මහේලගේ විවාහ උත්සවයේ පින්තූරයක් මට මැසෙන්ජරයෙ එවලා තිබුණේ මහේලමයි. ඒක දැක්කම මට පිස්සු හැදෙන්න වගේ වුණා. හැමදේටම වඩා මුලු කාර්‍යාලයේම හැමෝම තැනින් තැන කතා කරන්නේ එ ගැන කියලා මට හිතෙද්දී හිත කලබල වෙන එක නවත්තගන්න පුලුවන් වුනේම නැහැ. අපේ කාර්‍යාලයේම සේවය කරලා මාස පහකට වගේ කලින් වෙනත් ශාඛාවකට ස්තාන මාරුවීම් ලබලා ගිය නිසා මහේලව නොදන්න කෙනෙක් කාර්‍යාලයේ නැහැ.
මම මහේලගෙන් වෙන් වෙන්න තීරණය කලේ මහේල මෙහෙන් මාරු වෙන්න කලින් වුනත්, මම කවදාවත් හිතුවේ නැහැ මේ තරම් ඉක්මනින් මහේල මාව අමතක කරලා ජීවිතේ ඉස්සරහට යාවි කියලා. ඇත්තටම මහේල මට ආදරේ කරපු විදියට මම හිතුවේ මහේල ආයේ කවදකමහරි දවසක මාව හොයාගෙන ඒවි කියලා. මගේ යෝජනා එක්ක එකඟ වෙලා ආයෙම අපි එකට ඉඳිමු කියලා කියාවි කියලා.
මගේ උද්දච්ච කම නිසා මහේල එහෙම මට කතා කරන්න උත්සාහ කරපු වාර කිහිපයක්ම මඟ හැරියට පස්සේ තමයි මහේල මෙහෙන් මාරු වෙලා යන්න තීරණය කරලා තිබුනේ. ඒ මාරු වෙලා යෑම මගේ හිතේ තිගැස්මක් ඇති කලත්, මහේලට මට පිටින් වෙන කෙනෙක් ගැන ආදරයක් හිතෙන්නේ නැහැ කියන අධි මානය මාව විනාශම කරලා දාලා තිබුනා.
මම නිවාඩුවක් දාලා ගෙදර යන්න උත්සාහ කලා. ඒත් තිවංක සර් නිවාඩු අනුමත කලේ නැහැ. තිවංක කියන්නේ මහේලගේ හොඳම යාලුවා. මහේල වෙනුවෙන් මාත් එක්ක සෑහෙන්නම සාම ගිවිසුම් වලට උත්සාහ කල කෙනා. ඒ හින්දාම මෙවෙලේ තිවංක සර් මගේ දුක නිවන්න ඉස්සර නොවෙන බව මම දැනගත්තා.
“ප්ලීස් .. මට ලීව් යන්න ඕනි සර් ..”
මම කිව්වේ අඬ අඬාමයි.
“අද ලීව් ගන්න විදියක් නැති බව ඔයාට තේරෙනවනෙ භාශිණි .. හෙට ප්‍රොග්‍රෙස් එක.. තවම ප්‍රසන්ටේශන් එකවත් ෆයිනලයිස් කලේ නැහැ… “
තිවංක මේ කතා කරන්නේ මහේලගේ විවාහ උත්සවය ගැන හැමදේම දැනගෙන බව මට තේරෙනවා. සමහර විට මහේල කියන්න ඇති මට විවාහයේ සේයාරුවන් දකින්න සලස්වපු බව.
මම එහෙමම තිවංක සර් ඉස්සරහ පුටුවෙන් වාඩි වුණා.
“මහේල මැරි කරේ කවද්ද අය්‍යේ?’
මට එහෙම අහන්නේ නැතුව ඉන්න බැරි වුනා. තිවංක සර් ගේ විශ්මය මුහු වුණ සරදම් හිනාව එක්ක මට දැනුනේ මුලු ලෝකෙම මට එරෙහි වෙලා ඉන්න බව. ඒත් මම ආයේ ආයෙම උත්සාහ කලා සිද්ද වෙලා තියෙන දේ ඔහුගෙන් විමසන්න.
