ඔහුගේ මේසයේ කොනක ඉඩක් වෙනස් නොවීම කෙනෙකු වෙනුවෙන් වෙන්ව තිබීම මට මානසික වදයක් වෙමින් තිබුණි.අප හැඳිනගෙන අට වන මාසය ගෙවෙද්දි පවා ඔහු එවන චායාරූප වල ඒ කොන එහෙමම තිබීම මට ඉවසා සිටිය හැකි වූයේ නැත. ඒ කෙනා “ඇය” ලෙසින් හඳුන්වන ස්ත්‍රී ලිංගික නාම පදයක් වීම ඒ මානසික වදය දෙගුණ තෙගුණ කරවමින් තිබුණි. “ඇය” කවුරුන්දැයි විමසන හැම වතාවකම ඔහුගේ ඇස් මලානිකව තෙත් වීම නිසාම මම ඒ විමසීමද අත් හැර දමම්න් උන්නෙමි.
එහෙත් මගේ පාලනයද, ඉවසීමද දරාගැනීමද අවසන් වූ දිනෙක මම විසින්ම ඔහුව ඔසවා පොළවේ ගසා කුඩුපට්ටම් කලෙමි.
ඒ සෙනසුරාදාවකි. කාර්‍යාලය නිවාඩු දිනයක් වුවත් ඒ සති අන්තය නිවසට නොගිහින් බෝඩිමේම සිටීමට තීරණය කලේ ඔහුගේ ඉල්ලීම නිසාය. සතියක පටන් ඒ වෙනුවෙන් ඉල්ලීම් කරන්නට ඔහු අමතක කලේ නැත.
බෝඩිම අසලට ගොස් ඇතිවා විනා කාමරයට ගොස් නොතිබූ විචිකිච්චාව තිබුනා වුව මම ඔහුට එකඟ වූයෙමි. දෙදෙනාටම උදෑසන ආහාරයද සකසාගෙන මම ඔහුගේ බෝඩිමට යන විට ඔහු නැගිට්ටා පමණි. මා එහි එන වගදැනගෙනදෝ යාබද කාමර සගයා ඒ වනවිටත් පිටත්ව ගොස් තිබුණි. නැතිනම් ඔහු ඉන්නේම මේ කාමරයේය.
අතේ තිබූ මල්ල ඔහුගේ අතට මාරු කරගෙන කර වටා අතක් දමා හිස මත හාදු තැවරීම මම බලාපොරොත්තු වූ අනුපිලිවෙලටම විය.කමිසයක් නොඇඳ උන් උණුහුම් පපුවෙන් මිදෙන්නට නොහැකිව මම එහෙමම උන්නෙමි.
“දවසම මෙහෙම ඉන්නද කල්පනාව…”
ඔහු එලෙස විමසන තුරුම මම උන්නේ උන් ඉරියව්වේමය.
“උදේ පාන්දර නෑවේ පිස්සුද ගෑණියේ..?”
කටුවකින් හිස මැදට වන්නට දවටා තිබූ කොණ්ඩය ලෙහා දමමින් ඔහු එවර කොණ්ඩය වියලීමේ ව්‍යාපෘතිය ඇරඹුවේය. හමුවන තැන කොතැනක වුව කොණ්ඩය තෙත බවක් පෙනෙයි නම් එය ලෙහන්නටත්, අතැඟිලි අතරේ දවටමින් තෙත පිසින්නටත් ඔහු පැකිලෙන්නේ නැත. එය ලේසියකට අවසන් නොවන වග දන්නා නිසාම, මම ඔහුගෙන් පසෙකට වී දෑතින්මපසෙකට තල්ලූ කලෙමි
“මූණ සෝදගෙන එන්න..රස්නෙන් කාලා ඉමු…”
“මොනවද උදේට??”
“උදේට සෙට් වෙන කෑමක් නෙවෙයි ද මන්දා… ඒ උනාට කමූ…”
“මොනාද කියන්නකො..”
“තලප…”
ඉතින් ඒ ඇස් නලියන අපූරුව මෙහෙමය. ඉතින් ඔය නලියන ඇස් වල පැටලුණේ දුටු දවසේමයැයිකිව නොහැක. අවුරුදු දෙකක්ම ඒ නැලියෑම නොදැක්කා සේ උන්නේ මමය. පොඩි එකෙකු සේ කොපුලක් ඉම්බේ නළලේ නළල වද්දමිනි.
