වැස්සට පසු සඳ

” ඔයා මහ ලොකු රස්සාවක් ද අයේෂා කරන්නේ ?. නිකන් මූනිච්චාව ….”

චරක එහෙම කිව්වාම අයේශාට දැනුණේ තමන්ගේ කම්මුලට ගැහුවා වගේ. කවදාවත් නැති විදියේ අවලාදයක් එකපාරටම කඩාගෙන වැටුණම ඒකට මුහුණ  දෙන්න ඕනි කොහොමද කියලා අයේශාට වැටහුණේ නැහැ. අයේෂා චරක දිහා බලාගෙන හිටියා. 

“ඇයි අම්මට කිව්වේ ඔයා බිසි නිසා නංගීව බලන්න බැරි වේවි කියලා …?”

චරක ඊට පස්සේ එහෙම කියාගෙන අයේශාගේ ඇඟට කඩාගෙන පනිනකොට තමයි අයේශාට සිද්දිය පැහැදිලි වුණේ. අයේශා චරකට උත්තර නොදී ආපස්සට හැරුණා.

“මං ඔයාගෙන් දෙයක් ඇහුවා…?”

“ඔයාට කියන්න දෙයක් නෑ මට….”

අයේශාත් ආපහු හැරෙන්නේ නැතුවම කිව්වා. චරක ඊට පස්සේ ගෙදර හිටියේ නෑ. ගේට්ටුවත් ඇරලා දාලා චරක නිවසින් පිටත් වෙන හැටි අයේශා බලාගෙන හිටියේ කඳුළු පුරවගෙන. 

උදේ  පාන්දර මීටින් එකට යන වෙලාවේ අම්මා කතා කරපු බව අයේශාට මතක් වුණා. දෙවතාවක්ම ඇමතුම් ආව නිසා තමන් ඇමතුමට පිළිතුරු දුන්න වගත් මතක් වුණා. එක දිගට අම්මා කියවගෙන ගිය කිසිම දෙයක් පැහැදිලි නොවුණ නිසා ,

“අනේ අම්මේ මම බිසි… ටයිට් ශෙඩූල් එකක් උදේ…”

එහෙම කියනකොටම ජංගම දුරකථන අතින් ලෙස්සලා ගිහින් බිම වැටුණ බවත්, ඊට පස්සේ ජංගම දුරකථන පණ ගන්වගන්න පුළුවන් උනේ දවස් වෙලා බවත් අයේශාට මතක් වුණා.

ඒ ගෙවුණ පැය කිහිපයට අම්මා කතාවකුත් ගොතාගෙන චරකටත් ගිණි තියලා බවත් අයේශාට පැහැදිළියි. ඒත් ඒ ගැන කියලා චරකට පැහැදිලි කිරීමක් කරන්න අයේශාට එවෙලේ හිතුණේ නැහැ.

“අපරාදේ.. වුනේ මොකද්ද කියලා ඉන්න තිබ්බෙ…”

චරක රෑ දහය වෙනකල්ම ගෙදර නෑවිත් ඉන්නකොට අයේශාට එහෙමත් හිතුණා. ඒත් එකොළහ වෙනකොට චරක ගෙදර ආවා. ඒ නංගිවත් එක්කගෙන. 

අයේශා එක්ක කතා කරන්නවත් නැවතෙන්නේ නැතුව චරක උඩ තට්ටුවට ගියේ, නංගීටත් කාමරේට යන්න කියලා කියාගෙනම. චරකගේ හදිසි , රිදවන හැසිරීම් නිසා අයේශාට ඇත්තටම රිදුණා. නංගී ඉස්සරහ තමන් නොතකාම ඉන්න එක අයේශාට රිදුණා.

අයේශා කඳුළු හංගගෙනම රෑ කෑම හදන්න කුස්සියට ගියා.