“ඒකෙන් භාශිණීට ඇති වැඩක් නෑනේද දැන්? “
අවසානේදි තිවංක සර් එහෙම කිව්වා. ඒත් මට එහෙම හිතන්න පුලුවන් කමක් තිබුනේ නැහැ. මේ මාස හය පුරාවටම මම මහේල එක්ක තරහෙන් බව පෙන්නුවා මිසක්, එහෙම තරහ වෙලා හිටියා නෙවෙයි. මට ඕනි වුනේ මහේලව මගේ තීරණ වලට විතරක් එකඟ කරවගන්න. විශේෂයෙන්ම මෝස්තර නිරූපන ශිල්පියෙක් විදියට මහේල වැඩ කරන්න පටන් ගන්න යන එක නවත්තන්න. ඒත් මහේල මේ තරම් ඉක්මනින් හැමදේම ඉවර කරලා දාවි කියලා මට හීනෙකින්වත් හිතුනේඑ නැහැ.
“අනේ … අය්යේ … මට දරාගන්න බැහැ මේක .. මං මැරේවි අය්යේ … මෙහෙම.. මං මහේලට ආදරෙයි නේ අය් යේ .. එයා කොහොමද මට මෙහෙම කලේ.. එයා ආදරේ මට නේ……. ..”
මම මේසෙට ඔලුව ගහගෙන ඇඬුවා. තිවංක සර් කිසිම දෙයක් නොකියා ඉන්නකොට මට වෙන කරන්න දෙයක් නැති වග වැටහුනා. මම එතැනින් නැගිට්ටා.
“මට වැඩ කරන්න බෑ… ලීව් ඇපෲ කරන්නේ නැත්නම් කමක් නෑ.. මම මෙහෙමම යනවා ගාල්ලේ… ආයේ මෙහෙ එන්න ඕනි නෑ මට ….”
තිවංක සර් මගේ තීරණේට එකඟ බව පෙන්නලා ඔලුව වැනුවා. ඒකෙන් පුදුම වුනේ මම. මාව මේ හැමෝටම ඒ තරමටම නොවැදගත් කෙනෙක් වෙලාද? මම හිස සැලුවා. මගෙ වටේ තියෙන තත්වේ මටම තේරුම් ගන්න පුලුවන් වේවි කියලා විශ්වාස කරගන්න උත්සාහ කලා.
තිවංක සර්ට කිසිම දෙයක් නොකියා මම ආපහු හැරුණා. ඒ හැරුන වේගෙටම මම ආපසස්ට අඩියක් විතර විසි වුනේ උස මිනිහෙක්ගේ පලල් පපුවක වැදිලා.
මට ඇස් අදහා ගන්න බැරිව වගෙයි මම බලාගෙන හිටියේ. ඇත්තටම මම දැන් දන්නවා මම ඉන්නේ උමතුවෙන් බව. මහේලව මට මැවෙන්න අරගෙන තියෙන්නේ මගේ වටේම දැන්. මම තිවංක අය්යා දිහාව බැලුවා. ඔහු කලේ දෙතොල් පිට පෙරලපු එක විතරයි. මම ආයෙම ඉස්සරහට යන්න සූදානම් වුනත් රස්නේ අතකින් මාව නවත්ත ගත්තා. මේක හීනයක්වත්, විජ්ජාවක්වත් නොවන බව මට විශ්වාස කරන්නම වෙනවා.
“ලීව් ඇපෲව් කරනවද?’
මගේ හුස්ම නැවතෙන හඬකින් එහෙම අහනකොට මම පුටුව අල්ලගත්තේ මාව වැටේවි කියලා බයට.
“හරි හරි එක්ක පලයං.. කෝකටත් මොලේ චෙක් කරවපං …. කුරුවල් වෙලා…”
තිවංක අය්යා හිනා වෙවී එහෙම කියනකොටවත් මට සිද්ද වෙන දේ පැහැදිලිව හිතා ගන්න පුලුවන් වුනේ නැහැ.
මාව හුළඟේ පාවෙලා වගේ යන්න ඇත්තේ. මෝටර් රථයක ඉස්සරහ අසුනට මම වැටුණා. අසුන් පටි තද වුනා. මෝටර් රථය ගමන් ඇරඹුවා. මම ඔහේ හිටියා විතරයි.
“කොහොමද? ෆොටෝ ලස්සනද?”
මහේල එහෙම අහනකොට මට දැනුනේ පපුව ඇතුලට උල් පිහියක් දාලා කරකවන වේදනාව. ඇත්ත එහෙම වේදනාවක් මීට කලින් විඳලාම නැහැ තමයි. ඒක ජීවිතේ කවදාවත් විඳපු නැති තරමේ වේදනාවක්.