“වාඩිවෙලා ඉන්න.. විනාඩි පහෙන් එන්නම්..”
කාමරය තුළ අඩුවක් නොවූයේ දූවිලිය. ඔහු හා මිතුරා දින කිහිපයක්ම බෝඩිමෙන් පිටත උන් නිසා කාමරය අස් කර තිබුණේද නැත.
කොහෙන් පටන් ගන්නදැයි සිතාගන්නට නොහැකි වුවද මදක් තෙත තිබූ කොණ්ඩය යළි හිස මුදුනට බැඳගෙන මම ඇඳ ඇතිරිලි ගසා සකසා දැමූවෙමි. පුටුව මත වූ කමිස දෙකක් සහ සරමක් ඇඳ යට වූ බේසම එලියට ඇද එයට දැම්මෙමි. මේසය මත වූයේ ලියා අවසන් කරන ලද කොළ රැසකි. ඒවා එහෙ මෙහෙ කිරඅ වෙනම නඩුවකි. එනිසා අතවත් නොතියාම පසෙකට හැරෙන්නට සිතුවෙමි. මේසයේ කොනෙක උන් “ඇය” දුටුවේ එවෙලෙහිය
එතැන වූයේ රූපයක් නොපෙනෙන අඳුරු කාන්තාවකගේ පිටිපසින් ගන්නා ලද රුවක රාමුවකි. තේ කෝප්පයකි. නිය ආලේපන බෝතලයකි. වියලී ගිය රෝස මලක් දැමූ කුඩා බඳුනකි. ඔය කියුටෙක්ස් බෝතලය ඔතැන වූ බව පෙර චායාරූප වලින් දැක තිබූ නිසාම, මම විටින් විට කියුටෙක්ස් තෑගි ඉල්ලා ඔහු හා රන්ඩු කල බව සිහිවිය. එහෙත් ඔහු කලේ මඟ හැරීමම පමනක් බවද සිහිවිය.
නිය ආලේපන ගැල්වීමට මා කෙතරම් රුචි වීද යන්න මටම අමතක වෙන තරමට ඔහුගේ එම මඟ හැරීම නිය ආලේපන ගැල්වීමෙන් මා පසෙකට කලේය. එයට හේතු විමසන්නට අප දෙදෙනාගෙන් කිසිවෙකුටු ඉස්සර නොවුනු මාස අටක් ගෙවී ගොසිණි.
මම ස්වභාවයෙන් නපුරු කෙල්ලක නොවෙමි එහෙත්, ආත්මාර්තකාමී නොවේයැයි කිව හැකි කෙල්ලකද නොවෙමි. ඉරිසියාවෙන් අගතැන්පත් කෙල්ලක වන්නේ මානව සම්බන්ධතා විෂයෙහි ලාය. අර ඉරිසියාවෙන් පුපුරන ගති මතුව ආයේය. මට මොහොතක් පසුකර ගැනීමේ ඉවසීමද නොමැති විය.
රෝස මල සමඟ බඳුනද, නිය ආලේපන බෝතලයද දොර පිටුපස වූ කුණු බඳුනට දැමූ මම කෝප්පය රැගෙන අල්මාරිය මත පිටුපසට වන්නට තැබූයෙමි. අර අඳුරු රුද සමඟ රූ රාමුව කඩදාසියක ඔතා අල්මාරියටම දැම්මෙමි.
හිත මහා භීතියක පැටලෙමින් තිබුනෙර් හෙරකගේ සිතුවිලි මට දැනෙන්නට හරිමිනි. ඔහු මින් කෝප වේවිද, වේදනාවෙන් මිරිකී යාවිදැයි අදහසක් ගන්නට හෝ වෙලා නොදීම ඔහු නාන කාමරයෙන් පිටතට ආවේ මා තිගැස්සී යන්නට හරිමිනි.
“මොකෝ…?”