“චූටි.. අන්න බිරියානි එකක් ඕර්ඩර් කලා.. කාලා නිදාගන්නවා…”

චරකගේ හඬ සාලේ දිහාවෙන් එහෙම ඇහෙනකොට නම් අයේශාට හැඬුම් නවත්තගෙන ඉන්න පුළුවන් උනේ නැහැ. අයේශා සද්දෙන් ඉකි ගහලා ඇඬුවා. නංගී චරකට මොනවදෝ කියන හැටිත්,  චරක නංගීට ඒ ගැන කියලා කෑ ගහන හැටි ත් අයේශාට ඇහුණා. 

” තමන්ගේම ගෙදර ඇතුලේ ආගන්තුක හැඟීමක් දැනෙන්නම ඕනි ජීවිතේ ගැන වැටහෙන්න …”

කොහේ හරි තැනක අහම්බෙන් අහපු දෙයක් අයේශාට මතක් වුණා. 

“අක්කේ… කෝ…ඇඳට යමු…”

කුස්සියේ පුටුව උඩ නින්ද ගිහිල්ලා හිටපු අයේශාව කාමරේට  එක්කන්  ගියේ නංගී. 

අයේශාව ඇඳට කරලා නංගී කාමරෙන් එලියට යන්න හදාකොට අයේශා නංගිගේ අතින් අල්ල ගත්තා.

“අද උදේ ඔඩිට් මීටින් එකක් තිබ්බා… අම්ම දෙපාරක්ම කෝල් කරපු නිසා මම ආන්සර් කලේ… අම්මා එක දිගට ලොකු විස්තරයක් කියාගෙන ආවා… මං කිව්වේ මම මෙවෙලේ බිසි කියලා … පස්සේ ගන්නම් කියාගන්න උන් නෑ.. ෆෝන් එක ලිස්සලා වැටුණා…පඩිපෙලෙන් පහලටම….ඔන් උන් නෑ.  මීටින් එකට ගිය නිසා ඒක හදාගන්න ඉඩක් ලැබුනේ දවල් වෙලා… කන්නේත් නැතුව මම අම්මා ට ගත්තා …ආන්සර් කලේ නෑ.. නංගී ට ගත්තත් ලයින් බිසි තිබ්බේ…. 

මං කොච්චර බිසි වුණත් මට ඔයාව බලා කියාගන්න එක මඟෑරෙන්නේ නෑ සසඳි …  මමමනේ ඔයාට කිව්වේ කැම්පස් යන්න මෙහෙ එන්න කියලා … කොටින්ම ඉන්ටර්න්ශිප් එකත් මම බලලා තියෙන්නේ…”

අයේශා ඉකි ගහනවා. සසඳි අයේශා ව වැලඳගත්තා. අම්මා කොච්චර කිව්වත් නොදන්න කතාවක් ඇති කියලම සසඳිට විශ්වාස තිබුණා. 

ඇස් වහගෙන ව්‍යාජ නින්දක උන්න චරක විදුලියක් වැදුණා වගේ ඇඳේ කෙලින් වුණා.

“ඔයා ට අක්කව හොඳ වැඩියි… දුශ්ඨයා…”

අයේශාට එහෙමම ඉන්න දීලා සසඳි කාමරෙන් ගියේ චරකට බැණ වදින ගමන්. දොර වහලා දාලා ඊළඟ තත්පරේම චරක අයේශා ගේ ළඟින් ඉඳ ගත්තා.

” සමාවෙනවද ?”

අයේශා ගේ සුලැඟිල්ල අස්සෙන් පැටලිලා එහෙම ඇහුවා. අයේශා හිස සැලුවා.

“අම්මාට කලබලේ නිසා පැටලෙන්න ඇති …”

“ඒත් ඔයාට කලබලයක් තිබුනේ නෑනේ… ඔයාට අහන්න තිබුනානේ… නංගීට තරම්වත් ඔයාට මගේ ගැන විශ්වාසයක් තිබුනේ නෑනේ අන්තිමේදී … “

“එහෙම නෙවෙයි අයේශා ….”

“කමක් නෑ.. නිදාගන්න …”

හිත බිඳිලා ගියාට පස්සේ අලවගන්න ලේසි නැති බව දන්න නිසා අයේශා එහෙම කිව්වා. හිතට දැනෙන සැනසීම එක්ක මහ බරකුත් එකතු වෙලා බව අයේශාට දැනෙනවා. 