මම හිස සැලුවා. ඇත්තටම මහේලගේ ඇස් වල තිබුන ඒ දිස්නේ මං මීට කලින් කවදාවත් දැකලා තිබුනේ නැහැ නේද කියලාත් මට මතක් වුනා.
“මොකෝ ප්‍රශ්නේ ? අඬන්නේ ඇයි…”
මහේල එහෙම ඇහුවේ ඊට පස්සේ. එහෙම අහද්දී නම් එච්චර වෙලාවක් ආයාසෙන් හංගගෙන හිටපු කඳුලු නවත්තගන්න මට පුලුවන් වුනේ නැහැ. මම දෑතින් මූනම වහගෙන ඉකි ගහ ගහ ඇඬුවා. මහේල වාහනය නවත්තලා මාව බඳාගන්න උත්සාහ කරනකොටම මම විදුලියක් වැදුණා වගේ මහේලව තල්ලු කරා. මට බැහැ තවත් මහේලගේ ජීවිතේ විනාස කාරී සාධකය වෙන්න.
“අල්ලන්නෙපා මාව…”
“විකාරද භාෂිනි … මොකක් වෙලාද මේ? .. මාස ගානකට පස්සේ ආවහම ඔහොමද දැනෙන්නේ ළමයෝ …. මං හිතුවේ ඔයා මං ගැන සෑහෙන්න සන්තෝසෙන් කියලා …”
මහේල එහෙම කියනකොට මම තව පැටලුණ එකයි වුනේ.
“මං කොහොමද ඔයාට ඉස්සර වගේ ගුලි වෙන්නේ ?”
“ඇයි ..මට මොකක් හරි කුශ්ට රෝගයක්වත්ද ?’
මහේල මගේ ඇඟට කඩාගෙන පැනලා වගේ එහෙම ඇහුවම, මම ජංගම දුරකතනයේ තිබුන සේයාරුවක් ඔහු දිහාවට පෑවා. මහේල මගේ දිහා බැළුවේ වෙනසක් හිතා ගන්න බැරුව.
“මෙයා දන්නවද ඔයා මාව මුන ගැහෙන්න ආව වග ..?”
“පිස්සුද භාශිණි …ඒකිට මොකටද කියන්නේ?”
“එයා ඔයාගේ වයිෆ්..”
මුලදීම මහේලගේ මුහුණේ තිබුනේ විකෘති පෙනුමක්. ඊට පස්සේ ඒ පෙනුම විසිලුකාර පෙනුමක් වුනා. ඊටත් පස්සේ මහ සද්දෙන් හිනා වෙන්න ගත්තේ විහිලුව තියෙන්නේ මගේ මූනේ ගානට.
මම කලේ බලාගෙන උන්න එක.
“අර තිවංකයා ළැඟ වැටීගෙන ඇඬුවේ එතකොට මම බැඳලා කියලා හිතාගෙනද? මෝඩ ගෑණියේ .. මේ ශූට් එකක් …. “
මම ආයෙම ජංගම දුරකතනය දිහා බැලුවා. මැරිලා හිටපු සමනල් රංචු පෝලිමේ ඔලුව උස්සනවා. පියාඹන්න හදනවා.
මම මහේල දිහා බැලුවා. ආයෙම ජංගම දුරකතනය දිහා බැලුවා. හීනයක් දිනපු මිනිහෙක්ගේ ඇස් වල තියෙන දිස්නේ මට හොඳටම පෙනුනා. මං නිසා අහිමි වෙලා යන්න තිබුන හීනේ බර මට හොඳටම දැණුනා. මම මහේලගේ බෙල්ලේ එල්ලුණා.
” මට සමාවෙන්න දෙය්යනේ …. ඔයා දිලිසෙන ලස්සන …”
මම එහෙම කියනකොට ඉස්සර හුරුවෙන්ම මහේලගේ හාදුවක් මගේ හිස් මුදුනෙන්න්ම තැවරුණා.
” මගේ ජීවිතේ සම්පූර්ණ වෙන්නේ ඔයා එක්ක භාශිණි.. ඒත්, ඔයා එක්ක විතරක් නෙවෙයි .. ඔයාට ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා…”
මම මුකුත්ම නොකියා මහේලව ඉම්බා. මිනිහෙක්ගේ ජීවිතේ වඩා වටිනා කොටසක් වීමේ ආඩම්බරෙන් පිරුණා.