උර දෙපසින් වැටෙන සේ තුවාය දමාගෙන, ඔහු සිනාසෙමින් ඇසුවේ මා වත මත එතරම් අපැහැදිලි බවක් තිබූ නිසා විය හැක. මම මේසය දෙස නොබලාම අසල වූ පුටුව මත වූ ආහාර දමා ගෙන ආ මල්ල අතට ගත්තෙමි. ආපසු හැරෙද්දී දුටුවේ කුණු බඳුනේ තිබී අර නිය ආලේපන බෝතලය අතට රැගෙන උන් ඔහුය.
ඒ වත මත වූ හැඟීම් කිසිදිනෙක පැහැදිලි කර වෙන් කර ගත හැකි නොවන වග කිව යුතුමය. ඔහු උන්නේ මා කෙරෙහි කෝපයෙන්ද, ඔහු කෙරෙහි වන අනුකම්පාවෙන්ද කියාවත් මට වැටහුනේ නැත. එය එතරම්ම පටලැවිලි විය
“කවු..ද…ඩ..ස්බි..න්.දැම්මේ..”
ඔහු ඇසුවේ පහත් හඬිනි.
“මං ..”
මම බෑගය යලි පුටුවේම තබා කිවෙමි. ඔහු වගා මේසයේ අගිස්සට ඇස් ගෙනගියේය. ඉතින් එතැන හිස් ය. ඔහුට හිස් ය.මට පිරී ගොසිනි.
“මොන මඟුලක් ද කරන්නේ ?”
කිසිදිනෙක නොවූ කෝපයෙන් මා පසෙකට තල්ලු කරමින් ඔහු මේසය අසලට ගියේය
“කෝ මග් එක…”?”
එවර ඔහු ආපසු හැරී ඇසුවේය
“විසි කරා..මං..විසි කරා…මොකටද ඔයාට ඒක එච්චරට ඕනි..මොකක්ද ඔයාට තියෙන සම්බන්ධේ..? ඇයි ඔය කුණු ගොඩවල් ඔහොම තියාගෙන ඉන්නේ හැමදාම… මම කවුද ඔයාගේ…මට මොනවද හිතෙන්නේ කියලා ඔයාට තේරෙන්නෙ නැද්ද ? මිනිස්සුන්ට අතීත කතා තියෙනවා තමයි….
එහෙමයි කියලා ඔහොම මැරෙන්න ඔනිද පර වෙච්ච මලුයි… මල සමයං..ඔයාට නම් පිස්සු සෙනේශ්…පිස්සු ….මට ඇති මේ මඟුල කොහොමටත් ..මට ඇති..කවදාවත් මට සැනසීමක් නෑ.. මම ඔයාගේ ටයිම් පාස් පීස් එකද..? ආයේ මම එන්නේ නෑ ඔයාගේ ජීවිතේ ට…ආයේ කවදාවත් එන්නේ නෑ….මාව හොයාගෙන එන්නත් එපා..ප්ලීස්..
ඔයාට ඒ කෙල්ල ගාපු කියුටෙක්ස් එකක් ඔයාගේ ඇස් මානේ තියාගෙන ඉන්න පුලුවන් .
මං මෙච්චර ඉල්ලනවා එක රුපියල් පන්සීයක් වියදම් කරලා මට කියුටෙක්ස් එකක් අරන් දෙන්න තමයි බැරි…
අනේ මට ඔනි නෑ ඔයාගෙන්..මට ඕනි තරම් ගන්න පුලුවන් …
මට එපා..
ආයේ මාව හොයන්න එපා..ඔයාට ඉන්නවනේ මට වඩා වටින ගෑණූ…අනේ ඉන්න…ඒගොල්ලෝ එක්කම ඉන්න ඔයා…
මම යනව…ආයේ එන්නේ නෑ..කවදාවත් නෑ…….”
අත් බෑගය කරෙහි රුවාගෙන මම ආප්සු හැරුනෙමි. කියන්නේ කුමක්දැයි මට අදහසක් තිබුනේම නැත
“යන්න ඕනි නම් ප ල යං……හැබැයි…යනු විතරයි …ආයේ එනු බෑ…”
ඔහු පවසනු ඇසුණි. ඉතින් එහෙම උද්දච්ච කමක්.
