තරහ මරහ..

 “ඔයා අවුරුද්දට මොකද කරන්නෙ හිතාගෙන ඉන්නේ නිශාදි ? ” 

සංසකා ඇහුවේ කෑම පැයේදී. අවුරුද්දට තමන් ගෙදර අයට දෙන්න විසි තිස්දාහක තෑගි ගත්ත බව සංසකා කිව්වෙ මීට විනාඩි ගානකට කලින්. ඒ නිසාම නිශාදිගේ ඇස් වල වගේම හිතේ තිබ්බෙත් හිස් බවක්

” බෝඩිමට වෙලා ඉන්නවා “

නිශාදි කිව්වේ හැඬුමක් හිර කර ගෙන කියලා සංසකාට නොතේරුනා නෙමෙයි 

” ඔයා මාත් එක්ක අපේ ගමේ යන් ? ගමේ කෑම කාලා බීලා වැවක බැහැලා නාලා කරලා එන්න පුළුවන් නේ ” 

ඒත් නිශාදි ඔලුව ඉස්සුවෙම නෑ. ඇගේ හිතේ තිබුනේ කොහෙදෝ නතර වෙලා. 

” දැන් ඒක වෙලා ගොඩක් කල් නේ නිශාදි. තාමත් ගෙදර අයගේ වෙනසක් නැද්ද ? අඩු ගානේ අලුත් අවුරුද්දක් එද්දි වත් ? ” 

සංසකා මේ කියන දේ පවුලේ අයට තේරෙනවා නම් කොච්චර දෙයක්ද කියලා නිශාදිට සිය දහස් වාරයක් හිතුනා.

” උඹ තවත් ඔය සම්බන්ධේ කර ගෙන ගියොත් උඹට මේ පවුලේ කිසි කෙනෙක් නෑ කියලා හිතා ගනින්. උඹට හොඳ කොල්ලෙක් හොයා ගන්නම බැරි උනාද  ? ” 

අනෝජ් එක්ක තිබුන සම්බන්ධය දැන ගත්ත දවසේ අම්මා ගෝරනාඩු කලේ එහෙම. අනෝජ්  විවාහයකින් වෙන් වුන කෙනෙක් උන එකම අනෝජ්ට අකමැති වෙන්න අම්මා හේතුවක් කර ගත්තත් , ජීවිතේ වැරදුන අනෝජ්ට ඒක හදා ගන්න අවස්ථාවක් තියෙනවා කියලයි නිශාදි විශ්වාස කරේ. කාර්‍යාලයට ආසන්නයේ බෝඩිමක නැවතිලා රැකියාව කරන අතරේ,  දවසක අනෝජ් එක්ක විවාහ වෙලා ලස්සන ජීවිතයක් ගත කරන්න නිශාදි හීන දැක්කා. අනෝජුත් ඒ තරමටම ජීවිතේ ගැන හීන දකිනවා කියලයි නිශාදි විශ්වාස කලේ. කවදහරි පවුලේ අය අනෝජ්ට කැමති වෙයි කියලා පුංචි බලාපොරොත්තුවක් හිතේ තියා ගෙන නිශාදි නොසෙල්වී හිටියෙම ඒ නිසයි.

” ඔයා හිතන් ඉන්නෙ ඔයා හරි ලොකු වැඩක් කරනවා කියලද ? ඔයා හදන්නේ අපේ මුලු පවුලට ලැජ්ජ කරන්න ” 

ඊලඟ චෝදනාව එන්න ගත්තේ අක්කාගෙන්. කවදත් නිශාදිගේ තීරණ වලදි ලොකුම චෝදනා , අපහස ලැබුනේ ඇගේන් නිසා නිශාදිට ලොකු වෙනසක් නොදැනුනත් රිදුන හිත හංගගෙන නිශාදි නිහඬවම හිටියා. ඒ අතරෙ අනෝජ්ගෙ කඩා වැටුනු ජීවිතේ හදන්න කරන්න පුළුවන් හැමදේම නිශාදි කලා. අනෝජ් කියන්නේ වත් පොහොසත්කම් අතින් අඩුපාඩුවක් නොතිබුණු කෙනෙක් උනත් කාලයකදී ඔහුගේ ජීවිතයේ සිද්ධ වුණ කඩා වැටීම ආයෙමත් නොවෙන්න ඉඩ තියන්න නිශාදි මහන්සි උනා.

