා ඇතිවෙන සොර සතුරු බිය, වගකීම් සහ මුදල් ආරක්ෂා කර ගැනීම සම්බන්ධ වගකීම් පිළිබඳ මේත් සමඟම ඇතිවෙන පීඩනයත් දකින්න ලැබෙනව.
Xanthophobia
කහ පාට කියන්නෙ හරිම සුන්දර දීප්තිමත් වර්ණයක්නෙ.
හැබැයි xanthophobia තියෙන පුද්ගලයන්ට නම් එහෙම නෑ.
ඔවුන් කහපාටට වගේම කහපාට ආලේප කරපු වස්තූන් වලටත් දැඩි බියක් දක්වනවා.
මාර්ග සංඥා සහ සංඥා එළි සමඟ ගණුදෙණු කිරීමට පවා මේ පුද්ගලයන්ට නොහැකි ඒ නිසයි.
Optophobia
ඉතාම දරුණු කම්පන තත්වයන්ට මුහුණ දීම නිසා ඇතිවෙන මේ ෆෝබියා තත්වය ඔබට සමහරවිට විශ්වාස කරන්නත් අපහසු වේවි.
Optophobia තත්වය ඇති පුද්ගලයන් තමන්ගෙ දෑස් විවර කරගෙන සිටීමට දැඩි බියක් දක්වනවා.
මේ පුද්ගලයන් බොහෝවිට කරුවල සහ නිවෙස් ඇතුළට වී සිටීමේ වැඩි කැමැත්තක් සහ සුවපහසුවක් පෙන්වන්නෙ ඒ නිසයි.
එදිනෙදා ජීවිතයට optophobia තත්වය නිසා ඇතිවෙන බලපෑම ගැන ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනෙ.
Caligynephobia
අපි අහල තියනවනේ කාන්තාවන්ගේ රූපයට වශී වෙලා සිහිසුන්ව ඇඳ වැටුනු පුද්ගලයන් ගැන කතන්දර.
හැබැයි මේක නම් ඒම අතිශයෝක්තියෙන් ගොතපු කතාවක් නම් නෙමෙයි.
ලස්සනයි, ආකර්ෂණීයයි කියල හිතෙන කාන්තාවන් ලඟ සිටීමට ඔවුන්ව ඇසුරු කිරීමට පමණක් නෙමෙයි ඔවුන් දෙස බැලීමට පවා අප්‍රමාණ බියක් දක්වන පුද්ගලයන් සිටින බව ඔබ විශ්වාස කරනවද?
දහඩිය දැමීම, පපුවේ වේදනාවක් ඇතිවීම, ක්ලාන්තය සහ සිහිසුන් වීම මේ ෆෝබියාවේ ප්‍රතිඵල ලෙස දකින්න ලැබෙනවා.
Kathisophobia
කාර්යාලයේ සැනසීමට තියෙන එකම දේ කැරකෙන පුටුව විතරයි කියල අපි විහිලුවට කියනවනෙ.
වෙහෙසකාරී මොහොතක හොඳ සුවපහසු පුටුවක අතපය දිගෑරල ටිකක් වාඩි වෙන්න කවුද අකමැති නේද?
Kathisophobia තියෙන පුද්ගලයන් නම් මේ සඳහා දැඩි බියක් දක්වනවා කියල ඔබ දැනන් හිටියද?
ඔව්. ඔවුන් වාඩිවීමට බයයි.
ඔවුන් යම් තැනක විනාඩියක් පමණ හෝ වාඩිවී සිටීමට දැඩි බියක් සහ අකමැත්තක් දක්වනවා.
මෙහි වක්‍ර ප්‍රතිඵල ලෙස විවිධ ලෙඩ රෝග රාශියකට මුහුණ දීමටත් ඔවුන්ට සිදුවෙනවා.
Octophobia
මේ ෆෝබියා වර්ගයත් බොහෝවිට ඇතිවෙන්නෙ ජීවිතයේ මුහුණ දෙන්න සිද්ධ වුණ විශාල කම්පන සහගත තත්වයන් නිසයි.
Octophobia සහිත පුද්ගලයන් අංක 8 ට අප්‍රමාණ බයක් දක්වනවා.
අංක 8 සඳහන් ලියවිලි, වෙලද ප්‍රචාරණ දැන්වීම්, නාම පුවරු, සංඥා පුවරු හෝ අඩුම තරමින් දුරකථන අංකයක් සමඟ ගණුදෙනු කිරීමේ හැකියාවවත් ඔවුන්ට නැහැ.
මේ වගේම අංක 13 ට බිය පුද්ගලයනුත් අපි අතර දකින්න ලැබෙනවා කීවොත් ඔබ විශ්වාස කරනවද?
නිකමට හිතන්නෙ මේ ෆෝබියා තත්වයන් ඇති පුද්ගලයන්ට තමන්ගෙ එදිනෙදා ජීවිතය ගත කරන්න කොයිතරම් අපහසු ඇතිද?
ෆෝබියා තත්වයන් කියන්නෙ ඇත්තෙන්ම විහිළුවක් හෝ සිනහ වීමට කාරණාවක් නෙමෙයි.
අපි නොදන්න තවත් ෆෝබියා වර්ග රාශියක් තිබෙනවා. ඉතිං යම් කෙනෙක් යම් දෙයක් පුදුම සහගත ලෙස ප්‍රතික්ෂේප කරනව නම්, අකමැත්තක් දක්වනව නම්, ඒ දෙයින් අපහසුතාවයට ලක්වෙනව කියල ඔබට නිරීක්ෂණය කරන්න ලැබෙනව නම් ඒ දේ කරන්න, කන්න, බොන්න, ඒ දේ සමඟ ගණුදෙනු කරන්න කියල ඔවුන්ට බල කරන්න එපා.
ඔබ නොදන්න කතාවක් එතන තියෙන්න පුළුවන්.
හැකිතරම් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න අපි ඔවුන්ට උදව් කරමු.
සටහන – දුලානි නවෝද්‍යා