“එන්නේ නෑ මම ..එන්නේ නෑ…”
“යන්න…යන්න…..නෝනා.. යන්න…යනවා…..යනවා…”
මම ආපසු හැරුනේ මා කෙරෙහි අනුකම්පාව දරාගනිමිනි. ඔහු කෙරෙහි ප්‍රේමය ක් නොතිබුනාක් සේ සිතන්නට උත්සාහ කරමින් මම බසයක එල්ලුණෙමි. බසයේ ගමනාන්තය දක්වා ගියෙමි. යළි ආපස්සට ආයෙමි. අතීතය හිස මත තබාගෙන ඉන්නෙකු සමඟ ඉදිරියක් නැත. ආපසු හැරෙන්නේ නැතැයි තරයේම සිතුවෙමි.
එහෙත් ඔය මේසයේ කොන හැරුනුකොට ඔහුගෙන් මා කෙරෙහි වූ යම් හිස්තැනක් නොවූ වගද එසැණින් ම සිතුණි. ඔහු සැබැවින්ම මා වට බැඳි ආරක්ශා පවුරක් සේ උන්නා නොවේදැයි සිතුණි. අද්භූත යැයි දැනෙන යමක් වූයේම නැති වගද සිහිවිය. මා මුලාවේ ලන්නටහෝ උත්සාකෙරූ වාරයක් සිහි වූයේම නැත.
එහෙත්,
ඔහු ගේ ඇමතුම් අවහිර කලෙමි. කෙටි පණිවිඩය අවහිර කලෙමි. ඇඳට වැටී කුසගින්නේම නිදාගත්තෙමි.
සියල්ල වූයේ පටලැවී ගොසිනි. සවස සෙනේශ්ගේ යාබද කාමර සගයාගෙන් ඇමතුමකි.
“හෙලෝ…”
“නංගී…කොහේද ඉන්නේ ?”
“බෝඩිමේ අය්යේ..”
“සෙනේයා කිව්වා නංගී රණ්ඩු කරලා ගියා කියලා … මොකෝ කෙල්ලේ ..?”
“මුකුත් නෑ අය්යේ…”
“හය්යෝ…මොකද බං උඹලා…..පොඩි උන් වගේ…”
“මට ඔනි නෑ අය්යේ.. එයාට එයාගේ කලින් කෙල්ල තමා ලොකු… ඒ කෙල්ල එක..මම දෙක…”
“කලින් කෙල්ල කිව්වේ ?”
“ඇයි අර මේසේ කොනේ තියන් ඉන්නේ පින්තූරයක් …කෝප්පෙකුයි…කියුට්‍ර්ක්ස් එකකුයි….මට එපා අය්යේ…මං හිත හදාගත්තා …”
“අප්පට සිරි…මම ඔය බූරුවට කිව්වා ඕක ඔහොම වේවි කියලා …කොහෙද මූ කිව්වේ අනේ මගේ මැණිකේ එහෙම නෑ කියලනේ.. වෙලාව එනකල් කියන්නේ නෑ කිය කිය ඉඳලා කරගෙන තියෙන්නේ ඔය…”
“අය්යේ..?”
“මේක මෙහෙම කියන එක හරිද වැරදිද මන්දා නංගී ..ඒත් ඔයා හිතන දේ නෙවෙයි ඔතන….වෙන්නේ..?”
“ඒ කියන්නේ ..?”
“ඔය ඉන්නේ සෙනේශ්ගේ අක්කා.. ඒ ලිප්ස්ටික් එක මූ ගමේ යනකොට අක්කට ගෙනියන්න ගත්ත එකක්..කෝප්පේ උන් දෙන්නා ගෙදරදී තේ බීපු කෝප්පේ..අක්කාගේ ෆියුනරල් එක දවසේ අතේ තිව්ව මල් පොකුරේ තිබුණ මලක් ඔය…..”