” ඔයාගේ පවුලේ අය නම් මට කවදාවත් කැමති වෙන එකක් නැහැ නිශාදි . දැනටමත් ඒ මිනිස්සුන්ට මාව පෙන්නන්න බැහැනේ ”  

අනෝජ් එහෙම කියද්දි නිශාදිට බය හිතුනේ ඇත්තටම එහෙම වෙයිද කියලා .ඒත් තමන්ගේ තීරණයේ වෙනසක් නොකර ඉන්න නිශාදි වග බලා ගත්තා.

” හැමදේම වෙනස් කරන්න පුළුවන් කාලයක් යනකොට. අපි කලබල නොවී ඉමු අනෝජ් ” 

නිශාදි එහෙම කිව්වත් , ඇයට සැනසීමෙන් ඉන්න ලැබුනේ නම් නෑ.

” ඔයාගෙ අක්කා මට කෝල් කරා නිශාදි ” 

දවසක් අනෝජ් මූණ නරක් කරගෙන කියනකොට නිශාදිගෙ හිත හෙල්ලුනා

” ඒ මොකටද ? ” 

” සෑහෙන්න දොස් කිව්වා මට. ඔයාව රවට්ට ගත්තා කියලා ” 

” ඔයා එහෙම කරේ නෑනේ. ඒ නිසා ඕවා ගනන් ගන්න එපා ” 

නිශාදි උත්සහ කලේ කතාව මග අරින්න. ඒත් අනෝජ් ඒ උත්තරෙන් සෑහිමකට පත් වුන බවක් පේන්න තිබ්බෙ නෑ.

” ඔයාගෙ අක්කා ඔහොම නැටුවට ඔයාගෙ අම්මට උනත් වැඩිපුරම සලකන්නෙ ඔයානෙ නිශාදි. අක්කා ගෙදර එන්නෙත් අවුරුද්දට දෙතුන් සැරයයි. අම්මටත් ලොකු අක්කා කියන දේවල් විතරයි ” 

” මට බය අපෙ අම්මගෙයි අක්කගෙයි වැඩ නිසා අනෝජ්ට මාව එපා වෙයිද කියලා ” 

නිශාදි ඉන්නෙ මොන තරම් වේදනාවකින්ද කියලා සංසකාට තේරුම් ගන්න පුළුවන් උනත් කාලයක්ම ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා හිටපු අනෝජ් උත්සහ කලේ ප්‍රශ්න වලින් ඈත් වෙලා ඉන්න.

” මේ වගේ දේවල් හිතෙ තියන් ඔයා හිතනවද නිශාදි අපිට එකට ගමනක් යන්න පුළුවන් කියලා ? මට තවත් ප්‍රශ්න එක්ක ජීවත් වෙන්න ඕන්නෑ. මොකද මං ඕනවටත් වඩා විඳවපු මනුස්සයෙක් ” 

අනෝජ් එහෙම කිව්ව දවසේ තමයි නිශාදිගේ ලෝකයම කඩාගෙන වැටුනේ. දිගින් දිගටම නිශාදිගේ පවුලෙන් එල්ල වුණ බලපෑම් නිසා කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව  නිශාදිගෙන් ඉවත් වෙන්න අනෝජ් අවසානයේදී තීරණය කළා. කිසිම බාධාවක් හමුවේ නොසෙල්වී අනෝජ් එක්ක අනාගතයක් සැලසුම් කරමින් හිටපු නිශාදී නොහිතපු විදිහට තනිවෙන කොට ඇයට ජීවිතය අල්ලාගෙන ඉන්න විශාල අරගලයක් කරන්න වුණා.හැබැයි ඒ කොතනකදිවත් අනෝජ් නිශාදි දිහා ආයෙම හැරිලවත් බැලුවේ නෑ.

