සීනියර්

අලුත් පත්වීම් යටතේ ඔෆිස් එකට හතර දෙනෙක් එනවා කියන ආරංචිය සැනින් පැතිරිලා ගියා.  එතරම් වැඩ නොතිබුන දවසක් නිසා හැමෝටම ඒ එන අය ගැන ඕපාදූප කියවන්න ඕනෑ තරම් වෙලා තිබුණා. අමාත්‍යංශයෙන් වැඩ බාර ගන්න ඇවිල්ලා තියෙන අය ගැන විස්තරයක් අරගෙන එන කෙනෙක් වටේට හැමෝම එකතු වෙවී ඕපාදූප ඇහුවා.

“හතර දෙනාම දැක්කා…  ශුහ් .. බලන්නෙපැයි එක්කෙනෙක්… කොණ්ඩේ කෙලින් වෙන්න හදලා, කඩා දාලා නිකන් රූප රැජිණි තරඟෙට යන්න වගේ…”

කාංචනා එහෙම කියාගෙන කට්ටිය අතරට ආවා. ඊට පස්සේ කට්ටිය කතා කර කර හිටියේ ආයතන සංග්‍රහයේ විනය කොටස යටතේ තියෙන නිළධාරිනියන්‍ට කරන්න පුලුවන් සහ බැරි දේවල් ගැන. තම තමන්ගේ ඇස් වල පොල් පරාල තියාගෙන අනුන්ගේ ඇස් වල තියෙන පොල් කෙඳි හොයන පිරිස දිහා මහිලා බලාගෙන හිටියේ හරිම පුදුමෙන් වගේම කලකිරීමෙන්. තමන් කාර්‍යාලයට ආව කාලේම කොරෝනා වසංගතය ඇවිල්ලා නිවසේ සිට රාජකාරි කරන්න නොලැබුණා නම් අනිවාර්‍යෙන්ම රැකියාව අතෑරලා දාන්න තරමේ පීඩනයක් මේ පිරිස තමන්ට එල්ල කරමින් හිටි වගත් මහිලාට මතකයි.

ඔවුන්ගේ පළමු ඇදය වුනේ තමා කොණ්ඩය කොටට කපලා තිබුණ එක. ඊට පස්සේ ස්කූටියෙන් කාර්‍යාලයට යන එකට ඇණුම් පද කීව හැටිත් මහිලාට මතකයි.

“ඔය ස්කූටි වලින් එන්නේ තියෙන තරමක් හොර වැඩ කරන්න ලේසිවට නේ… ඔය ඉස්කෝල මොන්ටිසෝරි වල ට ළමයි දාන්න යන ගෑණුන්ට ස්කූටි ලැබුනත් හරි පවුල් ඇරුණා … මේවත් ඉතින් එහෙමම තමා..”

ඒ කතාව අහගෙන ඉඳලා මහිලා ගෙදර ගියේ තෝන්තුවාවෙන් බවත් මහිලාට මතකයි. පස්සෙන්දා ඉඳගෙන ඔෆිස් යන්න බැරි බව කියලා අඬනකොට සසංක හිත හදපු හැටිත් මහිලාට මතක් වූනා.

“රටේ ලෝකේ ඉන්න මිනිස්සු ගෑණු ඕනි දෙයක් කියාවි මහිලා…. ඔයා දන්නවානේ ඔයා කරන දේ… මම දන්නවා ඔයා කරන දේ… ඉතින් ඔහොම අඬලා අමාරුවෙන් ලැබුණ අවස්තාවට පයින් ගහන්න එපා…. ඒ අය ඔය ඔයාට කතන්දර කියලා වහගන්න හදන්නේ ඒ අයගේ ජීවිත වල තියෙන අඩුපාඩු …”

එවෙලාවේ සසංක කීව කතාව කොයි තරම් නිවැරදිද කියලා මහිලාට හිතුනේ පස්සේ දවසක කාංචනාගෙ සහ වින්ද්‍යාගේ ජිවීත වල තියෙන පැටලිලි සහගත කතන්දර ඔෆිස් එකේ අයගේ කතා වලින්ම අහලා දැනගත්තාට පස්සේ.