“මට සමාවෙන්න අයේශා … ඇත්තටම මොකද්ද වුණේ කියලා මට අහලා ඉන්න තිබුණා… අම්මා අඬාගෙන කෝල් කරාම මටත් හිතාගන්න බැරි වුණා.. එවෙලෙම ඔයාට ගත්තම ඔයාගේ ෆෝන් එකත් ඕෆ්… ඊට පස්සේ මාත් බිසි වුණා… හවස ගෙදර ගිහින් එන්න ගියාම අම්මා ආයේ අඬ අඬා එකේවා කිව්වේ… “

“හරි කමක් නෑ…”

“අයේශා ප්ලීස්…”

” මං කරන රස්සාව ඔයාට ලොකු නැති වෙන්න පුළුවන් .. ඒත් මට ඒක ලොකුයි … ඒ නිසා ඔයා එක්ක මාව සසඳන්න එපා.. මං මට එපා වෙනකල් ඒ ජොබ් එක කරනවා…”

.චරකට කියන්න දෙයක් ඉතිරි නොකරම අයේශා කිව්වා. 

” මට සමාවෙන්න අයේශා … මං හිතලා කිව්වේ නෑ. .. අනෙක  මං දන්නවා ඔයාගේ ජොබ් එක ඇතුලේ ඔයා කොච්චර සක්සස් ද කියලා …”

චරක එහෙම කියලා අයේශා ව වැළඳගන්න උත්සාහ කලා. අයේශා කලේ නිසොල්මනේ උන්න එක.

” මට සමාව දෙන්නේ නැද්ද ?”

“දුන්නා ඉතින්…”

“හරි. මට තේරෙනවා…  ඔයා කුඩුපට්ටම් වෙලා ඉන්නෙ… කලබල වෙන්නෙපා…මම වීකෙන්ඩ් එකේ අලවලා කරලා හදාගන්නම්…”

චරක අයේශාට හාදුවක් දුන්නා. ෆ්‍රිජ් එකෙන් කේක් කෑල්ලකුයි කිරි වීදුරුවකුයි ගෙනල්ලා දුන්නා. අයේශා තරහ පැත්තකින් තියලා ඒ දෙකම ඉවර කලා. ඊට පස්සේ චරක බලෙන්ම අයේශාව බඳාගෙන ඇඳට වැටුණා.

තමන් නිවිලා වග දැනෙනකොට අයේශා ගේ සුරත චරකගේ හිසකෙස් අතරේ සනීප රටා  හැදුවා.

“අනේ දුවේ…”

අයේශා ඇඳෙන් බහිනකොටම අම්මා  කාමරේ දොර ළඟ.

“පොඩී ඊයේ රෑ කතා කරලා විස්තරේ කිව්වේ… අනේ දෙය්යනේ ෆෝන් එක වැටිච්ච එකෙන් හොඳට ගියා..  දෙය්යනේ දූ පෙරලුණා නම් එහෙම පඩිපෙලෙන් පහලට… මං මේ උදේ පන්සලට ගිහින් පිරිත් පැන් එකකුත් අරගෙනම ආවේ.. දූට ඇස් වහ කට වහ තියෙනවා …”

අයේශා අඬනවා. චරක අම්මා දිහා ආදරෙන් බලාගෙන ඉන්නවා.

“අනේ මේ… මීට පස්සේ ලේලිලා නැන්දම්මලා දවල් වරුවේ වලි දාගන්න හරිද  ? අපි දෙන්නාටම ඊයේ නින්දක් නෑ..”

චරකගේ මස්සිනා එහෙම කියාගෙන කාමරේට එබුණා. 

අයේශා කඳුළු අස්සෙන් හිනා වුණා.

මහ වරුසාවට පස්සේ පායන හඳ ලස්සන ඇයි කියලා හැමෝගෙම මුහුණු බලනකොට  චරකට වැටහුණා.

| අපේක්ෂා ගුණරත්න |

More Stories

Don't Miss


Latest Articles