” ඔයාට දැන්වත් තේරෙනවද ඌ මොන වගේ මිනිහෙක්ද කියලා ? එයාගේ කලින් වයිෆ් එයාට සැලකුවේ නෑ කියලා කිව්වට ඇත්තටම එහෙම කරලා තියෙන්නේ කවුද කියල ඔයාට දැන් තේරෙනවද ? ” 

නිශාදිගේ සම්බන්ධතාවය බිඳී ගිහින් කියලා දැනගත්ත පළවෙනි මොහොතෙම හුඟක් අය කිව්වේ එහෙම

” ඔයාට ඔහොම වෙලා මදි ” 

හරිම අමානුෂික විදියට නිශාදිගේ අක්කා කියනකොට නිශාදිගේ බිඳිලා තිබුන හිත ආයෙ ආයෙම කැඩිල විසිරුනා.වචනෙකින් වත් නිශාදිගේ හිත හදන්න ඇගේ අම්මටවත් අක්කටවත් උවමනා උනේ නෑ.

” ඔයාගේ පවුලේ මිනිස්සුන්ට නම් කිසිම හිතක් පපුවක් නෑ නිශාදි ” 

නොහිතපු වෙලාවක ජීවිතේ අනිත් පැත්ත පෙරලුන වේදනාවෙන් නිෂාදි පෙලෙමින් හිටපු බව ඇත්තටම දැක්කෙ සංසකා විතරයි.

” එයාලා කවදාවත් මගේ හොඳක් දැක්කෙ නෑනේ කොහොමත් ” 

නිශාදි අන්තිමට හිත හදා ගත්තෙ එහෙම.

අලුත් අවුරුදු ලං වෙනකොට හැමදේම අමතක කරලා ගෙදර ගිහින් හිත හදාගෙන නිවාඩුව ගත කරන්නයි නිශාදි බලාපොරොත්තු තියාගෙන හිටියේ.ඒත් ඒක බලාපොරොත්තුවක් විතරක්ම උනේ අක්කගෙන් ඇමතුමෙන් පස්සේ.

” ඔයා අවුරුද්දට ගෙදර එන්න එහෙම තියා ගන්නෙපා. අපි අම්මව අපේ ගෙදර එක්කන් යනවා. අසේලගෙ අම්මලත් ඉන්නවනේ.ඔයා තව අපිට ලැජ්ජ කරන්න එහෙ එන්න ඕන නෑ. මොකද ඔයා නටපු නාඩගම හැමෝම දන්නවනේ ” 

වෛරය පිරුනු අක්කාගෙ වචන දුරකථනය දිගේ ගලාගෙන එනකොට නිශාදිට තිබුනේ නිහඬ වෙලා ඉන්න විතරයි 

” අලුත් අවුරුද්දට වත් තරහ මරහ අමතක කරලා අලුත් වෙන්න බැරි නම් ඔයාගෙ අක්කගෙ මනුස්සකම ගැන කතා කරලා වැඩක් නෑ නිශාදි . ඔය ඔක්කොම අමතක වෙන්න ඔයා යන් අපේ ගමේ.මම අම්මටත් කියලා තියෙන්නේ ” 

සසංකා කියන්නේ නිශාදිගේ කරට අතකුත් දාගෙන. ඒ යාලුකම නොතියෙන්න හැමෝම සතුටින් ගෙවන්න යන අවුරුදු නිවාඩුව මොන තරම් වේදනාකාරී එකක් වෙන්න තිබ්බද කියලා නිශාදිට සියදහස් වාරයක්ම හිතුනා.

More Stories

Don't Miss


Latest Articles