අලුත් හතර දෙනා ආවට පස්සේ කට්ටිය තම තමන්ගේ වැඩ වලට වාඩි වුනේ ඒ අය ගැන වගක්වත් නැති ගානට. හවස අංශ රැස්වීමක් අරගෙන අලුත් හතර දෙනාටත් වැඩ බෙදෙන විදියට විශයන් වෙන් කලා.

පහුවෙනිදා උදේ මහිලා කාර්‍යාලයට එනකොට අලුත් කෙනෙක් ඇවිල්ලයි හිටියේ. ඒ කාංචනාලාගේ ඇණුම් පද වලට වැඩියෙන්ම අහු වෙන්න යෙදිලා තිබුන යුවතිය.  සාමාන්‍යෙන් ඔෆිස් එකට වේලාසනම එන්නේ මහිලා නිසා මහිලා ඇය දිහා බැලුවේ හිනා වෙලා.

“ගුඩ්මෝනින්..”

“ගුඩ්මෝනින්ම මිස්..”

“මගේ නම මහිලා..”

“මම  පාරමී…”

“පාරමී  හත පහු වෙනකොටම ඇවිල්ලා නේද ?”

“මං හස්බන්ඩ් එක්කම එන්නේ මිස්..  ඒ නිසා වේලාසන ආවා..”

“ඒක කොච්චර හොඳයිද අනේ.. ඔයාට ලැබුණේ අමාත්‍යාංශ ව්‍යාපෘති කෝර්ඩිනේට් කරන වැඩ නේද?”

මහිලා ඇය එක්ක කතා කරන ගමන්, වැඩ කෙරෙන පියවර ගැන අවබෝධයක් දුන්නා. ඒ විෂයට අදාල  වැඩ බැලීම් කලේ කාංචනා බව මහිලා දන්න නිසාමයි ඇයට එහෙම උපදෙස් දුන්නේ.

“හෙමින් සීරුවේ ෆයිල් බලලා වැඩ කරන්න. මිනිට් එක එහෙම අනිවාර්‍යෙන් සැලකිල්ලෙන් ලියන්න. ඔෆිස් කොපි එකක් අනිවාර්‍යෙන්ම ෆයිල් වෙන්න ඕනි… තවම වැඩ පටන් අරගෙන නැති නිසා ලොකුවට ඔයාට ටයිම් තියෙනවා මේ දේවල් ඉගෙනගන්න.. ප්‍රොජෙක්ට් එන්න ගත්තාම නම් ඉවරයක් නෑ…”

මහිලා එහෙම කියද්දී පාරමී කෘතඥ පූර්වක බැල්මකින් මහිලා දිහා බැලුවේ. මහිලා එහෙම උදව් කලාට කාංචනා නම් ඒ තරම් ලේසියට පාරමීව පිළිගත්තේ නැහැ. ඇතැම් ලිපිගොනු වල තිබුන අඩුපාඩු ගැන හොයලා බලන්න කාංචනාගෙන් උදව් විමසුවාම පාරමීට ලැබුණේ ඇණුම් පද විතරයි. පාරමී ඒ ගැන කලබල නොවී මහිලාගෙන් ඒ ගැන විමසුවම මහිලා ආයෙම කාංචනාගෙන් ඒ ගැන විමසන්න පාරමී එක්කම ගියා. ඊට පස්සේ කාංචනාට මඟ අරින්න ඉඩක් තිබුණේ නැහැ.

කාලේ ටිකෙන් ටික ගත වෙද්දී අනෙක් තුන් දෙනා ට කාංචනාලා සාමාන්‍ය විදියට සැලකුවත් යම් ආර්තික මට්ටමක් එක්ක හිටපු පාරමීට ලැබුණේම ඇණුම් පද.

“ඔච්චර ආටෝපෙට අඳින්න කරන්න ඉතින් දත ගලවන්න වෙනම මිනිහෙක් ඇති…”

“මහත්තයා එක්ක උදේ එනවා කිව්වට කවුද දන්නේ මොකා එක්ක එනවද කියලා…”

“සර් දපනේ දාගන්නමයි හදන්නේ.. කොයි වෙලේ බැලුවත් ෆයිල් එකක් උස්සගෙන කැබින් එකේ..”