හිස මත අකුණු සිය ගනනින් පුපුරා යන්නට ගත්තේ ය
“අ..ක්.කා…”
“හ්ම්ම්ම්… මූ ගමේ ගිහිල්ලා ඉන්න දවසක මූට අඹ මාලුවක් කන්න ආසයි කියලා , මේසයක් උඩ නැඟලා අඹ කඩන්න ගිහින් අක්කා වැටුණා…වැටුණේ පොල් උලක් උඩට… මේගොල්ලෝ සිද්දිය දැනගන්නකොට ත් එයා නැතිවෙලා…
ඔය ඒ මේසේ..ඔය කොනේ අක්කාගේ සෙරෙප්පුවෙ මඩ පාර පවා තිබුණා ඕක බෝඩිමට ගේනකොට… “
ඉන් පසුව කිසිවක් මට ඇසුනේ නැත.දඩිබිඩියේ අතට අසුවූ ඇඳුමක් ගත ලාගෙන මම බසයක එල්ලුණෙමි.
ඒ පැය භාගය කල්පයක් සේ විය
බෝඩිමේ දොර හැර දමා තිබුණි.
මම ඇතුලට ගියා නොව පැන්නෙමි. දොර අසලින් නැවතුනෙමි.
“ඒකි පව්…”
එසේ කීවේ ඔහුය.
“පව් නම් මොන මඟුලක් ද එලවගත්තේ..?”
“මන්දා බං…එවේලේ මට මොකක් වුනාද මන්දා…”
“දැන් මං කියන්නේ බෝඩිමට ගිහින් බලපං…”
“මං ගිහින් එන්නම් එහෙනම් … කාලත් නැතුවම හූල්ලනවා ඇති..එහෙව් ගෑණි… කවලා පොවලා අද රෑට විතරක් මෙහෙ තියාගන්නද බං…?”
” මගේ මොකෝ… මං උස්සන් ඉන්නවා කියලෑ මොකෝ… උඹේ නේ…”
“අද මං අක්කා ගැන කියන්න උන්නේ බං…ඒකමයි ගෙදර නොගිහින් තියාගත්තේ…කවුද හිතුවේ මෙහෙම…”
“හරි ඉතින් …”
“මට ඒ කතාව කෙල්ලට කියාගන්න හය්යක් තිබුණේ නෑ බං…..මට අක්කා කෙනෙක් උන්නා කියන්නවත් දන්නේ නෑ එයා…”
“හ්ම්…දැන් ඉතින් කරන්න දෙයක් නෑනේ..”
“උඹ එහෙනම් කාපං…මං මෙහෙමම ගිහින් එන්නම්…”
“උඹව බ්ලොක් කරලා නම් තාම මට කියපං ඒ කිට්ටුවට ගිහින් මම කියන්නම් උඹ ඇවිල්ලා කියලා ….”
මම කාමරයට ඇතුලු වූයෙමි. ඒ ඔහු නාන කාමරයට යද්දීමය. මිතුරා අයා ගත් දෑස් වසාගෙන පසුව මා තනි කරේ සියල්ල විසඳෙන ඉඟිය පමණක් දෙමිනි.
“අක්කා මට කිව්වා අඹ කඩලා දෙන්න ,උයලා දෙන්නම් කියලා … මට නැගිටින්න කම්මැලී කමේ බෑ කිව්වා මම.. මම හිටියේ ගේම් එකක හොඳම හරියෙ..මගේ ප්‍රයෝරිටි වෙනස් වුනා ..අක්කව දෙකට දැම්මා…ගේම් එක එක වුනා…..එදා එහෙම නොකියන්න , අක්කාව එකට සලකන්න මට පුලුවන් උනා නම් අක්කා මේ වෙනකොට පැටියෙක් ඉන්න අම්මෙක් මැණිකේ…”
මම ඒ ඇස් ඉම්බෙමි.
“මට මතක් කරගන්න ඕනි හැමවෙලේම අක්කව නෙවෙයි . පුලුවන්කම තියෙද්දී කිසිම වෙලාවක දෙයක් කරන එක මඟෑරලා කම්මැලී වෙන්නෙපා කියන එක…..ආදරේ කරන මිනිස්සු මඟෑරෙන්න දෙන්න එපා කියන එක…..
ඔය ෆොටෝ එක..මේ..මේසේ…අර කෝප්පේ…කියුටෙක්ස් එක…මල…ඔය ඔක්කොම මට කියන්නෙ කම්මැලී නොවී ඉන්න….සිහියෙන් ඉන්න…. ප්‍රයෝරිටි ගැන කල්පනා වෙන්න කියලා ..