තැනින් තැන ඇහෙන කතා වලට පාරමී හිත රිද්දගත්තේ නැතිව නෙවෙයි. ඒත් මහිල කීව කතා වලින් ඉගෙන ගෙන තිබුනේ අනෙක් අයගේ ඇණුම් පද නිසා තමන්ගේ ජීවිතේට බාධා වෙන්න දෙන්නේ නෑ කියලා.

මාස හයකට විතර පස්සේ පාරමී ඔෆිස් එකට ආවේ ප්‍රමාද වෙලා. ඒ එනකොට වෙනදා නොතිබුන සතුටක් එක්කයි එන්නේ කියලා හෝටම පෙනුනා.

” මම පරිපාලන එග්සෑම් පාස් වෙලා ..”

පාරමී මහිලා ළඟට ඇවිල්ලා එහෙම කිව්වේ අනෙක් අයට නෑහෙන ගානට. මහිලා පාරමීව වැළැඳගත්තේ ඇත්තටම ආදරෙන්.

“ඔන්න.. අපේ පාරමී එස් එල් ඒ එස් පාස් වෙලා… දැන් ඉතින් කාටද ආඩම්බර..”

එහෙම කියනකොට අනෙක් හැමෝම වගේ පාරමීට සුබ පැතුවා. ඒත් කාංචනා මූණ අහකට හරවගෙන ඇයව මඟෑරපු එක විතරයි කලේ. සතුටු විලක් මැද කාංචනාගේ ප්‍රතිචාර වෙනුවෙන් දුක් වෙන්න පාරමීටත් උවමනා වුනේම නැහැ.

“මේ ඉන්නේ අපේ අලුත් ඒ ඩී නෝනා…”

අධ්‍යක්ශවරයා එහෙම කියනකොට හැමෝම කරමින් උන්න වැඩ නවත්තලා ඒ දිහා බැලුවා. හිනාවෙවී උන්න රුව දැක්කම කාංචනාට ඇස් උඩ ගියා.

කාංචනා හැමෝම යනකල් ඉඳලා පාරමීගේ කැබින් එකට ඇතුළු වුණා.

“මැඩම්..”

“එන්න කාංචනා මිස්..”

“මැඩම් .. මා එක්ක තරහෙන්ද?”

“මං මොකටද කාංචනා මිස් එක්ක තරහ වෙන්නේ? අපේ ඔෆිස් එකේ වැඩ කරන්න කාංචනා මිස් කොච්චරක් නම් සහයෝගයක් දෙනවද?”

“නෑ මම ම්ස්ට කරපු දේවල් වලට …මේ..”

කාංචනා වට පිට බල බලා එහෙම කියන්න උත්සාහ කලා.

“එහෙම තමයි කාංචනා මිස්.. තමන් තමයි මේ ලෝකේ ඉන්න සර්ව සම්පූර්න කෙනා කියලා හිතුවම, සීනියර්ම කෙනා තමන් කියලා හිතුවම,  තමන්ට වඩා පිරුණ කෙනෙක් දැක්කම මිනිස්සුන්ට ඒක දරාගන්න බැරි වෙනවා… උපේක්ශාවෙන් ඒ අය දිහා බලන්න ඹැරුව යනවා.. මට ඒ දේවල් තේරුම් ගන්න පුලුවන්. සීනියර්…”

“මට සමාවෙන්න මැඩම්..”

“ඒකට කමක් නෑ කාංචනා මිස්…. ඔයාගේ වැඩ ටික කරන්නකෝ.. මේ රාජකාරිය නේ අපේ..සීනියර්ද ජූනියර්ද නෙවෙයි, අපේ ඩියුටි එකට අපි  අවධානේ දෙමු … “

කාංචනා පාරමීගේ කාර්‍යාලයෙන් එලියට ගියේ පසුතැවීමක් එක්ක.

More Stories

Don't Miss


Latest Articles