අක්කා ඔය පාට කියුටෙක්ස් එකක් ඉල්ලුවා සති ගාන…ක්…මට ගත්තාට ගෙනියන්න අමතක වෙවී තිබුණේ… මං එයාව යැව්වේ ඔය පාට ගාලා…
ඔයා කියුටෙක්ස් ඉල්ලනකොට, මට ගන්න බයයි, අරගෙන දෙන්න බැරි වේවි කියලා හිතෙනවා …
ඒක…මහ..භයානක සිතුවිල්ලක්…….”
මම යළිත් ඒ ඇස් ඉම්බෙමි. ඉතින් රිදුණු තැන් බෝම වග දනිමි.
“මට ඔයාව දැක්කම ලෝබ හිතුනේ අර මහ වැස්සක සාරියත් පටලෝගෙන වාහනෙන් බැහැලා අර කෙසෙල් කැන් පටවගෙන හිටපු බයිසිකල් කාරයාට පාරේ අයිනකට වෙන්න උදව් කරපු තාලෙට…එදා එහෙම නොකරන්න ඔයා, ඒ මනුස්සයා හැප්පෙන්න තිබුණා….”
මම යළි ඒ ඇස් ඉම්බෙමි.
“අවුරුදු දෙකක් අතාරින්නේ නැතුව පස්සෙන් ආවේ මගේ හිස් තැන් පිරෙනහැම මැජික් එකම ඔයාහේ ළඟ තිබුණ නිසා…”
ඇස් පසුකර ඇහි බැම, නළලත මතට නැග්ගෙමි. මගේ තෙත් කඳුළු ඔහුගේ කොපුල් පෙඟමින් වැක්කෙරෙන සිතල අප දෙදෙනාටම දැණුනි.
ගෙල පිටුපසින් සිරවුන රළු අතැඟිලි ස්පර්ශයෙන් මගේ ගැහැණු සිතුවිලි මා එක්කම අරගල කිරීම ඇරඹුවේය.
“මට දැන් ඒ මුකුත් ඕනි නෑ.. ජීවිතේ අල්ලන් යන්න ඔයා ඉඳීවි කියලා විශ්වාසයි… මම දේවල් පටලවගන්න හදන හැමවෙලේකම මට ඇනලා මතක් කරවි…ඔයා..”
ඔහු ගේ හඬ බැරැණ්ඩි වී තිබුණි.
“ඒ කෝප්පේ අපි දෙන්නා ශෙයාර් කරගමුද …?”
“ම්ම්ම්…”
“මං ආයේ කවදාවත් ඔයාහෙන් කියුටෙක්ස් ඉල්ලලා රණ්ඩු කරන් නෑ..සමහරවිට …ආයේ කවදාවත් මට කියුටෙක්ස් ගාන්න හිතෙන එකකුත් නෑ…”
එහෙම කීවෙමි.
ඊළඟ අඟහරුවාදා කාර්‍යාලයට පාර්සලයක් ආවේය. ඉහළම වර්ගයක මා ප්‍රිය කරනම ආකාරයේ කියුටෙක්ස් බෝතල් පනහකට වැඩියෙන් එහි විය.
“මේවා මෙහෙම දුන්නම කොහොමද ..?”
“අරගෙන එන්න මෙහෙ… ගලපලා පාට ගාන්නම්…”
ඔහු නිල් පාට හදවතක්ද අමුණා එලෙස පවසා තිබුණි..
සංසාරේ පතාගෙන එන මිනිස්සු කොහෙන් කොහොම හරි පැටලුණාට, හරි හැටි නොවෙන සන්නිවේදනය හින්දා ඒ මිනිස්සු අනේක දුක් විඳිනවා. නිහඬව ඉන්න හිතෙන වෙලාවට හුදෙකලාවේ ගුලි වෙනවා වගේම, හිත නිරුවත් කරලා දාලා හැඟීම් බෙදාගන්නත් අමතක කරන්න එපා.. අනෙක, අර ඇඩ් එකේ කියනවා වගේ ඔබේ සමීපතමයන් ඔබේ ප්‍රථම රාජකාරිය කරගන්න එක ගැනත් ආයෙම හිතන්න. සමහර තත්පර ආයෙම එන්නේ නෑ…
| අපේක්ෂා ගුණරත්න |